කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතේ අංක 35 දරන ස්ථානයේ පිහිටි ලෝක ප්‍රකට ලේක්හවුස් මන්දිරයට ඇතුළුවන දොරටුවේ සිට සෑම අංශයකින් ම විදහාපාන්නේ දේශීය ගෘහ කර්මාන්ත ශිල්පයයි. එදා අනුරපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වූ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ ලේක්හවුස් මන්දිරය පිළිබඳ විමසා බැලීමේ දී දක්නට ලැබෙන්නකි.
අතිශය තේජාන්විත එම මන්දිරය අබියස ඇති කණු විශේෂ කලාත්මක ගුණයකින් යුක්ත ය. කණුවේ පාදම හතරැස් ය. ඉහළ කොටස අටපට්ටම් හැඩය දරයි. පැති අට ම කොළ වැලකින් කැටයම් කර ඇත. කැටයම උඩට මතු කර ඇත. තෙළි තුඩකින් ඇඳි සිතුවමක් මෙන් සුමුදු වෙයි. සිංහල මෝස්තර කලාවෙහි දක්නට ලැබෙන මෝස්තර ගණනාවක් එම ගොඩනැඟිල්ලේ කණුවල ඇත.
නාග බන්ධ, මකර රූප, සීනි මල් මෝස්තරය, භේරුණ්ඩ පක්ෂියා, හංස පූට්ටුව වැනි දේශීය ගෘහ නිර්මාණයේත්, මෝස්තර කලාවේත් අනර්ඝතම ලක්ෂණ එම ගොඩනැඟිල්ල අලංකාර කිරීම සඳහා නිර්මාණ ශිල්පියා උපයෝගි කර ගෙන ඇත.
තුඩුගලගේ දොන් පිලිප් විජයවර්ධන සහ දෝන හෙලේනා විජයවර්ධන ළමාතැනී යන දම්පතීන්ට දාව 1886 පෙබරවාරි මස 23 වැනි දා පුත් රුවනක් බිහි විය. දොන් රිචඩ් විජයවර්ධන නම් වූ මේ කුමරුවා නිසි වියේ දී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කරන ලදී. එහිදී මනා ලෙස අධ්‍යාපනය හදාරා අනතුරුව උසස් අධ්‍යාපනය ලැබීමට එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් ව එහිදී උසස් අධ්‍යාපනය හදාරා නීති විශාරද උපාධිය ලබා ගැනීමට සමත් විය. නීතිවේදියකු ලෙස අධ්‍යාපනය ලබන අවධියේ දී ලොව බොහෝ රටවලින් පැමිණි ශිෂ්‍යයන් සමඟ අධ්‍යාපනය හැදෑරීය. ඔවුන් ඇසුරු කිරීමට ද අවස්ථාව උදා විය.
මේ අතර ඩී. ආර්. විජයවර්ධන තරුණ මහතාට කෝබට් නම් වූ යුරෝපීය තරුණ ශිෂ්‍යයෙක් හමු විය. ඔහු ඉන්දීය නිදහස් සටන අගය කළේ ය. ලාංකේය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට සහාය පළ කළේ ය. ලාංකේය ජනමතය හැඩගැස්වීමෙහිලා පුවත්පතකින් සිදුවන මෙහෙය ද දැනුවත් කළේ ය.
1909 දී පමණ එච්. එස්. පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් ආරම්භ කළ ‘දිනමිණ’ පුවත්පත එකල වන විට තරමක අපහසුතා මධ්‍යයේ නිකුත් විය.
1912 දී පමණ මෙරටට පැමිණි ඩී. ආර්. විජයවර්ධන මහතා නීතිඥවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ය. ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා විසින් දිනමිණ පුවත්පත පිළිබඳ ඒ අතරතුර දැනුවත් කරන ලදී. 1914 දී ඩී. ආර්.විජයවර්ධන මහතා විසින් දිනමිණ නව මුහුණුවරකින් එළි දැක්වීය. සියලු අභියෝග ජය ගනිමින් දිනමිණ ජාතික පුවත්පතක් බවට පත් කරන්නට ඩී. ආර්. විජයවර්ධනයෝ සමත් වූහ.
තවත් ඉදිරි පියවරක් ලෙස 1918 දී ‘සීලනීස්’ පුවත්පත මිලදී ගෙන එය ‘ඩේලි නිවුස්’ ලෙස පළ කළේ ය. ඉක්බිති ව 1928 දී ‘සන්ඩේ ඔබ්සවර්’, 1930 දී ‘සිළුමිණ’, 1932 දී ‘තිනකරන්’, 1948 දී ‘වාරමංජරී’ යන පුවත්පත් ආරම්භ කළේ ය. පුවත්පත ජනතාවගේ දැවෙන ප්‍රශ්න සඳහා වේදිකාවක් බවට පත් කළ අතර, ජනමත නායකයන්ගේ අදහස් ඊට ගොනු කළේ ය. නගරයේ මෙන් ම, ගමේ ද පුවත්පත බෙදා හළේ ය.
කලක් පිටකොටුව, නොරිස් වීදිය (ඕල්කොට් මාවත) තිබූ දිනමිණ මුද්‍රණාලය හා කාර්යාලය මරදාන ආනන්ද විද්‍යාලය ඉදිරිපිට ස්ටොක්වත්තේ පවත්වාගෙන ගිය ඩේලි නිවුස් කාර්යාලය පිහිටි ගොඩනැඟිලිවලට ගෙන යනු ලැබීය. එවක පටන් දිනමිණ, ‘සිලෝන් ඩේලි නිවුස්’ පත්‍ර දෙක ම නිකුත් වූයේ මරදානේ පිහිටි එම කාර්යාලයෙනි.
