දානයෙහි අනුසස් හා වටිනාකම පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ තරම් වර්ණනා කළ වෙනත් ශාස්තෘන් වහන්සේ නමක් නැත. දානය ගැන ඇසූ පමණින් අපට සිහි වන්නේ කෑම බීම, ඇඳුම් පැළඳුම්, ගේ දොර හෝ තමා සතු දෙයක් නැති බැරි අයට පිනට දීමයි. අප බොහෝ දෙනෙක් පුරුදු කරන්නේ ද එම දානය යි. එයින් එහා ගිය සුවිශේෂී දානයක් තිබෙනවා. ඒ තමන්ගේ මරණින් පසු තවත් කෙනකුට ජීවිතය දීමයි. ඒ සඳහා කළයුත්තේ සිරුරේ විවිධ පටක ලබා ගැනීම සඳහා මෘත දේහ දන් දීමයි. ඒ උදාර පින්කම ඉටු කර ගන්න ඔබටත් පුළුවන්. මේ එම කාර්යභාරය පිළිබඳ ශ්‍රී ලංකා පටක බැංකුවේ සහකාර කළමනාකාර සමිත ජයසූරිය මහතා සමඟ කළ සාකච්ඡාවකි.
ශ්‍රී ලංකා පටක බැංකුව ඇරැඹුණේ කොහොම ද? එහි කාර්යභාරය කෙබඳුද?
දොස්තර හඩ්සන් සිල්වා මහතා විසින්, මේ ව්‍යාපෘතිය මුලින් ම ආරම්භ කරනු ලැබුයේ 1995 වර්ෂයේ දී යි. පටක බැංකුව මේ වන විට ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අක්ෂිදාන සංවිධානය, විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය එකට එකතුව සිදු කරන ව්‍යාපෘතියක්.
අක්ෂිදාන සංවිධානය තුළින් ඇස් සම්බන්ධ ව කටයුතු කරන අතර, ශරීරයේ ඇති සියලු ම පටක සමඟ ගනුදෙනු කරන්නේ ශ්‍රී ලංකා පටක බැංකුවයි. මෘත දේහයකින් ලබා ගන්නා අස්ථි, සම ඇතුළු සියලු කොටස් සංරක්ෂණය කොට රෝගියකුට බද්ධ කිරීමට ලබා දීම අප ආයතනයේ කාර්යභාරය යි.
මියගිය පසු ශරීරය දන් දෙන්න ඕනෑම කෙනකුට පුළුවන් ද? වයස් පරතරයක් තිබෙනවා ද ?
ඔව්. අවුරුදු 70ට වඩා අඩු වයසින් මියයන අයගේ ශරීර තමා අපි දැනට ලබා ගන්නේ. කෙනෙක් මරණයට පත්වෙන අවස්ථාවේ තිබූ රෝගි තත්ත්වයන් ගැනත් අපි සලකා බලනවා. විෂබීජ ආශි‍්‍රත මරණයක් නම්, මරණය සම්බන්ධ ව විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙනවා නම් ඒ මෘත දේහය අප භාර ගන්නේ නැහැ. නමුත් බෝ නොවන රෝග ලෙස සැලකෙන දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා ආදී රෝගවලින් පීඩා විඳින අයටත් මියගිය පසු ශරීරය දන් දෙන්න පුළුවන්. මිය යන විට ආසාදන රෝග නැතිනම් බෝ නොවන රෝගවලින් පෙලුණත් දන් දෙන්න පුළුවන්.
පටක බද්ධය සිදු කරන්නේ කොහොම ද?
මෘත දේහයේ පටක ඒ විදිහට ම තව කෙනකුට බද්ධ කරන්නේ නැහැ. ඒ පටක කොටස් වෙන් වෙන් වශයෙන් ගෙන සුදුසු අයුරු සැකසීමෙන් පසුවයි තව කෙනකුට බද්ධ කිරීම කරන්නේ. එය සියුම් බද්ධ කිරීමක් වුවත්, ටික කලක දී ඒ පටක රෝගියාගේ ශරීරයේ ම කොටසක්් බවට ඒ පටකය පත්වෙනවා.
පටක ලබා ගැනීමට මුළු ශරීරය ම දන් දෙන්න ඕනෑ ද?
මුළු ශරීරය ම දන් දෙන්න ඕනෑ කියා දෙයක් නැහැ. දැනට අපට වසරකට මෘත දේහ තිහක් පමණ ලැබෙන්නේ. ඒ අතර ඇතැම් කෙනෙක් ශරීර කොටසක් විතරක් දන් දී තිබෙනවා. බොහෝ දෙනා දණහිස අස්ථිය තමා දන් දෙන්නේ. එක දණහිස් හන්දියක් බොහෝ රෝගීන් පිරිසකට බද්ධ කරනවා. කෙනකුගේ දණහිසක් තව අයකුට ඒ ආකාරයට බද්ධ කිරීමක් මෙහිදී සිදුවන්නේ නැහැ. එය කොටස් කරලා ගෙවී ගිය ප්‍රමාණය පමණයි බද්ධ කරන්නේ. එය වෛද්‍යවරයාගේ නිර්දේශය මත සිදුවන්නක්.
