ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස විශේෂාංගශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිදලයීය 24 වැනි උපාධි ප්‍රදානෝත්සවය 27 වැනිදා

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිදලයීය 24 වැනි උපාධි ප්‍රදානෝත්සවය 27 වැනිදා

by Thanushika
November 24, 2026 12:49 am 0 comment

බෞද්ධ අධ්‍යාපනය ප්‍රඥාවන්ත මානව හිතවාදී සමාජයක් සඳහායි

    

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමි

පාලි භාෂාව, නිර්මල බුද්ධ දේශනාව සහ ඒ හා බැඳුණු සංස්කෘතික උරුමය වසර දහස් ගණනක් පුරා ආරක්ෂා කර ගෙන ආ ජාතියක් ලෙස, අද ලෝකය සොයන ජීවිතයේ යථාර්ථය පිළිබඳ බුද්ධ දේශනාවේ පණිවිඩය තවදුරටත් අධ්‍යයනය කරමින් ලෝකයට සම්ප්‍රේෂණය කිරීම අපගේ ජාතික හා ශාස්ත්‍රීය වගකීමකි. ඒ අතර ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන ආයතනයකි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවීමේ මූලික අරමුණක් වූයේ මහා සංඝරත්නයේ අධ්‍යාපනික මට්ටම උසස් කිරීමත්, පාලි භාෂාව සහ බුද්ධ දේශනාව පිළිබඳ ගැඹුරු ශාස්ත්‍රීය අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමත් ය. බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇතුළත් ත්‍රිපිටකය අධ්‍යයනය කිරීමේ දී පාලි භාෂාව සතු වටිනාකම අතිමහත් ය. විනය පිටකය, සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය ආශ්‍රිත ඉගැන්වීම් නිවැරැදි ව අවබෝධ කර ගැනීමට භාෂාමය දැනුම මෙන් ම ගැඹුරු විමර්ශනාත්මක හැකියාවක් ද අවශ්‍ය වේ.

විශේෂයෙන් ම ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය අඛණ්ඩ ව පවත්වා ගෙන යාම සඳහා පාලි භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබීම භික්ෂූන් වහන්සේට මහඟු ශක්තියකි. එමෙන් ම ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි ථෙරවාදී බෞද්ධ රටවල ශාසනික හා ශාස්ත්‍රීය සබඳතා වර්ධනය කිරීම සඳහා ද පාලි භාෂාව පොදු පදනමක් සපයයි. එබැවින් පාලි භාෂාව පිළිබඳ දැනුම වර්ධනය කිරීම යනු හුදෙක් පුරාණ භාෂාවක් හැදෑරීමක් පමණක් නොව, බුද්ධ දේශනාවේ මුල් ඉගැන්වීම් ගැඹුරින් අවබෝධ කර ගැනීමටත්, ථෙරවාදී ශාසනික උරුමය අනාගතයට සුරක්ෂිත කිරීමටත් දායක වීමකි.

විශේෂයෙන් ම නූතන විද්‍යාව, තාක්ෂණය සහ මානව සමාජය මුහුණ දෙන අභියෝග සමඟ බුදුදහමේ ඉගැන්වීම් විචාරශීලී ව සංවාදගත කිරීමට හැකි උගත් පරපුරක් බිහිකිරීම කාලීන අවශ්‍යතාවකි.

මෙම පසුබිම තුළ එළැඹෙන 27 වැනි දිනට නියමිත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 24 වැනි උපාධි ප්‍රදානෝත්සවය සුවිශේෂී වැදගත්කමක් උසුලයි. මෙහිදී අධ්‍යාපනය ලැබූ භික්ෂූන් වහන්සේ මෙන් ම ගිහි විද්‍යාර්ථීන් තමන් ලැබූ දැනුම පෞද්ගලික අභිවෘද්ධිය සඳහා පමණක් නොව, සමාජයේ යහපත, මානව සහජීවනය, සාමය සහ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යොදාගැනීම වැදගත් වේ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය එහි ඉදිරි ගමන තුළ බෞද්ධ අධ්‍යාපනය, පාලි භාෂා අධ්‍යයනය සහ ශාස්ත්‍රීය පර්යේෂණ තවදුරටත් දියුණු කරමින්, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බුද්ධ දේශනාවේ අගය ප්‍රචලිත කිරීමට සමත් වේවායි ප්‍රාර්ථනා කරමි.