පසු කලෙක ව්‍යාපාරික කටයුතු පහසුව සඳහා මුද්‍රණාලය කොටුවේ පිහිටි ඔරලෝසු කණුව ඉදිරිපිට දෙමහල් ගොඩනැඟිල්ලේ උඩු මහලට ගෙන යනු ලැබීය. ඩී. ආර්. විජයවර්ධන මහතා විසින් ඔබ්සවර් සන්ධ්‍යා පුවත්පත මිලයට ගත් බැවින් පුවත්පත් තුනක් ම පළ කිරීමට සිදුවිය. ඔබ්සවර් මුද්‍රණාලය හා කාර්යාලය එකල පිහිටියේ කොළඹ කොටුවේ බේලි වීදියේ දෙමහල් ගොඩනැඟිල්ලක ය. දිනමිණ, ඩේලි නිවුස් පත්‍ර දෙකේ ම කාර්යාල ද එහි ගෙන ගොස් එකිනෙක සම්බන්ධ කරන ලදී.
දිනපතා හිමිදිරියේ රට පුරා පත්‍ර බෙදා හැරීමේ පහසුව සඳහාත්, වඩාත් පහසුකම් ඇති බේරේවැව අසබඩ පිහිටි භූමි භාගය තෝරාගෙන වත්මන් ලේක්හවුස් මන්දිරය ගොඩනඟන ලදී.
ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ පුවත්පත්, කලාවේ මෙන් ම රටේ දියුණුවට ද හේතු විය. ලේක්හවුස් ආයතනයෙන් 1930 මාර්තු මස 30 වැනි දා ‘සිළුමිණ’ ශත දහයේ විශ්වවිද්‍යාලය ජනප්‍රසාදයට පත්වීමට ගත වූයේ ඉතා කෙටි කාලයකි.
සිංහල භාෂාවෙන් පළවන සන්ධ්‍යා පුවත්පතක් නොමැති වීමෙන් ඇති වූ අඩුව තරමක් හෝ පිරවීම සඳහා 1953 මැයි මස 11 වැනි දා පටන් ‘ජනතා’ නමින් පුවත්පතක් ඇති කළේ ය. 1956 සැප්තැම්බර් මස සිට ‘නවයුගය’ සඟරාව අරඹා මසකට දෙවරක් බැගින් නොකඩවා ම පාඨක දැනුම වර්ධනයට කටයුතු කෙරිණි.
1964 දී ලේක්හවුස් ආයතනය මඟින් මෙරට හැදෙන වැඩෙන ළමා පරපුර දැනුවත් කරනු සඳහා සතිපතා ළමා පුවත්පත වූ ‘මිහිර’ පුවත්පත ද, 1963 අප්‍රේල් මස 10 වැනි දා සිට සිනමා රසික රසිකාවියන් වෙනුවෙන් ‘සරසවිය’ සතිපතා පත්‍රය ද, මෙරට දහම් පාඨක ජන සමාජයේ දහම් පිපාසය සංසිඳවනු පිණිස 1965 ජූනි මස 15 වැනි දා සිට ‘බුදුසරණ’ පුවත්පත ද, තරුණියන් වෙනුවෙන් 1969 ජූලි මස 09 වැනි දා සිට ‘තරුණී’ පුවත්පත ද සතිපතා පළ කළේ ය.
ඩී. ආර්. විජයවර්ධන මහතා විසින් ආරම්භ කර පවත්වා ගෙන ගිය සියලු පුවත්පත් මඟින් මෙරට පාඨක ජනතාව සෑම අංශයක් පාසා ම දැනුවත් කරමින් ඔවුන් පෝෂණය කළ බව නොරහසකි. ඩී. ආර්. විජයවර්ධන මහතා පුවත්පත් මාධ්‍ය හරහා දැයට බිහිකළ විශිෂ්ට ලේඛකයෝ රැසක් ද වෙති.
ඩී. ආර්. විජයවර්ධන මහතා කල්‍යාණි රාජමහා විහාරයට අමතරව කොළඹ බම්බලපිටිය වජිරාරාමය, හුණුපිටිය ගංගාරාමය සහ සේදවත්ත ගනේගොඩැල්ල විහාරස්ථානයේ ද ප්‍රධාන දායකත්වය දැරීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඝාරාමය ඉදිකරවීමට දායක වූ ඩී. ආර්.විජයවර්ධන මහතාගේ සමාජ සුබසාධනය තුළ උසස් අධ්‍යාපනය නංවන්නට කටයුතු යෙදීම සුවිශේෂී ය. සිංහල, දෙමළ, ඉංගී්රසි භාෂාත්‍රයෙන් ම පාඨක පරපුරක් බිහිකරමින් වියත්, විමර්ශනශීලී බව ඇති මෙරට පුවත්පත් කලාවේ මහගෙදර වූ ලේක්හවුස් ආයතනය දහස් වසරකින් කළ හැකි කර්තව්‍යයන් සියක් වසරකින් ඉටු කළ ඒ කීර්ති නාමය පරම්පරා ගණනක් ඉක්ම ගිය ද ලක්ධරණී තලයෙහි අමරණීය වනු ඇත.
හිටපු බුදුසරණ කර්තෘ
බෞද්ධ පත්‍ර කලා විශාරද
සීසර් සුදුසිංහ