නමුත් කෙනෙක් මුළු සිරුර ම දන් දුන්නොත් එහි තිබෙන අස්ථි, සම, හිස් කබල ආදී බොහෝ පටක අපි ලබා ගන්නවා. එසේ මුළු සිරුර ම දන් දුන් පසු ඒ දේහයේ පටක රැගෙන අප විසින් ම අවසන් කටයුතු කරනවා. ශරීරයක පටක සියල්ල ම ගත්විට ඉතා කුඩා ප්‍රමාණයක් විතරයි අවසන් කටයුතුවලට ඉතිරි වන්නේ. ඒ ගැන අපි ඥාතීන් දැනුවත් කරනවා. අස්ථි පමණක් දුන් දේහයක් නැවත සකසා ඥාතීන්ට බාර දීම කරනවා.
මේ උදාර පින්කමට තුටුවෙන කෙනෙක් පටක බැංකුව හා සම්බන්ධ වන්නේ කොහොම ද?
මේ සඳහා අපි ක්‍රම දෙකක් හඳුන්වා දී තිබෙනවා. කෙනෙක් ජීවත් ව සිටිය දී ම අප ආයතනයෙන් නිකුත් කරන පොරොන්දු පත්‍රයක් පුරවා ශරීරය දන් දීමට කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම නැති නම්, කෙනෙක් මියගිය මොහොතේ ළඟ ම ඥාතීන් කතිකා කර ගෙන දේහය පටක බැංකුවට දෙන්නත් පුළුවන්. මේ දෙකෙන් පහසු ක්‍රමය ජීවත් ව සිටිය දී ම පොරොන්දු පත්‍රයක් අත්සන් කිරීමයි. ඒ වෙලාවේ ඔබ අභය දානමය පින්කමක් සිදු කර ගන්නේ. අපමණ පිනක් රැස් කර ගන්නවා.
මේ සඳහා නම, ලිපිනය සඳහන් කර දිග ලියුම් කවරයක් ලියා ශ්‍රී ලංකා අක්ෂිදාන සංවිධානය, විද්‍යා මාවත, කොළඹ 07 යන ලිපිනයට එවන්න. එවිට අප ඔබට පොරොන්දු පත්‍රයක් එවනවා. එය පුරවා එවීමෙන් සාමාජිකත්වය ලබා ගන්නට පුළුවන්. නැතිනම් පැය 24ම ක්‍රියාත්මක අපගේ 011-2698040 දිගුව 41, 42, දුරකතනයෙන් විස්තර ගන්නට පුළුවන්. මෘත දේහයක් ගැන අපව දැනුවත් කළොත් රෝහලට හෝ නිවෙසට හෝ පැමිණ මෘත ශරීරය රැගෙන එනවා. ඒ සඳහා කිසිදු මුදලක් අය කරන්නේ නැහැ.
මෘත දේහය පටක බැංකුවට දීමට පෙර ආගමානුකූල චාරිත්‍ර කරන්නට බාධාවක් තිබෙනවා ද?
නැහැ. ආගමානුකූල කටයුතු ඉතා ම අඩු කාලයකින් සිදුකොට දේහය අපට බාර දුන්නොත් උසස් තත්ත්වයේ පටක ලබා ගන්නට හැකියාව තිබෙනවා. අපි හැකිතාක් දැනුවත් කරන්නේ උපරිම පැය දොළහකට අඩු කාලයක දී අපට දේහය ලබා දෙන්න කියලයි.
අප අසා තිබෙනවා ගර්භනී මවකගේ ජල බෑගයත් දන් දෙන්න පුළුවන් කියලා. එය ඇත්තක් ද?
