ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස විශේෂාංගකවි පිටුව

කවි පිටුව

by Thanushika
November 24, 2026 12:33 am 0 comment

ගැටලු හමුවේ මුළා වෙනවා

මුහුද දෙස බලමින්
ගල් කුළක් මත හිඳිමින්
දත් මදින මිනිසෙක්
නාන්නට සැරසෙමින් උන්නා

මුහුදෙ රැලි එනවිට
නොනවත්වා ම හැමවිට
රැල්ල නවතින තුරු
බලා සිටියා මුහුදෙ නෑමට
රැවුල දිග මිනිහෙක්
සිනාසීගෙන කටකොන
කීවා එක වදනක්
නාන්නට බැහැ ඔබට කිසිදින

සොයන්නට පිළිතුරක් හැමවිට
ප්‍රශ්න පත්තර නිතර එනවා
දහම අත්හැර වෙනත බැලුවම
ගැටලු හමුවේ මුළා වෙනවා

ශාස්ත්‍රපති වැලිපත
පඤ්ඤානන්ද හිමි


සසර

වේදනා සංඥාව සංඛාර විඥාන
සතර බලවේගයෙනි
සිත පැවැත්වී ඇත්තෙ

පඨවි ආපෝ තේජො වායෝ
සතර ධාතු එකතු වෙමින්
ගත හැඩ වැඩවී ඇත්තේ

සිත කියනා නාම කයට
තනිවම යා නොහැක බවේ
ගත කකියන රූප කයට
තනිවම යා නොහැක කොහේ

නාමය රූපයට බැඳී
ආයතනයො හයක් හැදී
සසර ගමන ඇරඹීමයි
දෙදෙනා එකතුව කරන්නේ

කොරා අන්ධයා දෙදෙනට
තනිවම මඟ නොහැක ගමන්
කොරා අන්ධයාගේ කරෙන්
යන ගමනකි සසර ගමන

කිවිපති
කැස්බෑවේ මුණසිංහ නිශ්ශංක


අම්මා

හැට ගණන්වල ඉඳලා සියලු තතු දන්නා
මායිමේ මාර ගහ දෙවිවරුත් ඉන්නා
සෙයිලමෙන් එන අයට මඟ ලකුණු පෙන්නා
දරු එතැයි මඟ බලන් ඇය සිනා සෙන්නා

ලොකු වැස්සි වැහැරිලා කිරි නොමැත ඇගෙ තනේ
තනිකමට සිටි කවුඩු ජෝඩුවත් හැර ගියා උන් බෙනේ
දරුවන්ගේ තාත්තත් හතර රියනට උන කොනේ
හමුදාවේ ලොකු පුතත් නිදනවා පව් අනේ

ජපන් ගිය මද්දුමී යෙන්වලින් පඩි අරන්
ගත වාරු නැතිකමින් මකුළු දැල් රජ කරන්
හතර මහ නිධානය පහළ වන තුරු ඉස්තරන්
අම්මා ඉන්නවා තාම දුර ඈත මඟ බලන්

ගියාන් චන්දිම කුඹලාතර


උතුම් ඉල් පෝය නමදිමු

සම්බුදු සමිඳු හිමි දම්සක් සුතුර දෙසා
යැව්වා රහත් සැටනම දෙන සතර දිසා
දෙදෙනකු නොයනු මැන එක මඟ යැයි පවසා
සම්බුදු හිමි වැඩිය උරුවෙල් දනවු දිසා

තුන්බෑ ජටිලයන් මඟ දී හමුවන්නේ
බුදු රුව දැකීමෙන් සිත් නිසසල වන්නේ
දම් දෙසුමෙන් සැමගෙම සිත් තුටු වන්නේ
පැවිදි ව සියලු දෙන සසුනට කැප වන්නේ

මෙත් බෝසතුන් ලැබුවා නියත විවරණ
සැරියුත් සමිඳු හිමි ලැබුවා පිරිනිවන
වස් විසූ හිමිවරුන් පසුවස් පවාරණ
මේ හැම සිදුවුණේ ඉල් මස පෝ දින

ස්වර්ණතිලකා ලියනපතිරණ


නිරෝගි සම්පත

සුව සම්පත හැර අන් සුව
ලොවේ කොයින්දා
අගුපිල සිහසුනෙ සිටියත්
සම්පත නැත මන්දා
සුවයක් නැත සව් සතහට
අරුමෙ කුමන්දා
පරම සැබෑවයි මෙය ලොව
දහම සුගන්දා

දියුණු හිනේ ඉහළ යන්න
දිව රෑ දෙක නොබලා
නිදිවරලා වෙහෙස වෙලා
ගත සිත ලෙඩ වීලා
ගේ දොර වතුපිටි සම්පත්
සැම අතහැර දමලා
නිවන් මඟට ගෙන යන්නට
නැත පින් කරලා

දිවිය පුරා උපයා ගත්
මුළු සේසත පුදලා
ලෙඩ ඇඳ මත තනිවීලා
දුක සේ මිය ඇදෙනා
නීරෝගි නම් මහ සම්පත
මිල කරනට බෑ කිසි කල
මහ රහතුන් ලොව අගනා
හැම සුව විඳීනා

(ධම්මපදය සුඛ වග්ගය ඇසුරිනි)

ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ


ඇසුරට සුදුස්සෝ

ගුණ නුවණින් තමනට වැඩියෙන්
උසස් අය ම නිසි ඇසුරු කළොත්
දියුණට පැමිණෙයි ඔබ නිතියෙන්
එය වළකනු බැහැ කිසිවකුටත්

මාලඹේ – කේ. ඩබ්ලිව්. සිරිසේන

 

You may also like

Leave a Comment