ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වූ මහ රහතන් වහන්සේ සැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවූයේ ඉල් පුර පසළොස්වක පොහොය දිනෙක ය.
තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, මතු අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන්පෑම, භික්ෂූන් වහන්සේ පසුවස් පවාරණය කළ යුතු දිනය වීම සහ චීවර මාසයේ අවසන් දිනය වීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනය වීම යන කරුණු ද ඉල් පොහොය හා සම්බන්ධ ව ප්‍රධාන තැනක් ගනියි.
ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළ භික්ෂු සමාජය ආරම්භ වූයේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම සහ අස්සජි යන පස්වග භික්ෂූන් වහන්සේගෙනි. යස කුල පුත්‍රයා සහ ඔහුගේ යහළුවන් පනස් හතර දෙනා ද පසුව පැවිද්ද ලැබූහ. උන්වහන්සේ ඒහි භික්ඛු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා මහ රහතන් වහන්සේ බවට ද පත්වූහ.
බරණැස ඉසිපතනාරාමයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිම වීමෙන් පසුව ඉල් පොහොය දිනෙක මෙකී මහ රහතන් වහන්සේ සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළහ. “මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද, බොහෝ දෙනාට සැප පිණිස ද, ලොවට අනුකම්පා පිණිස ද, දෙව් මිනිසුන්ට වැඩ පිණිස ද, හිත පිණිස ද, චාරිකාවෙහි හැසිරෙන්න. දෙනමක් එක මඟ නොයන්න. මහණෙනි, මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මය දේශනා කරන්න. පිරිසිදු වූ බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරන්න. ස්වල්ප වූ රාගාදී කෙලෙස් ඇති සත්ත්වයෝ වෙති. ඔවුහු දහම් නොඇසීමෙන් පිරිහෙති. දහම් අවබෝධ කරන්නෝ වන්නාහ. මහණෙනි මමත් උරුවෙල් දනව්වෙහි සේනානි නියම් ගමට දහම් දෙසනු පිණිස යන්නෙමි.”
එකල උරුවෙල් දනව්වෙහි නේරංජනා ගඟ අසබඩ අසපු ඉදිකරවා ගෙන වාසය කළ ජටිල සොහොයුරෝ තිදෙනෙක් වූහ. ඒ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යපයි. දහසක් පිරිවර ද සහිත ව සිටි ඔවුහු තමන් රහත් ය, යන මානයෙන් මුළා වී සිටියහ. බුදුරජාණන් වහන්සේගේ බොහෝ ප්රාතිහාර්යයන් දැකීමෙන් පසු උරුවේල කාශ්‍යප තමා රහත් ය, යන මානය දුරු කළේ ය. ඔහු අනුව ගිය දහසක් ජටිලයෝ ද මානය දුරු කොට බුදුරදුන් වෙතින් පැවිද්ද ඉල්ලා සිටියහ. ඉක්බිති සියල්ලෝ ම ඒහි භික්ඛු සම්පත්තියෙන් පැවිදි උපසම්පදාව ලැබූහ. ජටිල භික්ෂූන් වහන්සේ පිරිවරා ගෙන බුදුරජාණන් වහන්සේ ගයා පෙදෙසට වැඩම කළහ. එහිදී දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝ ම රහත් භාවයට පත්වූහ.
බුදුරජාණන් වහන්සේ පස්නමකගෙන් සමන්විත මෙම මහා භද්‍ර කල්පයෙහි අවසන් වරට බුද්ධත්වය ලබනුයේ මෛත්‍රෙය බෝධි සත්ත්වයන් වහන්සේ ය. මුල් පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ මෛත්‍රෙය බෝධි සත්ත්ව භික්ෂූන් වහන්සේ අමතා “ඔබ වනාහි මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රෙය නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි යැයි, නියත විවරණ දුන් සේක.
චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි දැක්වෙන පරිදි මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ උපදින්නේ බරණැස් නුවර කේතුමතී නම් රාජධානියෙහි “කේතුමතී” නම් නගරයෙහි ය. උන්වහන්සේ පිළිබඳ සෑහෙන ප්‍රමාණයක් විස්තර ඇතුළත් වන්නේ “අනාගතවංස” සහ “බුද්ධවංස” යන පාලි භාෂාවෙන් රචිත ග්‍රන්ථවල ය. ඒ හා බොහෝ සෙයින් ගැළපෙන කරුණු පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය යනාදි ග්‍රන්ථවල ද ඇතුළත් වී තිබේ. පුරාතන මෛත්‍රෙය වර්ණනාව“ තුළ කියැවෙනුයේ මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිය හැකි වන්නේ කෙබඳු අයට ද, පැමිණීමට නොලැබෙන්නේ කෙබඳු අයට ද යන කරුණු ය. ඒවා අතර කරුණු ස්වල්පයක් මෙසේ ය.
