ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර වූ නිග්‍රෝධාරාම අසපුවෙහි වැඩ වසන සේක. එහි පැමිණි මහා ප්‍රජාපතී ගෝතමී බිසව් තොමෝ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේට වන්දනා කොට එකත් පසෙකට වූවා ය. බිසව් තොමෝ බුදුරජාණන් වහන්සේට මෙසේ පවසා සිටියා ය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් පනවා වදාළ උතුම් ධර්ම විනය ඇති බුදු සසුන තුළ කාන්තාවන්ටත් අනගාරික පැවිදි උපසම්පදාව ලැබෙන්නේ නම් මැනවි.”
බුදුරජාණන් වහන්සේ ප්‍රජාපතී ගෝතමී බිසවුන්ට මෙසේ පිළිවදන් දුන් සේක. “නැත ගෝතමිය, තථාගත බුදු සසුන තුළ කාන්තාවන්ට ගිහි ගෙය අත්හැර පැවිදි උපසම්පදා ලැබීම ගැන ඔබට රුචි නොවේවා”
මහා ප්‍රජාපතී ගෝතමී බිසවුන් විසින් තුන්වරක් ම බුදු සසුනේ කාන්තාවන්ට පැවිදි උපසම්පදාව ඉල්ලා සිටි මුත්, භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ අවස්ථා තුනේ දී ම එය ප්‍රතික්ෂේප කළ සේක.
එවිට මහා ප්‍රජාපතී ගෝතමියගේ සිතේ ‘අහෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ බුදු සසුනේ කාන්තාවන්ට පැවිදි උපසම්පදා වීම ප්‍රතික්ෂේප කරන ලද සේක’යි මහත් දුකක් හට ගත්තේ ය. දොම්නසක් හට ගත්තේ ය. කඳුළු පිරි මුහුණින් බුදුරජාණන් වහන්සේට හඬ හඬා වන්දනා කළ ඇය භාග්‍යවතුන් වහන්සේව ප්‍රදක්ෂිණා කොට නිග්‍රෝධාරාමයෙන් නික්ම ගියා ය.
අනතුරුව අපගේ ශාස්තෘන් වහන්සේ විශාලාවේ මහා වනයේ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.
එකල්හි මහා ප්‍රජාපතී ගෝතමී බිසව් තොමෝ බුදු සසුනේ පැවිදි බව අපේක්ෂාවෙන් සිටින තවත් ශාක්‍ය බිසෝවරුන් පන්සියයක් සමඟ දිගු හිසකෙස් කපා දමා, හිස මුඩු කර ගත්හ. කාසා වස්ත්‍ර හැඳ ගත්හ. සියලු දෙනා එක්ව භාග්‍යවතුන් වහන්සේගෙන් උතුම් පැවිදි බව අයදින අදහසින් නිග්‍රෝධාරාමය වෙත පැමිණියහ.
එහෙත් භාග්‍යවතාණෝ විශාලාවෙන් නික්ම යොදුන් ගණනාවක් දුරින් පිහිටි කිඹුල්වතට වැඩම කොට තිබේ. ගෝතමී තොමෝ තම උත්සාහය අතහැරියේ නැත. ඒ මොහොතෙහි ම යොදුන් පනස් එකක් පමණ දුරින් පිහිටි කිඹුල්වත් පුරය කරා පන්සියයක් දෙනා ම ගමන් ඇරඹූහ.
නොබෝ දිනකින් ම කිඹුල්වතට සපැමිණි මේ පිරිස කූටාගාර ශාලාවට ඇතුළු වන දොරටුව අබියස එක්රැස් වූහ. බොහෝ දිගු ගමනක් පා වෙහෙසූ නිසා දෙපා ඉදිමී ගොස් ය. ඇතැමුන්ගේ දෙපා පැළී ගොසිනි. දුහුවිලි වැකුණු කයත්, වස්ත්‍රත් දුර්වර්ණ වී තිබේ. ‘එහෙත් පෙර සේ ම ඒ සම්බුදු රජාණන් වහන්සේ අපගේ පැවිද්ද ප්‍රතික්ෂේප කරාවි දැයි සිතෙත් ම ගෝතමියට වාවාගත නොහැකි විය.
