ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අමාවක පෝ දා 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අමාවක පෝ දා 2026 ඔක්තෝබර් 10 සෙනසුරාදා

අපායේ බිය

by damith
October 18, 2026 1:10 am 0 comment

ශාස්ත්‍රපති අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි

අප ජීවත් වෙන්නේ විද්‍යාත්මක ලෝකයකයි. භෞතික විද්‍යාව පඤ්ච ඉන්ද්‍රියයට ගෝචර වන දේ පමණයි සත්‍ය. එසේ නොවන දේ මිථ්‍යාවක් ලෙස දක්වයි. බුදුදහම ඊට වඩා දියුණු විඥානවාදයක් පදනම් කොට ගත් දහමකි. බුදු දහම විද්‍යාත්මකයි. එහෙත් බුදු දහම නූතන විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුකූලව වටහා ගන්නට යත්න දැරීම බුද්ධිමත් ක්‍රියාදාමයක් නොවෙයි. මන්ද බුදුදහම නූතන විද්‍යාවට වඩා බොහෝ ඉහළ විඥානයකින් වටහා ගත යුතු දහමකි. වර්තමානය තුළ අපාය පිළිබඳ විවිධ ගැටලු මතුවී ඇත්තේ විද්‍යාත්මක දෘෂ්ටිකෝණවලට ගැතිව බුදුදහම දෙස බැලීමේ ප්‍රතිඵලයකි.

මිනිස් සමාජය යහමඟ යැවීමට මෙන්ම පාපයට ඇති බිය සහ ලජ්ජාව (හිරි – ඔත්තප්ප) ඇති කිරීමට ප්‍රධාන තැනක් ගන්නා සංකල්පයක් ලෙස ‘අපාය’ හැඳින්විය හැකි ය. එහෙත් නූතන තාක්ෂණික හා විද්‍යාත්මක ලෝකය තුළ බොහෝ දෙනකු නඟන ප්‍රශ්නයක් වන්නේ අපාය යනු හුදෙක් මිනිසුන් බියවැද්දීමට නිර්මාණය කළ කතාන්දරයක් ද, නැතහොත් එහි යම් සැබෑ යථාර්ථයක් තිබේ ද යන්නයි. මේ පිළිබඳ බෞද්ධ මූලාශ්‍ර, විවිධ ආගමික මත සහ නූතන විද්‍යාත්මක ප්‍රවේශ ඔස්සේ කරනු ලබන විමර්ශනයකි මේ.

දේවදූත සූත්‍රය (මජ්ක්‍ධිම නිකාය)

යම රජු ඉදිරියට පමුණුවනු ලබන පාපතරයන්ට ජරාව, ව්‍යාධිය, මරණය, රාජ දඬුවම් සහ මළමිනිය යන “දේවදූතයන් පහ” සිහිපත් කරදී, ඉන්පසු ඔවුන් නිරයේ විඳින විවිධ වධබන්ධන පිළිබඳ අතිශය විචිත්‍රවත් ලෙස විස්තර කෙරේ. බාලපණ්ඩිත සූත්‍රය (මජ්ක්‍ධිම නිකාය) අඥාන (බාල) පුද්ගලයා කරනු ලබන පාපකර්ම නිසා අපායේ දී විඳින දුක් සහ නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබීමේ ඇති අතිශය දුර්ලභ බව (කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන උපමාව) පැහැදිලි කරයි.

පේතවත්ථු (ඛුද්දක නිකාය) විවිධ අකුසල් කළ පුද්ගලයන් මරණින් පසු පේ‍්‍රතයන් වී විඳින දුක් සහ ඒ වෙනුවෙන් ඥාතීන් පින් අනුමෝදන් කිරීමේ වැදගත්කම පැහැදිලි කෙරේ. දේවහිත සූත්‍රය සහ නිරය වග්ග (අංගුත්තර නිකාය) නිරයට වැටීමට හේතුවන අකුසල කර්ම (දස අකුසල්) පංච දුශ්චරිතය පිළිබඳ පැහැදිලි කෙරේ. අපායක් නැතැයි කියන උදවිය මේ කියන සූත්‍ර දේශනා පිළිගන්නවාද? එසේ නැතහොත් මේවා බුද්ධ දේශනා නොව පසුකාලීනව බුදුදහමට එකතු වූ දේශනා ලෙස ප්‍රකාශ කරනවාද? එසේ පිළිගැනීම් ඇති විට ත්‍රිපිටකය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කිසිවක් නැති ද යන ප්‍රශ්න මතුවෙයි. පළමු ධර්ම සංගායනාව තුළ සංගායනාවට ලක්වූ සියල්ල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා වෙයි. එම දේශනා කිසිවක් ඉවත් නොකිරීමටත්, ඊට අලුතින් යමක් එකතු නොකිරීමටත් එදා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඓතිහාසික බුද්ධිමත් විශිෂ්ට තීන්දුවක් ගන්නා ලදි. එතැන් පටන් මහ රහතන් වහන්සේ කට පාඩමින් මේ ධර්මය රැගෙන ආහ.

