අද අලුත් දවසක්. අපි නැවතත් ඉගෙන ගන්න හදන්නේ සතිය පිළිබඳ වෙන පැත්තකින් බලන්න. සතියට වෙන නිර්වචනයක් එකතු කරන්න. සතිය කියන්නේ මොකක්ද කියලා දැන ගන්න කරන ලද පුහුණුවට ක්‍රියාකාරකම් වගයක් තියෙනවා. ඒවා එකින් එක මතක් කළොත් සතිය වඩන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්.
මේ වෙලාවේ ඇස් වහගෙන, විශේෂ ගඳ සුවඳක් නැති, ශබ්ද අඩු පරිසරයක් තමයි ප්‍රයෝජනයට ගන්නේ. ඊට පස්සේ එක වැඩක් කරමින් නැත්නම් ඇවිදින ගමන් සතිය පිහිටු වීමට උත්සාහ කළා. ඇස, කන, නාසය විවෘත ව තබා ගනිමින් කයට දැනෙන දැනීම් ගැන අවධානය පවත්වා ගත්තා. මෙහි දී පෙර ලිපිවල සඳහන් කළ ආකාරයට සතුන් හය දෙනා විවෘත ව නමුත්, එක්තරා සීමාවක තබා ගනිමින් සීමිත මෙහෙයුමක් එක්ක පුහුණුව කරනවා. මේ විදිහට පුහුණු වුණා කෙනා එදිනෙදා වැඩ කරන ගමන් සතිය වඩන හැටි ඉගෙන ගත්තා.
මෙහි දී අපි අවධාරණය කළා තනියම කරන වැඩ කටයුත්තක් මේ සඳහා තෝරා ගැනීම පුහුණුව පහසු සහ සාර්ථක කර ගැනීමට උපකාර වෙන බව. මේ ඉගෙනීම් එක්ක සමගාමී ව සමාජයේ හැසිරීමේ දී ප්‍රයෝජනවත් වෙන සතිය පුහුණු වීම අපි සති ක්‍රීඩා වශයෙන් ඉගෙන ගත්තා. පුංචි ළමයින් තුළ අඩුවෙන් දැකිය හැකි නමුත් වැඩිහිටියන් ළඟ වැඩිපුර ඇති මේක හරියට කරන්න බැහැ, අමාරුයි කියන ගතිය. හිත පිට යනවා, අසතිමත් වෙනවා කියන කතාව නිතර වැඩිහිටියන් කියන දෙයක්. අද පාඩම කියලා දීම සඳහා මෙන්න මේ කාරණය මම මතු කර ගන්නවා. ඒ තමයි අසතිය නැති කිරීම කියන කාරණය.
සතිමත් වෙන කෙනාට විතරයි අසතිය කියන එක තේරෙන්නේ. සතිය දන්නේ නැති කෙනාට අසතිය කියන එකක් තේරෙන්නේ නැහැ. කවුරු හෝ දැන් මම මේ වෙලාවේ සතියෙන් ඉන්නවා කියලා දැන ගන්නේ යම් යම් දැනීම්, දැකීම්, ඇසීම් හරහායි. මම දැන් සතියෙන් නෑ කියලා දැන ගන්නේ මේ විදිහට සතියෙන් ඉන්නවා කියා දැන ගැනීමට යොදා ගත් කරුණු නොදැනීම හරහායි. ඒ නිසා සතියෙන් ඉන්නවා කියලා දැන ගැනීම සහ සතියෙන් නැති බව දැන ගැනීම කියන කාරණා එකකට එකක් සාපේක්ෂයි. මුලින් ම අපි සතිය තියෙන කොට, සතිය තියෙන බව දැන ගැනීමෙන් පටන් ගන්නවා. ඉඳගෙන සතිමත් වෙන කොට ඉඳගෙන ඉන්න ඉරියව්ව තේරෙනවා නම්, නාස් පුඩු හරහා හුස්ම ගන්නවා තේරෙනවා නම්, ඇඳ සිටින ඇඳුම් හුස්ම ගන්න කොට තෙරපී, හුස්ම හෙළන කොට සැහැල්ලු වෙනවා දන්නවා නම් අපට කියන්න පුළුවන් දැන් සතිය තියෙනවා කියලා. පෙර ලිපිවල සඳහන් කර ඇති පරිදි “මම දැන් මෙතන” කියන උපමානය යොදා ගන්න හැකි නම් සතිමත් කියලා කියන්න පුළුවන්.
මේ කියන ආකාරයට සතිය පුරුදු කරන කෙනකුට හුස්ම රැලි කිහිපයක් සිහියෙන් ගණන් කර ගන්න පුළුවන් නම්, එහෙම සතිමත් ව ඉන්න කොට පරිසරයෙන් ශබ්දයක් නිකුත් වුණොත් අපේ හිත ඒ ශබ්දයට යොමු වෙනවා. මේ නිසා බලමින් සිටි හුස්මෙන් හිත ඈත් වීමෙන් වල්මත් වූ ස්වභාවයට පත් වෙනවා. නැත්නම් අතනින් මෙතනින් වේදනාවක් ඇවිත් හිත කලින් තිබුණු අරමුණේ පවත්වා ගෙන යන්න බැරි වෙනවා. එහෙම විවිධ සිතුවිලි එනවා. කරන්න තියෙන වැඩක් මතක් කරමින් නැත්නම් දැන් ඉඳගෙන හිටියා ඇති, දැන් වැඩ කරන්න ඕනෑ කියලා වගේ සිතුවිලි එන්න පුළුවන්. මේ වගේ බාධා නිසා අරමුණෙන් හිත ඈත් වීම, හිත පිට යනවා කියලා තමයි අපි කියන්නේ. අපි ඒකට අසතිය කියලත් කියනවා. මේ කාගෙත් අත්දැකීම වෙන්නේ දැන් ඉන්නේ අසතියේ බව දැන ගන්න බොහෝ වෙලාවක් ගත වෙන බවයි. එහෙම කාලයක් ගත වෙන්නේ අපි ඒ ගැන පසුතැවෙන නිසයි. එහෙම වෙන්න බෑ, දිගටම සතිය පවත්වන්න ඕනෑ කියලා හිතන නිසයි. මේ විදිහට පසුතැවීම, කනගාටු වීම නිසා මේ දෙස බලන්න අවකාශයක් ලැබෙන්නේ නැහැ.