කඳුළු පිරි දොම්නස් සහගත මුහුණින් දොරටුව අසල සිටින මහා ප්‍රජාපතී ගෝතමී බිසව ඇතුළු පිරිස ආනන්ද තෙරුන් වහන්සේගේ නෙතු ගැටුණේ මේ මොහොතේ දී ය. උන්වහන්සේ ඒ පිරිස දෙසට සමීපවත් ම ඔවුන්ගේ ඉදිමී, පැළී ගිය දෙපා, දුහුවිලි වැකුණු සිරුරු දැක මහත් සංවේගයෙන් යුතු ව මෙසේ විමසන්නට විය.
“පින්වත් ගෝතමියනි, මේ කිම? ඔබ සියලු දෙන අතිශයින් ම වෙහෙසී, කුමන කරුණක් නිසා මෙසේ දොම්නස් ව සිටිත් ද?”
ආනන්දයන් වහන්සේට වන්දනා කළ ගෝතමී බිසව
“ආනන්දයන් වහන්ස, එය එසේමයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ බුදු සසුනේ කාන්තාවන්ට පැවිදි උපසම්පදාව ලබා නොදීම ගැන අපි මහත් සේ දොම්නස් ව පසුවන්නෙමු. ඒ භාග්‍යවතුන් වහන්සේ සොයා විශාලාවේ සිට මෙතෙක් දුර පා ගමනින් ම පැමිණියෙමු”යි පිළිතුරු දුන්නා ය. ආනන්ද තෙරුන් වහන්සේ මොහොතක් නිහඬ ව සිට මෙසේ පැවසුවේ ය.
“එසේ නම් පින්වත් ගෝතමියනි, මොහොතක් ඉවසනු මැනවි. මා විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් කාන්තාවන්ට බුදු සසුනේ පැවිදි උපසම්පදාව අයැද සිටින්නම්. මා පැමිණෙන තෙක් මෙහි රැඳෙනු මැනවි.”
අනතුරුව ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කොට, “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතී ගෝතමී බිසව ඇතුළු පන්සියයක් පමණ දෙනා විශාලාවේ සිට මෙහි පා ගමනින් ම පැමිණ තථාගතයන් වහන්සේ වෙතින් කාන්තාවන්ට පැවිදි උපසම්පදාව ලබා නොදුන්නේ යැයි හඬමින් දොරටුව අසල පසුවෙති. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කාන්තාවන්ටත් මේ ධර්ම විනය තුළ අනගාරික පැවිදි උපසම්පදාව අනුදැන වදාරන්නේ නම් මැනවි.”
“කම් නැත ආනන්දයෙනි, තථාගතයන්ගේ ධර්ම විනය තුළ කාන්තාවන්ගේ අනගාරික පැවිදි උපසම්පදාව ගැන ඔබට රුචි නොවේවා” යි එවිට බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මේ අයුරින් ආනන්ද තෙරුන් වහන්සේ විසිනුත් තුන් වරක් ම ඉල්ලා සිටිය ද භාග්‍යවතුන් වහන්සේ පෙර සේ ම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ සේක.
එවිට ආනන්ද තෙරුන් වහන්සේට මෙබඳු සිතක් ඇතිවිය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් කාන්තාවන්ගේ පැවිදි බව තෙවරක් ම ප්‍රතික්ෂේප කළ සේක. එසේ නම් මා විසින් මේ ගැන වෙනත් අයුරකින් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටිය යුතු ය’
යළිත් ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසන්නට විය.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ගිහිගෙය හැර දමා මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා කාන්තාවකට මාර්ගඵල සාක්ෂාත් කිරීම සිදුවිය නොහැක්කේ ද?”
“සිදුවිය හැකි ය ආනන්දය, ගිහිගෙය හැර දමා මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබූ කාන්තාවක් සෝවාන් ඵලය ද සාක්ෂාත් කරන්නී ය, සකදාගාමී ඵලය ද සාක්ෂාත් කරන්නී ය, අනාගාමී ඵලය ද සාක්ෂාත් කරන්නී ය, අරහත්වය ද සාක්ෂාත් කරන්නී ය යන කරුණ සිදුවිය හැක්කේ ම ය.”