ත්‍රිපිටකයට අනුව සතර අපාය සහ මහා නිරයන්

ත්‍රිපිටක ධර්මයට අනුව අපාය යනු කිසිවකු විසින් දඬුවම්දීම සඳහා සාදන ලද ස්ථානයක් නොව, තමන් කරනු ලබන අකුසල කර්මයන්ගේ ස්වභාවික ඵලයක් (විපාකයක්) ලෙස සත්ත්වයන් උපත ලබන දුක්ඛිත පැවැත්මකි. ත්‍රිපිටකයේ දුගති හෙවත් අපාය කොටස් 4කට දක්වයි.

නිරය – අධිකතම ශාරීරික හා මානසික වේදනා විඳීමට සිදුවන ස්ථානය

තිරිසන් යෝනිය – අප අතර ම ජීවත් වන සිව්පාවුන්, පක්ෂීන්, උරගයන් ආදී සතුන්

පේත විෂය (පේ‍්‍රත ලෝකය) දැඩි බඩගින්න, පිපාසය සහ නොලැබීම් නිසා නිරන්තරයෙන් පීඩා විඳින පැවැත්ම

අසුර නිකාය – ප්‍රභාවෙන් හා සැපයෙන් තොර, දුක්ඛිත ජීවිත ගතකරන අසුරයන්ගේ ලෝකය

මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රය සහ බාලපණ්ඩිත සූත්‍රය තුළ සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය සහ අවීචිය යන අටමහා නිරයන් පිළිබඳව ද, ඒවා වටා පිහිටි ඔසුපත් නිරයන් පිළිබඳව ද අතිශය භීෂණාත්මක විස්තර හමුවේ. අටමහා නරකයන් වටා එකකට දහසය බැගින් ඔසුපත් නිරයන් පවතී. ඒ අනුව ගත් විට අපාය එකසිය විසි අටක් වෙයි. අටමහා නරකයට අයත් නොවන ලෝකාන්තරික අපායක් වෙයි. මේ අපායන් තුළ ගිනිදැල් විහිදීම, රත් වූ යකඩ බිත්ති, දොරටු පිහිටා ඇති අයුරු, ලබාදෙන දඬුවම් ආදී මෙන් ම ඒ ඒ අපායෙහි නිරි සතුන් ගෙවන ආයු කාලය ද දක්වයි. බාලපණ්ඩිත සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ නිරයේ වැටුණූ අඥානයකුට නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබීම මහා සමුද්‍රයේ සිටින කණ කැස්බෑවකු අවුරුදු සියයකට වරක් දිය මතුපිටට එද්දී උගේ ගෙල එකම සිදුර ඇති වියගහකට ඇතුළු වීමටත් වඩා අතිශයින් දුර්ලභ බවයි. නිරය තුළ වූ නිරි සතුන් තමා කළ අපරාධය අවසන්වූ විට එම නිරයෙන් මිදේ. මිනිස් ආත්මබවයක් එකවිටම නොලබයි. පරිවර්තනීය ව ඒ ඒ ලෝකවල උපත ලබා, යළි මිනිසත් බවක් ලබන්නේ බොහෝ කලකට පසුවයි.

අටුවා විග්‍රහයන් සහ පාලි මූලාශ්‍ර

ත්‍රිපිටක අටුවාවල (පපඤ්චසුදනී, මනෝරථපූරණී ආදි) ‘අපාය’ යන පදය නිරුක්ති දක්වන්නේ මෙසේ ය.

‘අපගතෝ ආයෝ ශෝභනෝ සුඛසංඛාතෝ ඒතොති අපායෝ.’

යම් තැනක සුඛ සංඛ්‍යාත යහපත් දියුණුවක් හෝ සැපතක් හෝ නැත්ද, නැතහොත් යහපතෙන් බැහැර වූයේ ද එය අපාය නම් වේ.

අටුවාවට අනුව අවීචි මහා නිරය යනු ගිනිදැල් අතර ද, විඳින වේදනා අතර ද, සත්ත්වයන් අතර ද කිසිදු හිඬැසක් හෝ විවේකයක් හෝ නැති (නත්ථි ඒතෙසං අන්තරං විචිති අවීචි) ස්ථානයයි. එමෙන් ම නිරයේ දඬුවම් දෙන ‘නිරය පාලයන්’ යනු වෙන ම සත්ත්ව කොට්ඨාසයක් නොව, සත්ත්වයාගේ ම අකුසල කර්ම ශක්තියෙන් හටගන්නා යන්ත්‍ර වැනි ප්‍රතිරූපයන් බව (“නිරයපාලා නාම න භූතා සත්තා, කම්මජා හි තේ යන්තානි විය පටිභාන්ති’) අටුවාවේ සුවිශේෂී ලෙස දක්වා ඇත.

ධම්මපදයෙහි නිරය වර්ගය තුළ බුදුරජාණන් වහන්සේ අපාය ගැන දේශනා කරති. විපරීත බුද්ධි, දෘෂ්ටි, ලබ්දි ඇති අය අපායගාමී වන බව එහි දක්වයි.

