ලෝක බෞද්ධ සංඝ සම්මේලනය රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානයකි. ලොව පුරා විවිධ සම්ප්‍රදායයන්ට අයත් බෞද්ධාගමික භික්ෂු ප්‍රජාවන් අතර දැනුම, සංස්කෘතිය ආදිය හුවමාරු කර ගැනීම සහ බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීම සඳහා වන ක්‍රියාකාරකම් සිදු කිරීමට සහාය වීම මෙම සංවිධානයේ මුඛ්‍ය අරමුණ වේ.
1966 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ කොළඹ දී මෙහි ආරම්භය සිදු විය. ආරම්භක මහලේකම් වශයෙන් පිඹුරේ සෝරත නාහිමිපාණන් කටයුතු සිදු කළ අතර, සභාපතිවරයා වශයෙන් ගෞරවාර්හ කලුකොඳයාවේ පඤ්ඤාසේඛර නාහිමියෝ කටයුතු කළහ.
වර්තමානය වන විට ථේරවාද, මහායාන සහ වජ්රයාන යන සම්ප්රදායයන් නියෝජනය කරමින් එහි සාමාජිකත්වය දරන රටවල් ගණන පනහකට ආසන්න වෙයි. ඒ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, භූතානය, බංගලාදේශය, බුරුමය, තායිලන්තය, තායිවානය, චීනය, හොංකොං, ජපානය කොරියාව, මොංගෝලියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමය, ලාඕසය වැනි ආසියාතික පාරම්පරික බෞද්ධ රටවල් මෙන් ම ඔස්ටේ්රලියාව, නවසීලන්තය, ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව, බ්‍රසීලය වැනි යුරෝපා සහ අමෙරිකානු රටවල් ද වේ.
ටැංසානියාව, උගන්ඩාව සහ දකුණු අප්‍රිකාව වැනි අප්‍රිකානු රටවල් ද වේ.
මෙහි පළමු සම්මේලනයේ දී එහි ආරම්භක මහලේකම්වරයා වූ පණ්ඩිත පිඹුරේ සෝරත නාහිමියන් විසින් සියලු බෞද්ධ සම්ප්රදායයන් ඒකාබද්ධ කිරීම සඳහා ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලෙස මහාචාර්ය වල්පොළ රාහුල මහා හිමියන්ගෙන් ඉල්ලා සිටි අතර, එය සභාව විසින් ඒකමතික ව අනුමත කරන ලදී. එය ථේරවාදය, මහායානය සහ වජ්රයානය යන සම්ප්රදායයන් ඒකාබද්ධ කරන මූලික කරුණු නවයකින් යුක්ත වෙයි.
ඒවා නම්, බුදුරජාණන් වහන්සේ අප සියලු දෙනාගේ එකම ශාස්තෘවරයාණන් වහන්සේ ය. (බෞද්ධයන් වශයෙන් අප කවර සම්ප්රදායකට හෝ ගුරුකුලයකට හෝ අයත් වුව ද බුදුරජාණන් වහන්සේ අප සියලු දෙනාගේ එකම ශාස්තෘවරයා යි.)
බෞද්ධයන් වශයෙන් අපි සියල්ලෝ ම තෙරුවන් සරණ යන්නෙමු.
ලෝකය නිර්මාණය කර පාලනය කරන සර්ව බලධාරී දෙවි කෙනකු අපි විශ්වාස නොකරමු.
කිසිදු වෙනස්කමකින් තොර ව සියලු සතුන් කෙරෙහි කරුණාව වර්ධනය කර ගැනීමත්, ඔවුන්ගේ යහපත, සතුට සහ සාමය උදෙසා කටයුතු කිරීමත්, එමෙන් ම පරම සත්‍ය අවබෝධ කර ගැනීමට මඟ පාදන ප්‍රඥාව වර්ධනය කර ගැනීමත් ජීවිතයේ අරමුණ බව අපි සලකමු.
දුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය සහ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව යන චතුරාර්ය සත්‍ය අපි පිළිගනිමු.
සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය සහ දුක් සහගත බවත්, සියලු සංස්කාර ධර්මයන් මෙන් ම අසංස්කාර ධර්මයන් අනාත්ම වන බවත් අපි අවබෝධ කර ගනිමු.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සම්බෝධිය කරා යන ගමනේ විවිධ අංග ලෙස සත්තිස් බෝධිපාක්ෂික ධර්ම අපි පිළිගනිමු.