ඔව්. ගර්භනී මවක් කුසේ දරුවා රඳවාගෙන සිටින්නේ වෝටර් බෑග් තුළයි. දරුවා ලැබුණ පසු එම සිවිය ඉවත් කරනවා. නමුත් බොහෝ දෙනා දන්නේ නැති ව ඇති, එහි සාමාන්‍යයෙන් බද්ධ කළ හැකි පටක වර්ග අටක් පමණ තිබෙන බව අප එම පටකය බද්ධ කරන්නේ ඇසෙහි සිදු වූ සීරීමකට, පිළිස්සුණු රෝගියකුගේ තුවාල කැළල නැති කිරීමට ආදියට යි. සාමාන්‍යයෙන් දියවැඩියා රෝගියකුගේ ඇතිවන තුවාලයක් සුව කිරීමට ඔහුගේ ශරීරයෙන් ම වෙන තැනකින් හම රැගෙන තුවාලය වූ ස්ථානයට බද්ධ කරනවා. එය රෝගියාට විශාල අපහසුතාවක්. නමුත් මේ ලබා ගන්නා පටකය ඒ තැනට බද්ධ කිරීමෙන් ඉතා සුළු කාලයක දී ඒ තුවාලය සුවවීමේ ප්‍රවණතාව වැඩියි.
ගර්භනී මවක් මේ පිළිබඳ දැනුවත් ව එම බෑගය දන්දීමට කැමැත්ත පළ කළොත් අප ඇයගේ ශරීර සෞඛ්‍ය ගැන වෛද්‍යවරුන්ගෙන් විමසීමක් කරනවා. රුධිරය ලබා ගෙන පරීක්ෂණ කටයුත්තක් පවා සිදු කරලයි එය ලබා ගන්නේ.
සිරුර දන්දීමට පොරොන්දු පත්‍ර අත්සන් කරන හැමෝගෙම සිරුරු පටක බැංකුවට ලැබෙනවා ද?
අපට තිබෙන විශාලම දුෂ්කරතාව තමා කෙනෙක් පොරොන්දු පත්‍රයක් අත්සන් කරද්දී අපි බලාපොරොත්තු වෙනවා ඔහුගේ හෝ ඇයගේ හෝ මරණින් පසු එය ඉටු කරයි කියලා. ඇතැම් ඥාතීන් මෘත දේහය බාරදීමට ඒ මොහොතේ අකමැති වෙනවා. ආවේගශීලී වෙනවා. පොරොන්දු පත්‍රය අමතක කරලා වෙන කටයුතු කරනවා. ඒ ගෙවී යන්නේ පටක ලබා ගැනීමට තිබෙන කාලයයි.
තම සමීපතමයා මිය ගිය පසු ඥාතීන් හැකි ඉක්මනින් අපට දැනුම් දුන්නොත් ගුණාත්මක පටක ලබා ගන්නට පුළුවන්. කෙසේ කළත් පැය 12ක් ඇතුළත පටක ලබා ගෙන අවසන් කරන්න ඕනෑ. මිය යාමට පෙර කෙනෙක් පොරොන්දු පත්‍රයක් අත්සන් කළත්, ඥාතීන් එය ඉටු නො කිරීම අපට ගැටලුකාරී වෙලා තිබෙනවා. එනිසා ඔබ පොරොන්දු පත්‍රය ලියන අවස්ථාවේ දී තම සමීපතමයන්ට කියන්න මම තව කෙනකුට ජීවිත දානය දීමට කැමැතියි. තව කෙනෙක් සුවපත් වෙනවාට කැමැතියි. එනිසා මට ඒ පින්කම කරන්න ඔබ උදව් කරන්න. මගේ පොරොන්දුව ඉටු කරන්න කියලා.
ඒ වගේ ම පොරොන්දු පත්‍රයක් අත්සන් කරලා තිබෙනවා නම්, ඒක නීත්‍යානුකූල ලියවිල්ලක්. අප පටක කොටස් ලබා ගන්නේ ශ්‍රී ලංකා පටක බැංකුවේ අණපනත් අනුවයි. එහි සඳහන් කර තිබෙනවා ලියාපදිංචි විය යුතු අය පිළිබඳ ව වගේම, සාක්ෂිකරුවන් ගැනත්. සාක්ෂිකරුවෙක් අවුරුදු 18ට වැඩි වෙන්නත් ඕනෑ කියා පනතේ සටහන් ව තිබෙනවා.
එනිසා ඔබ මියගිය පසු දේහයේ පටක ලබා දී තව බොහෝ දෙනෙක් ජීවත් කිරීමට කැමැති නම් ඔබගේ සමීපතමයන් නිරන්තරයෙන් ඒ ගැන දැනුවත් කරන්න. එය මිය යන ඔබට මෙන් ම දේහය ලබා දෙන අයටත් පින් රැස්වෙන මා හැඟි පින්කමක්.
මහ පොළොවට හෝ ගින්නට හෝ විනාශ වී යන මේ කය පිළිබඳ මොහොතක් සිතන්න. මුදිතාව යනු අන් අයගේ සැපතේ දී සතුටුවීමයි. ශරීරයේ පටක දන්දීම හැමෝට ම කරන්න බැහැ. ඒ දුර්ලභ පින කර ගන්නට පුළුවන් පිනැතියන්ට ම පමණයි.
නයනා නිල්මිණි