පුංචි ළමයින්ට සතිය පුරුදු කරන විට අපි ඒ දරුවන්ට කියනවා කඹයක් උඩ ඇවිදින්න කියලා. ඉතින් කවුරු හරි ඔය විදිහට කඹයක් දිගේ ඇවිදලා පුරුදු වෙලා තියෙනවා නම් එයා දන්නවා කඹේ දිගේ යන කොට සමබරතාව නැතුව වැටෙන වෙලාවල් තියෙනවා කියලා. අන්න ඒ පය පැකිළී වැටෙන වෙලාව නැත්නම් අසතිමත් වෙලාව ගැන සුබවාදී ව බලන්න ඕනෑ නම්, එහෙම නැත්නම් ඒක පාඩමක් කර ගන්න ඕනෑ නම් හොඳම වැඩේ තමයි අපි කොච්චර දක්ෂ වුණත් සමබරතාව නැති වෙන්න පුළුවන් කියන එකට සාදර වීම. ඕනෑම පළපුරුදු සතිය වඩන කෙනකුට වුවත් අසතිය එනවා. අසතිමත් වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා හිත පිට යනවා කියන කාරණයට ලෑස්ති වෙලා යන එක කොයිතරම් දක්ෂ වුණත් ඕනෑම වෙලාවක අසතිමත් වෙන්න පුළුවන් කියන සූදානම හිතේ තබා ගැනීම වැදගත්.
තවත් වැදගත් කරුණක් තමයි සතිය පුරුදු කරන හැමදෙනා ම සතිමත් වෙන විට දැනෙන ලකුණු විස්තර ගලපා ඒවා රචනා කළොත් එහෙම ලියලා පුරුදු වූ අයට සතිය නැති වූ වෙලාවේ මෙන්න මෙහෙමයි කියලා ඒ අත්දැකීම පිළිබඳ විස්තරත් රචනා කරන්න පුළුවන් වෙනවා. ඒක හරියට සැඟවී තිබූ දක්ෂතාවක් එළියට ඇවිත් සිදු වූ දෙය ඒ ආකාරයෙන් ම ලිව්වා වගේ වෙනවා. මේ විදිහට අසතියටත් සාදර වී, ඒවාත් රචනාවට නැත්නම් වාර්තාවට ඇතුළත් කරනවා කියන විවෘත මනසින්, සූදානම් මනසින් පුහුණුවට ගියොත් ඒ රචනය සම්පූර්ණ වෙනවා. ඒ වගේම ඒ අනුව ලියන වාර්තාව අපේ සන්නිවේදන හැකියාවත් ඉතාමත් දියුණු තත්ත්වයකට පත් කරනවා. නමුත් මතක තියා ගන්න තමන්ගෙ ම අත්වැරැද්ද තමන් දකිනවා විතරක් නොවෙයි, එයට සාදර වීම වැදගත්.
සක්මන් කරන කොට සක්මනේ ඉන්න බව දැන ගන්නේ පය පොළොවේ ස්පර්ශ වීමෙන් ඇතිවෙන දැනෙන ස්වභාවය අනුවයි. ඉතින් මෙහෙම යන කොට එකපාරට ශබ්දයකට, සිතුවිල්ලකට නැත්නම් දකින දෙයකට හිත පිට ගියා කියලා හිතමු. ඒ වෙලාවට එයාට හිතන්න පුළුවන් නම් මගේ හිත පිට ගිහින් දැන් ඉන්නේ රූපයක් එක්ක කියලා ඒ වෙලාවට හොඳ සූදානමින් ඒකට අවධි වෙන්න පුළුවන් නම් අසතිය වුණත් ඒක ඉක්මනින් හඳුනා ගත්තොත් එයාට පුළුවන් වෙයි මම මේ සමනලයා දෙස බැලුවාට මොකද ඇවිදීමත් ඒ විදිහට ම සිද්ධ වෙනවා නේද කියලා දැක ගන්න. ශබ්දයකට, වේදනාවකට නැත්නම් සිතුවිල්ලකට හිත පිට ගිය නමුත් අර ඇවිදිල්ල ඒ විදිහට ම සිද්ධ වෙනවා කියලා දකින්න. ඒ වගේම ඉඳගෙන සතිමත් වෙන්න උත්සාහ කරන විටත් මේ ක්‍රියාවලිය සිදු වෙනවා. එවිටත් ශබ්දයකට හිත පිට යන නමුත් හුස්ම ගන්න එක නතර වෙන්නේ නැහැනේ. ඇඳුම්වල තෙරපෙන එක හෑල්ලු වෙන ගතිය නතර වෙන්නේ නැහැනේ. ඒ දිහා බලන්න බැරි ද? පේන්නේ නැද්ද? කියන එක හොඳ ලස්සන අභ්‍යාසයක්. සතිය දිහා බලන්න පුළුවන් වෙනත් දෘෂ්ටි කෝණයකිනි.