විශ්වවිදලයීය කීර්ති නාමය ලාංකේය ජනතාවට අභිමානයකි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති

අනුර කුමාර දිසානායක

ජාතියක ඉදිරි ගමන තීරණය වන්නේ එහි භෞතික සංවර්ධනයෙන් පමණක් නොව, දැනුමෙන්, ප්‍රඥාවෙන් සහ යහ-ආකල්පවලින් පිරිපුන් ශිෂ්ට සම්පන්න මානව සමාජයක් බිහි කිරීමෙන් බව අපි දැඩි ව විශ්වාස කරන්නෙමු.

අද ලෝකය මුහුණ දෙමින් සිටින ගැටුම්, අසමානතා, පාරි සරික අර්බුද, ආර්ථික අභියෝග සහ සදාචාරාත්මක පිරිහීම් හමුවේ, කරුණාව, ප්‍රඥාව, අවිහිංසාව සහ සමානාත්මතාව මත පදනම් වූ බෞද්ධ දර්ශනයේ හරයාත්මක ඉගැන්වීම් වඩාත් කාලෝචිත මඟපෙන්වීමක් බවට පත්ව තිබේ.

බෞද්ධ දර්ශනයේ ගැඹුරු හරය සහ මානුෂීය වටිනාකම් සමාජයෙහි රෝපණය කරමින්, රට තුළ ආගමික සහ ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය එදා මෙදා තුර ඉටු කරමින් සිටින මෙහෙවර අතිශයින් පැසසුම් කටයුතු ය.

ලොව රටවල් රැසක අනුබද්ධ ආයතන ස්ථාපිත කරමින්, බෞද්ධ දර්ශනය සහ පාලි අධ්‍යයනය කෙරෙහි උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට පුළුල් අධ්‍යයන අවස්ථා උදා කර දී ඇති මෙම විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපනයේ විශිෂ්ට මධ්‍යස්ථානයක් ලෙස දිනා ගෙන ඇති කීර්තිය සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට ම අභිමානයට කරුණකි.

සම්බුදු සසුන රැක ගැනීමට ලැබුණු වටිනා අවස්ථාවක්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
මහෝපාධ්‍යාය, විනේතෘ මහාචාර්ය හෝමාගම ධම්මානන්ද නාහිමි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද බුදුදහම පතුරුවාලීම සහ ධර්මදූත කටයුතු පෝෂණය කිරීම සඳහා ය. ඒ වෙනුවෙන් බෞද්ධ ධර්මය හා විනය පිළිබඳ ශාස්ත්‍රධරයන් බිහිකිරීම අපගේ මූලික ම වගකීමකි. වර්තමාන ලෝක තත්ත්වයන්ට හා නවීන ප්‍රවණතාවලට ගැළපෙන පරිදි බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය සහ පාලි භාෂාව හැදෑරීම ප්‍රවර්ධනය කිරීමටත්, දේශීය හා විදේශීය විවිධ අධ්‍යාපනික ආයතනවල බුදුදහම සහ පාලි භාෂාව පිළිබඳ නිවැරැදි දැනුම ක්‍රමවත් ව බෙදා දීමේ මෙහෙවරටත් සක්‍රීය කොටස්කරුවන් බවට අද දින උපාධිධාරීන් ලෙස සමාජගත වන ඔබ සැම පත්වනු ඇත.