බෝධිය හෙවත් අවබෝධය ලබා ගැනීමට ක්‍රම තුනක් ඇත. එනම් ශ්‍රාවකයකු ලෙස, පසේබුදුරදුන් ලෙස හෝ සම්මා සම්බුදුරදුන් හෝ වශයෙනි. අන් අයව ගලවා ගැනීම සඳහා බෝධිසත්ත්ව මාර්ගයේ ගමන් කරමින් බුද්ධත්වයට පත්වීම, උත්තරීතර ම සහ වීරෝදාර ම ක්‍රියාව ලෙස අපි පිළිගනිමු.
විවිධ රටවල බෞද්ධ විශ්වාස සහ පිළිවෙත් සම්බන්ධයෙන් වෙනස්කම් පවතින බව අපි පිළිගනිමු. මෙවැනි බාහිර ස්වරූප සහ ප්‍රකාශන, බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම් සමඟ පටලවා ගත යුතු නැත.
යන මෙම කරුණු නවය පළමු සම්මේලනයේ දී සම්මත කර ගන්නා ලදී.
උක්ත කරුණු පිළිගනිමින් හා සම්මත කර ගනිමින්, ලෝක බෞද්ධ ප්‍රජාවගේ සමඟිය ආරක්ෂා කර ගනිමින් ලොව පුරා බුදුදහමේ සාමකාමී පණිවිඩය ව්‍යාප්ත කිරීම සඳහා ආරම්භ කරන ලද ලෝක බෞද්ධ සංඝ සම්මේලනය මෙම වසරේ දී සිය හැට වැනි සංවත්සරය සැමරීමට සූදානම් ව සිටියි. එසේ ම මෙවර ශ්‍රී ලංකාවේ දී ම එම සැමරීම සිදු කිරීම ලෝක බෞද්ධ සංඝ සම්මේලනය ආරම්භ කිරීමට උර දුන් ශ්‍රී ලාංකික යතිවරයන් වහන්සේට සහ සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන විශිෂ්ට ගෞරවයක් වශයෙන් අපි දකිමු.
එසේම ඒ සඳහා කැලණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය තෝරා ගැනීම ද සුවිශේෂී අවස්ථාවක් වශයෙන් අපි දකිමු. අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ථේරවාද, මහායාන සහ වජ්රයාන යන සම්ප්රදායයන් තුන ම අධ්‍යයනය කිරීම සඳහා ලොව පුරා සිටින සියලු විද්‍යාර්ථයන්ට ඉඩ හසර ලබා දී ඇති ආයතනයකි. එබැවින් අප ආයතනයේ දී ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ හැටවැනි සංවත්සරය සැමරීමට තීරණය කිරීම ඉතා අගනා තීරණයක් බව ද මෙහිදී ප්‍රකාශ කරමු.
මෙවර ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ හැට වැනි සංවත්සරය සැමරීම මෙන්ම එකොළොස් වැනි මහ සභාවේ දෙවැනි විධායක කමිටු රැස්වීම ද මෙම මස 28 වැනි දින සිට දෙසැම්බර් මස 02 වැනි දින දක්වා පැවැත්වේ.
28 වැනි දින උදෑසන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී සමාරම්භ වන අතර, මෙම උත්සවය සඳහා දෙස් විදෙස් බෞද්ධ ප්‍රභූන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිත ය. නොවැම්බර් මස 28 සහ 29 දෙදින පුරා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී සංවත්සර උත්සවය සහ විධායක කමිටු රැස්වීම පැවැත්වෙන අතර, 29 වැනි දින සවස විශේෂ ශාස්ත්‍රීය සමුළුවක් පවත්වා එම කටයුතු අවසන් කිරීමට නියමිත ය. අනතුරුව 30 වැනි දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස ලෝක සාමය උදෙසා විශේෂ අධිෂ්ඨාන පූජාවක් පවත්වනු ලබන අතර, දෙසැම්බර් මස පළමු වැනි දින රුවන්වැලි මහා සෑය සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට ගෙන විශේෂ ආගමික වැඩසටහන් පවත්වා සම්පූර්ණ වැඩසටහන නිමා කිරීමට නියමිත ය.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ හැට වැනි සංවත්සරය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ඉතා ගෞරවනීය සහ ඓතිහාසික අවස්ථාවක් වන අතර, මෙරට බෞද්ධ උරුමයන් සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ලෝකයට ම ප්‍රදර්ශනය කළ හැකි මහඟුª අවස්ථාවක් ද වෙයි.