ජාතක පොත් වහන්සේ තුළ එන නිටි ජාතකය, මහා නාරද කස්සප ජාතකය, ලෝහකුම්භී ජාතකය සහ ලෝසක ජාතකය වැනි කතාවලින් ද අපායේ විවිධ දඬුවම් සහ ඊට හේතු වන පාපකර්ම පිළිබඳ දීර්ඝ ලෙස තොරතුරු හෙළි කෙරේ.

අනෙකුත් ආගම් හා සංස්කෘතීන්හි අපාය සංකල්පය, අපාය පිළිබඳ සංකල්පය බුදුදහමට පමණක් සීමා වූවක් නොවේ. ඉස්ලාම් දහම අල්- කුරානයේ ‘ජහන්නම්’ නමින් අපාය හඳුන්වන අතර, එහි දැවෙන ගිනිදැල්, කටු සහිත ‘සාක්කුම් ගසේ ගෙඩි සහ උණු කළ ජලය ආහාරයට ලැබෙන බවත්, එය දෙවියන් ප්‍රතික්ෂේප කළ අයට ලැබෙන සදාකාලික දඬුවමක් බවත් දක්වයි.

ක්‍රිස්තියානි දහම බයිබලයේ ‘ගෙහෙන්නාව සහ ‘ගිනි විල’ යනුවෙන් සඳහන් වන අතර, දෙවියන් වහන්සේගේ ආදරයෙන් වෙන්වී නොනිවෙන ගින්නෙන් තැවීම අපාය ලෙස අර්ථ දක්වයි.

හින්දු දහම භගවත් ගීතාව සහ පුරාණ ග්‍රන්ථවල ‘නරක’ ලෙස හඳුන්වන අතර, කාමය, ක්‍රෝධය සහ ලෝභය නිරයට යන ද්වාර ලෙස දක්වයි. එහි කුම්භීපාක, කාලසූත්‍ර වැනි නරක වර්ග 28ක් ගැන සඳහන් වේ.

‘අපාය පොළොව යට ඇතැයි’ පිළිගැනීම සහ විද්‍යාත්මක පදනම අතීතයේ සිටම අපාය පොළොව යට පිහිටා ඇතැයි යන සංකල්පයක් පැවතිණි. ඊට ප්‍රධාන හේතුව වූයේ පැරණි මිනිසුන් ගිනිකඳු, ලාවා පිටවීම සහ භූමිකම්පා වැනි ස්වභාවික සිදුවීම් දැක පොළොව යට ගින්නක් ඇති බවට නිගමනය කිරීමයි. එමෙන්ම මළමිනී පස් යට තැන්පත් කිරීමත්, අන්ධකාරය හා පතුල දුකට සමාන කිරීමත් ඊට බලපෑවේ ය.

නමුත් නූතන විද්‍යාත්මක ක්‍රමවේද තුළින් අපාය ඔප්පු කිරීමට නොහැකි වී ඇත්තේ මන්ද? විද්‍යාවේ සීමාවන් විද්‍යාව පදනම් වන්නේ පංචේන්ද්‍රියයන්ට හසුවන භෞතික නිරීක්ෂණ, ගණිතමය මිනුම් සහ පරීක්ෂණාගාර ප්‍රතිඵල මත ය. තලයන්හි වෙනස අපාය යනු භෞතික මීටර්වලින් මැනිය හැකි ස්ථානයකට වඩා “කර්ම ශක්තිය’ සහ ‘විඥානය’ මත පදනම් වූ වෙනත් තලයකි. ගුවන්විදුලි තරංග වායුගෝලයේ තිබුණ ද අඥජඥඪමඥප එකක් නැති ව ඇසෙන්නේ නැත. එලෙසම කර්ම ශක්තියෙන් බැහැර වූ විඥානයකට මිස සාමාන්‍ය විද්‍යාත්මක උපකරණවලට එය හසු නොවේ.

බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ දී පැහැදිලි කරන්නේ ‘නිරය යනු වෙන එකක් නොව, ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හය තුළින් විඳින දැඩි අකුසල දුක් වේදනාවන් ම ය’ යන්නයි. අපාය යනු විද්‍යාත්මක උපකරණයකට හසුවන භෞතික ගුහාවක් නොවන අතර ම, එය හුදකේ සිතුවිල්ලක් පමණක් ද නොවේ. බුදුදහමට අනුව එය අභිඤ්ඤාලාභී උතුමන්ට ප්‍රත්‍යක්ෂ වන, කර්ම ශක්තිය මත ගොඩනැඟෙන සැබෑ පැවැත්මකි.

එබැවින් අපාය පිළිබඳ විස්තරවල මූලික අරමුණ වන්නේ මිනිසා තුළ සංවේගය (සංසාර බිය) ඇති කර, දසඅකුසලයෙන් මුදා පංචශීලය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ පිහිටුවා උතුම් නිවන කරා මෙහෙයවීමයි.

You may also like

Leave a Comment