වසර ගණනාවක දැඩි කැපවීම, නොපසුබට උත්සාහය, පර්යේෂණාත්මක ගවේෂණය හා ශාස්ත්‍රීය ප්‍රයත්නයන්හි අග්‍රඵලය නෙළා ගන්නා මෙම සුවිශේෂී දිනය ඔබගේ අධ්‍යාපනික ජීවිතයේ අභිමානවත් ම සංධිස්ථානයකි. එය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සහ සමාජයට සේවය කිරීමට ලැබුණු වටිනා අවස්ථාවකි. මෙතෙක් ඔබ ලැබූ ශාස්ත්‍රීය දැනුම වර්තමාන සමාජයේ පිරිහී යන සදාචාරය නංවාලීම සඳහා උපයෝගී කර ගත යුතු අතර, තාක්ෂණයෙන් සහ භෞතිකවාදයෙන් වැසුණු නූතන සමාජයට බෞද්ධ දර්ශනය තුළින් සහනයක් සැපයීමට ප්‍රායෝගික ව භාවිතයට ගත යුතු ව ඇත.

බහුශ්‍රැත ධර්මදූතයන් හා ශාස්ත්‍රධරයන් වීමට ධෛර්යය, ශක්තිය සහ නිදුක් නිරෝගී සුවය උතුම් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් ඔබ සැමට ලැබේවා’යි ආශිංසනය කරමි.

බුද්ධිමත් පුරවැසියන් බිහිකරන අධ්‍යාපන ආයතනයකි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී
එම්. එන්. තල්ගහගොඩ

මෙම උපාධි ප්‍රදානෝත්සවය ඔබගේ අධ්‍යයන ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, දැනුම සොයා යාමේ දී ඔබ විසින් ප්‍රදර්ශනය කරන ලද කැපවීම, අධිෂ්ඨානය සහ නොපසුබට උත්සාහය අගය කිරීමේ අවස්ථාවක් ද වේ. එසේම, ඔබ විසින් හදාරන ලද අධ්‍යයන වැඩසටහන් සාර්ථක ව නිම කිරීම තුළින් අත්කර ගත් ජයග්‍රහණ අගය කිරීමට ලැබීම විශ්වවිද්‍යාලයට ද මහත් අභිමානයකි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ශ්‍රී ලංකාවේ හා විදේශයන්හි බුද්ධාගම පතුරුවාලීම, ධර්මදූත කටයුතු පෝෂණය කිරිම, පාලි භාෂාව, බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ දර්ශනය හැදෑරීම ප්‍රවර්ධනය කිරීම හා වර්තමාන ලෝක තත්ත්වයට ගැළපෙන පරිදි එම අධ්‍යයන කටයුතු නංවාලීමේ සුවිශේෂ වගකීමක් පැවරී ඇත. මෙම කීර්තිමත් විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් ලෙස, ඔබ අත්පත් කර ගත් දැනුම හා කුසලතා පමණක් නොව ප්‍රඥාව, කරුණාව, අවංකභාවය, විනය සහ සමස්ත මානව වර්ගයා කෙරෙහි ගෞරවය දැක්වීම වැනි උතුම් ගුණාංග ද සමාජය වෙත රැගෙන යා යුතු ය.

සාමය, සහජීවනය සහ අන්‍යෝන්‍ය අවබෝධය යන මූල ධර්ම මඟපෙන්වීම කර ගනිමින්, ඔබගේ ප්‍රජාවට, මාතෘභූමියට සහ සමස්ත ලෝකයට අර්ථවත් දායකත්වයක් ලබා දෙන ආදර්ශවත් පුද්ගලයන් බවට පත්වීමට ඔබට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි.

මෙම අමරණීය අවස්ථාවේ දී සියලු ම උපාධිලාභීන් වෙත මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමමි.

සුපේෂල ශික්ෂිත විදර්ථීන් බිහිකිරීම ප්‍රශංසනීයයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය
ආචාර්ය හරිනි අමරසූරිය

බුදුදහමේ උතුම් දර්ශනය සහ මූලධර්ම පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී අධ්‍යාපන ක්‍රියාවලිය, රටට සහ ලෝකයට සාධනීය වෙනසක් අත්කර දිය හැකි, සුපේශල ශික්ෂිත විද්‍යාර්ථීන් පිරිසක් බිහිකිරීම උදෙසා දක්වන දායකත්වය අතිශය ප්‍රශංසනීය වේ.