මහා කාරුණිකයාණෝ පිළිතුරු දුන් සේක.
එවිට ආනන්ද තෙරුන් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ අයැද සිටියේ ය.
“ස්වාමීනි, මහා ප්‍රජාපතී ගෞතමී බිසව් තොමෝ භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර කරන ලද්දී ය. භාග්‍යවතුන් වහන්සේගේ සුළුමෑණියෝ ය. කුඩා කල කවා පොවා, නහවා, ඇති දැඩි කරන ලද්දීය. පෝෂණය කරන ලද්දී ය. මෑණියන් මියගිය කල්හි කිරි පොවන ලද්දී ය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන්ට මේ බුදු සසුනේ අනගාරික පැවිදි උපසම්පදාව අනුදැන වදාරන සේක්වා”
“යහපති, ආනන්දයෙනි, මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මේ අෂ්ට ගරු ධර්ම පිළිගන්නේ නම් එය ම ඇයගේ උපසම්පදාව වන්නේ ය.” පැවසූ බුදුරජාණන් වහන්සේ ඒ ගරු ධර්ම අට ආනන්ද තෙරුන්ට පැවසූ සේක.
ආනන්ද තෙරුන්, බුදුරදුන් විසින් පැවසූ මේ ගරු ධර්ම අට ඔවුන්ට පවසා “ගෝතමියනි, ඔබ මේ අෂ්ට ගරු ධර්මයන් පිළිගන්නී නම්, එය ම ඔබට උපසම්පදාව වන්නේ ය.”
“ස්වාමීනි ආනන්දයන් වහන්ස, අලංකාර ව සැරසෙනු කැමැති තරුණ ගැහැනු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් හෝ හොඳින් හිස සෝදා නෑමෙන් අනතුරුව, සමන් මල් හෝ දෑසමන් මල් හෝ දාමයක් ගෙන ශරීරයේ උත්තම අංගය වන හිසේ පැළඳ ගන්නාක් මෙන් මම ද මේ සම්බුදුරදුන් විසින් වදාළ උතුම් ගරු ධර්මයන් පිළිගන්නෙමි.”
ඒත් සමඟ ම එය මහා ප්‍රජාපතී ගෝතමියගේ පැවිද්දත්, උපසම්පදාවත් විය.
මෙසේ ගෞතම සම්බුදු සසුනේ කාන්තාවන්ට පැවිදි උපසම්පදාව ලැබී භික්ෂුණී සංඝයා ආරම්භ වූයේ සොඳුරු වස්සාන සමයේ උදාවන උතුම් වූ බිනර පුන් පොහෝ දිනයේ දී ය. අපගේ ශාස්තෘන් වහන්සේ විසින් අෂ්ට ගරු ධර්ම සහිත ව ලබා දුන් පැවිදි උපසම්පදා නිසා ගෞතම බුදු සසුනේ සිව්වනක් පිරිස ම සෝභමාන කරවන භික්ෂුණී මහා ප්‍රජාපතී ගෝතමී, ඛේමා, උප්පලවණ්ණා, අම්බපාලී, යශෝධරා, පටාචාරා ආදී රහත් මෙහෙණින් වහන්සේ ඇතුළු බොහෝ භික්ෂුණීන් වහන්සේ බිහි වූ සේක.
එමෙන්ම බොහෝ කුල කාන්තාවෝ බුදු සසුනෙහි පැවිදි ව, අවංක ව පිළිවෙත් පුරා මඟඵල නිවන් සාක්ෂාත් කළහ. එම භික්ෂුණීන් වහන්සේ අතර විශේෂ කුසලතාවලින් සමන්විත වූ භික්ෂුණීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙතින් අග තනතුරු ද ලදහ.
අපගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ ව්‍යක්ත වූ, විනීත වූ, විශාරද වූ, බහුශ්‍රැත වූ, ධර්මධර වූ ධර්මයට අනුව ම දිවි ගෙවන භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකයකු වේවා, උපාසිකාවක වේවා ඔවුන් ශාසනය සෝබමාන කරන බවයි.