ගම්පහ දිස්ත්‍රික්කයේ ‘නැලිගම වෙද පන්සල‘ යන නමින් හැඳීන්වෙන රාගම මහර නැලිගම ශ්‍රී ශෛලාසන්නාරාමයේ අඩසියවසක් පමණ අධිපතිධුරය දැරූ අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්මයුත්තික පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මාකූරේ පියනන්ද නාහිමියන් පසුගියදා අපවත් වූ අතර, උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පසුගිය 15 වැනිදා නැලිගම ශ්‍රී සංඝමිත්තා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණි.
කෑගල්ල, මාකූර 1946 අගෝස්තු මස 29 වැනි දින උපන් සෝමපාල මාකූර ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා 1961 නොවැම්බර් 22 වැනි දින නැලිගම ශ්‍රී ශෛලාසන්නාරාම පුරාණ විහාරයේදී දිප්පිටියේ පියතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මාකූරේ පියනන්ද යන නමින් ප්‍රවෘජ්‍යා භූමියට පත් වූහ.
ශ්‍රී ලංකා විද්‍යාල මහා පිරිවෙනින් 1962 ජනවාරි මස සිට මූලික භික්ෂු අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1969 දී කැලණියේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 1973 දී ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරීය.
1966 ජූලි මස 23 වැනි දින බැලුම්මහර ශ්‍රී ධම්මාලංකාර තිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා දිප්පිටියේ පියතිස්ස තිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උපසම්පදා භූමියට පත්වූහ.
සිය ආචාර්යයන් වහන්සේ විසින් දීර්ඝ කාලයක් පුරා සිදු කරගෙන ආ පාරම්පරික සර්ප විෂ වෙදකම උන්වහන්සේ විසින් ද අඛණ්ඩව ඉදිරියට සිදු කරගෙන යන ලදී. උන්වහන්සේ සහ ශිෂ්‍ය පරම්පරාව විසින් සුව කරන ලද සර්ප දෂ්ඨනයෙන් සුව වූ සංඛ්‍යාව ලක්ෂ සංඛ්‍යාතය. ඒ කිසිවකුගෙන් කිසිදු ආකාරයක මුදලක් ලබා නොගෙනය. අදටත් නැලිගම විෂ වෙද පන්සල නමින් බොහෝ දෙනා අතර විහාරස්ථානය ප්‍රසිද්ධව ඇත්තේ දිවා රාත්‍රී නොමැතිව සිදු කරන්නා වූ මේ සේවාව නිසාය.
විහාරස්ථානයට යාබද නැලිගම ශ්‍රී සංඝමිත්තා විදුහලේ විදුහල්පති ධුරය හෙබවූ කාලයේ දී උන්වහන්සේ විසින් පාසල ඉහළ තලයට ඔසවා තබන ලදි.
මහර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයට ද උන්වහන්සේ නිතරගයෙන්ම පත් වූහ. එමෙන්ම මහර විහාරාධිපති සංගමයේ අනුශාසක ධුරයට ද උන්වහන්සේ පත් කර ගන්නා ලදී. ශෛලාසන්නාරාම විහාරස්ථානයට අමතරව නාතුඩුව නන්දාගිරි විහාරයේ ද උන්වහන්සේ විහාරාධිපති ධුරය දැරූහ.
ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ කොළඹ දිසාවේ අධිකරණ සංඝනායක ධුරය ද හෙබවූ උන්වහන්සේ විෂ වෛද්‍ය විශේෂඥ ස්වාමීන් වහන්සේ නමක් ද වූහ. එමෙන්ම විෂ වෛද්‍ය ශිරෝමණී, දේශීය වෛද්‍යකීර්ති, හෙළ වෙද මහාඍෂි රාවන සම්මානලාභී ද වූහ. ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය උන්වහන්සේ දශක 4කටත් අධික කාලයක් හෙබවූහ.
තාරක වික්‍රමසේකර