අද දින අත්පත් කර ගන්නා වූ මෙම ශාස්ත්‍රීය ජයග්‍රහණය, පෞද්ගලික ජීවිතයේ සන්ධිස්ථානයක් පමණක් නොව, සමස්ත මානව වර්ගයාගේ ම යහපත උදෙසා බෞද්ධ දර්ශනයේ හරය ප්‍රායෝගික ව උපයෝගී කර ගත හැකි නව සමාජයීය මෙහෙවරක ආරම්භයකි. අධ්‍යාපනය තුළින් හිමි කර ගත් ඥානය, කුසලතා හා ගුණාංග, ශ්‍රී ලංකාව තුළ වඩාත් සාමකාමී, යුක්තිගරුක සහ ප්‍රගතිශීලී සමාජ වටපිටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඵලදායී ලෙස ආයෝජනය කරනු ඇතැයි මම විශ්වාස කරමි.

වත්මන් ගෝලීය සහ දේශීය අභියෝගවලට සාර්ථක ව මුහුණ දීම සඳහා අවශ්‍ය ප්‍රඥාව, කරුණාව සහ මෛත්‍රී සහගත චින්තනය සිය ජීවිතයේ මඟ පෙන්වන්නා කර ගත යුතු ය. දැනුමෙන් මෙන් ම මනුෂ්‍යත්වයෙන් ද සන්නද්ධ ව, මේ සමාජය වඩාත් යහපත් මාවතකට යොමු කිරීමේ වගකීම අද දින සිට සිය වගකීමක් සේ සලකා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

පරිණත පුරවැසියකුගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයකි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බැරගම සද්ධානන්ද හිමි

ඔබ අද හිමි කර ගනු ලබන උපාධිය, වසර ගණනාවක කැපවීම, උත්සාහය හා අධිෂ්ඨානයේ අග්‍රඵලයකි. එය හුදෙක් ශාස්ත්‍රීය ජයග්‍රහණයක් පමණක් නොව, සමාජයේ යහපත උදෙසා වගකීමෙන් හා ගුණාත්මක භාවයෙන් යුතු ව කටයුතු කළ හැකි පරිණත පුරවැසියකු ලෙස ඔබගේ හැකියාවන් පිළිබිඹු කරන සුවිශේෂී සන්ධිස්ථානයකි.

බෞද්ධ සම්ප්‍රදායේ උතුම් ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කිරීමත්, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එය ප්‍රචලිත කිරීමත් අප සැමගේ වගකීමකි. එම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා ශාස්ත්‍රීය ප්‍රවීණත්වය සමඟ කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව ආදී උතුම් ගුණාංග ඔබ තුළ තවදුරටත් වර්ධනය විය යුතු ය යන්න අපගේ අපේක්ෂාවයි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු ලෙස ඔබගේ දැනුම හා කුසලතා මානව යහපත උදෙසා කැප කරමින්, ශික්ෂිත සමාජයක් ගොඩනැඟීමටත්, අධ්‍යාපනික, ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රවල ප්‍රගතියට සුවිශේෂී දායකත්වයක් ලබා දීමටත් ඔබ සමත් වනු ඇතැයි මම විශ්වාස කරමි.

මෙම උපාධිය ඔබගේ ජීවිතයේ නව පරිච්ඡේදයක සාර්ථක ආරම්භයක් වේවා. ඔබගේ සියලු යහපත් අනාගත අභිලාසයන් සාර්ථක වේවා. යහපත් ගුණධර්මවලින්, ප්‍රඥාවෙන් හා මානව හිතවාදී ජනතා සේවයෙන් පිරිපුන් අනාගතයක් ඔබ සැමට උරුම වේවායි හදවතින් ම ප්‍රාර්ථනා කරමි.