මවුන් මැරුවෝ ය. පියන් මැරුවෝය. රහතුන් මැරුවෝ ය. බුදුරදුන්ගේ ඇඟින් ලේ සෙලවුවෝ ය. සංඝ භේද කළෝ ය, පවිටු සංඝයා ය යන මොවුහු අවීචි මහ නරකයෙහි උපදනා හෙයින් ඒ මෛතී‍්‍ර බුදුන් දැක්ක නොහෙන්නාහු ය. දාගැබ් බිඳ, බෝධි ශාඛා කපා, රන් පිළිම පොතු උපුටා, බණ පොත් සිඳ බිඳ පව් කළ සත්ත්වයෝත් ඒ මෛත්‍රී බුදුරදුන් දැක්ක නොහෙන්නාහු ම ය. තවද සංඝයා වහන්සේට ආක්‍රෝෂ කොට බිනුවාහු ද, සිල්වතුන්ට බොරු චෝදනා ඉපද වූවාහු ද, ධර්මයට අනාදර බිනුවාහු ද, දන්වැට කෑවාහු ද, බුදුරදුන් සතු දේ, ධර්මය සතු දේ, සංඝයා සතු දේ, සංඝික දෙය කෑවෝ ද, මෙලොව නැත, පරලොව නැත, කුසල් නැත, අකුසල් නැත, එයින් වන සැප විපාක දුක් විපාක නැත යනාදී දෘෂ්ටි ගෙන ඇවිද්දාහුද, දස අකුසල් කොට සතර අපායෙහි උපන් සත්ත්වයෙක් ද, ජාත්යන්දාදී ඉන්ද්රිය විකලත්වයට පැමිණි සත්ත්වයෝ ද, ත්‍රිවිධ රත්නය නොපවත්නා ප්‍රත්‍යන්ත රටවාසීහු ද පිටසක්වළ මනුෂ්‍යයෝ ද, ඒ මෛත්‍රී බුදුරදුන් දැක්ක නොහෙන්නාහු ම ය.
පසුව මෛත්‍රෙය වර්ණනාවෙහි කියැවෙන්නේ මෛත්‍රෙය බුදුරදුන් දැක්මට ලැබෙන්නන් පිළිබඳ වූ විස්තරයකි. එහි කොටසක් මෙසේ ය.
සද්ධාදි ගුණ ධර්මයන්හි පිහිටා දුගී මගී යාචකයන්ට ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ද, ආහාරපාන වස්ත්රාභරණාදිය දන් දුන්නෝ ඒ මෛත්‍රී බුදුන් දකින්නේ ම ය.
තවද පන්සිල් රක්ෂා කළෝ දකිත් ම ය. පොහොය පේවී අටසිල් රක්ෂා කළෝ දකිත් ම ය. දසසිල් සමාදන් වී බ්‍රහ්ම චර්යාව රක්ෂා කළෝ ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකිත් ම ය. දාගැබ් කෙරෙව්වෝ දකිත් ම ය. බෝධි පිහිටවූවෝ දකිත් ම ය. උයන් පොකුණු කරවූවෝ දකිති. ඒ දඬු අම්බලම් කරවූවෝ දකිති. මං හෙළිකරවූවෝ දකිති. ධර්ම ශාලා, භෝජනාගාර කරවූවෝ දකිත් ම ය.
තවද බුදු සසුන් ඇති කරවන්නට ආධාර වූවෝ දකිති. ධර්ම කථිකයන්ට මණ්ඩප කරවා පිළිගැන්වූවෝ ද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකිත් ම ය. තවද ආමිස දාන ධර්ම දානාදී වශයෙන් භික්ෂූන් වහන්සේට පූජා සත්කාර කළෝ දකිත් ම ය. මවුන්ට උපස්ථාන කළෝ දකිති. පියන්ට උපස්ථාන කළෝ දකිති. කුල දෙටුවන්ට උපස්ථාන කළෝ දනිති. දස පින් කිරියවත් පිරුවෝ ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකිත් ම ය. සංඝාරාම කරවූවෝ දකිති. පිළිම ගෙවල් කරවූවෝ දකිති. පිළිම කරවා නෙත් තැබුවෝ දකිති. බණ පොත් ලියවා දුන්නෝ දකිති.
තවද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දැකුම්හයි පතා යටත් පිරිසෙයින් එක මල් මිටක්, එක පහනක්, එක බත් හැන්දක්, එක බෙහෙත් පැණිත්තක් පමණ පිදුවේ ද සංඝයා කෙරෙහි ආදර ගෞරවයෙන්, පි‍්‍රය මුහුණින්, පි‍්‍රය තෙපුලෙන්, පි‍්‍රය පැවැත්මෙන් සංග්‍රහ කළෝ ද ඒ මෛත්‍රී සර්වඥයන් දකිත් ම ය. අනුන් කළ පින් අනුමෝදන් වූවෝත් ඒ මෛත්‍රී බුදුහු දකිත් ම ය.