සමාජයීය හා ජාතික සේවාව විශිෂ්ටයි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ පීඨාධිපති
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගෝනදෙණියේ පඤ්ඤාරතන හිමි

වසර පනහකට ආසන්න ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, බුදුදහම සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර පිළිබඳ විද්වතුන් සිය ගණනක් බිහි කරමින් ලොව ප්‍රමුඛතම බෞද්ධ විශ්වවිද්‍යාලයක් බවට පත්ව ඇත. ආරම්භයේ සිට ම එය පීඨ තුනකින්, අධ්‍යයනාංශ දහයකින්, වටිනා පුස්තකාලයකින් සහ සැලකිය යුතු යටිතල පහසුකම් සංවර්ධනයකින් යුත් පූර්ණ විශ්වවිද්‍යාලයක් දක්වා විකාශනය වී ඇත. ශ්‍රී ලංකාවේ සුවිශේෂී උපාධි පාඨමාලා පිරිනමන අධ්‍යයනාංශ හයකින් සමන්විත භාෂා අධ්‍යයනය සඳහා ම වෙන් වූ පීඨයක් ඇති එකම විශ්වවිද්‍යාලය වීමේ ගෞරවය ද එයට හිමි වේ.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය උත්සාහ කරන්නේ බුද්ධ ධර්මය ප්‍රගුණ කළ, ජාති, ආගම්, කුල හෝ සමාජ පන්ති භේදයකින් තොරව මනුෂ්‍ය වර්ගයාට සේවය කිරීමට හැකි බුද්ධිමත් හා විනයගරුක උගතුන් බිහි කිරීමට යි. එහි සමාජීය හා ජාතික සේවා තුළින් සමාජයට ඉටු කරන විශිෂ්ට සේවය ලොව පුරා සිටින විද්වතුන්ගේ හා සම්භාවනීය පුද්ගලයන්ගේ පැසසුමට ලක්ව ඇත. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 24 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ සියලු ම උපාධිලාභීන්ට දීප්තිමත් හා සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරමි. ඔබ සැමගේ අනාගත කටයුතු සාර්ථක වේවායි මම සුබ පතමි.

උපාධිය යනු ජීවිතය දක්වා ඉගෙනීමේ ආරම්භයයි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මොරගොල්ලාගම උපරතන හිමි

වර්තමාන ලෝකය තුළ උසස් අධ්‍යාපනයේ අභියෝග බොහෝ ය. දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. සදාචාරය, විවේචනාත්මක චින්තනය, පර්යේෂණ කුසලතා, නවෝත්පාදන හැකියාව සහ මානව දයාව ද අත්‍යවශ්‍යය. මෙම ගුණාංග සමබර ව වර්ධනය කිරීම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන දර්ශනයේ මූලික පදනම වේ.

ඒ අනුව බෞද්ධ දර්ශනය, පාලි, සංස්කෘත, පුරාවිද්‍යාව, භාෂා, සමාජ විද්‍යා හා අනෙකුත් ශාස්ත්‍රීය ක්ෂේත්‍ර ඔස්සේ දේශීය හා ජාත්‍යන්තර අවශ්‍යතා සපුරාලන උපාධිධාරීන් බිහිකිරීම අපගේ ප්‍රධාන අරමුණකි.

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය මෙම ගමන්මඟේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ශාස්ත්‍රපති හා දර්ශනපති උපාධි වැඩසටහන් මඟින් නව දැනුම නිර්මාණය කිරීම, ගුණාත්මක පර්යේෂණ සංස්කෘතියක් වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විද්වත් ප්‍රජාවක් ගොඩනැඟීම අපගේ අරමුණයි.

පර්යේෂණ යනු අතීතය අධ්‍යයනය කිරීම පමණක් නොව, වර්තමාන සමාජ ගැටලුවලට බුද්ධිමත් සහ තිරසාර විසඳුම් සෙවීමේ ක්‍රියාවලියකි. එබැවින් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතු ජාතික සංවර්ධනයටත්, ජාත්‍යන්තර ශාස්ත්‍රීය ප්‍රජාවටත් වටිනා දායකත්වයක් ලබා දෙමින් පවතී.

උපාධියක් ලැබීම යනු අධ්‍යාපනයේ අවසානය නොව, ජීවිතාන්තය දක්වා ඉගෙනීමේ ආරම්භය යි. සමාජයට යහපතක් සිදු කරන, සත්‍ය අගය කරන, සදාචාරාත්මක නායකත්වය දරන සහ මානව වටිනාකම් සුරකින උගතුන් බිහිකිරීම අප සැමගේ වගකීම වේ.

You may also like

Leave a Comment