ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස දහම් අසපුවමට මගේ හෘදය සාක්ෂිය රවටන්න බැහැ

මට මගේ හෘදය සාක්ෂිය රවටන්න බැහැ

by Thanushika
November 24, 2026 12:30 am 0 comment

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන අවදියක එහි වාසය කළ චූල්ලකාල නම් උපාසකවරයෙක් නිරන්තරයෙන් උදේ සවස බුදුරජාණන් වහන්සේ වැඩවාසය කළ දෙව්රමට ගොස්, බණ අසා, බොහෝ වෙලාවක් එහි බණ භාවනා කොට ආපසු ගෙදරට ඒමේ පුරුද්දක් ඇති කර ගෙන තිබුණා. සමහර දවස්වල වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා තවදුරටත් ඒ ධර්ම කාරණා එහි වැඩවාසය කරන සැරියුත් මහ රහතන් වහන්සේ වැනි උතුමන්ගෙන් විමසා පැහැදිලි කර ගෙන අලුයම් කාලය වන තුරු එහි ම ගත කර පාන්දර එන සිරිතකුත් තිබුණා.

දවසක්් සොරු කණ්ඩායමක් ඒ ගමෙහි ගෙයක් මංකොල්ල කාලා පළා යනවිට ගෙදර වාසය කරන අය ඒ සමඟ ම සොරුන් ලුහුබඳිමින් පෙරට ආවා. සොරමුල හොර බඩු ටික ද මහමඟ දමා පළා ගියා. මේ අතර චුල්ලකාල උපාසකතුමා වෙහෙරේ සිට ඒ මාර්ගයෙහි ම අලුයම පෙරට එමින් සිටියා. ඒ අතර ම ඉදිරියට එමින් සිටි ගෙදර හිමිකරුවන් උපාසකවරයා දැක ඔහු මේ බඩු කොල්ල කෑ සොරා යැයි එක්වර ම සැක කළා. දරුණු ලෙස පහර දෙමින් ඔහුට හිංසා පීඩා කළා. මේ අසල තිබුණ පොකුණට වතුර ගෙන යාමට එමින් සිටි දාසියන් පිරිසක් මේ සිද්ධිය දැකලා මේ පින්වත් දැහැමි උපාසකවරයා දැන හඳුනා ගෙන මේ උපාසකවරයාගේ පුණ්‍යවන්ත ජීවිතයේ වගතුග දැඩි ලෙස කියා පාමින් ගෙහිමියන්ට කන්නලව් කිරීමෙන් පසු ඒ වධහිංසාවලින් උපාසකයා නිදහස් කර ගත්තා. උපාසකතුමා තමන්ට විඳීන්නට සිදු වූ මේ මහාපීඩාව හා සිදුවීම දෙව්රම් වෙහෙර වාසය කළ වෙනත් භික්ෂූන් වහන්සේට දැනුම් දුන්නා. ඒ කරුණ උන්වහන්සේ වෙතින් බුදුරජාණන් වහන්සේ දැන වදාළා. මේ කරුණ දැන ගත් අපේ බුදුරජාණන් වහන්සේ ඒ නිමිති කර ගෙන ධර්මානුකූලව කරුණු පැහැදිලි කිරිමක් කළා.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ මම යම් අකුසලයක්, සමාජ විරෝධී අවැඩක් කළොත් එයින් ඒකානත්තයෙන් ම මම කෙලෙසීමට පත් වෙනවා කියලා හැම කෙනෙක් ම හිතන්න ඕනෑ. මා වැන්නෝ මේ ලෝකයෙහි ම අපහාසයට, උපහාසයට, නින්දාවට භාජන වී තැවීමට පත්වෙනවා. දඬුවම් විඳීනවා. මේ කරුණ මගේ හෘදය සාක්ෂියෙන් වසන් කර දමන්න පුළුවන් වන්නේ නැහැ. මම සමාජයට, අනෙකුත් පිරිස්වලට අවැඩක් නොකළොත් එයින් පිරිසිදු බවට පත් වෙන්නේ මේ මම ම යි. ඉතින් මට මේ සමාජයේ තවත් කෙනකු පිරිසිදු කරලා හුවා දක්වන්නට හැකියාවක් නැහැ. මම පිරිසිදු අයෙක් නම් එහි ප්‍රතිඵලය භුක්ති විඳින්නේ මම ම යි. වෙනත් කිසිදු කෙනකුට මා නිවැරැදි කරලා පාපයෙන් මුදාලන්නට හැකියාවක් ඇත්තේ නැහැ. මෙම මා පිළිබඳ වගකීම දරන්නේ මම ම යි. එහි බර කවරකුටවත් බාර ගැනීමට හැකියාවක් නැහැ. මේ සසර දුක් සහිත ස්වභාවය තේරුම් ගෙන එයින් යම් වෙලාවක මිදෙන්න කල්පනා කරනවා නම්, එය කරන්න හැකියාව තිබෙන්නේ මට පමණයි. මා වාරු කරගෙන, වත්තම් කරගෙන, ඔබ විසින් මා මේ සසරින් එතෙර කර විමුක්තියට ගෙන යන්න කියා මගේ මව්පියන්ට, ඥාති මිත්‍රාදීන්ට කාටවත් කියන්නත් බැහැ. එවැනි හැකියාවක් වෙනත් අයකුට මා විසින් පවරා දෙන්නත් බැහැ.

බුදුරජාණන් වහන්සේ මේ කරුණ මැනවින් පෙන්වා දෙන අවස්ථාවක් ලෙස මේ චුල්ලකාල උපාසක පුවත පෙන්වා දෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙහි දී පෙන්වා දෙනවා සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසොධයෙ යනුවෙන්.

එනම් නමන්ගේ පිරිසිදු බව, සුදන බව, දුදන බව රැක ගත යුත්තේ තමා විසින්ම යි. එය තමාට කෙතරම් සමීප වුවත් තමන්ගේ මව්පියන්ටවත්, දූ දරුවන්ටවත් තමා වෙත ළඟා කර දීමේ හැකියාවක් නැහැ.

මේ ප්‍රකාශ වන්නේ එක පැත්තකින් මගේ ශක්තිය. මගේ ස්වාධීන බව. ඒ වගේ ම මම කරන හැම ක්‍රියාවකට ම මා විසින් වගකීම දරන්න ඕනෑ කියන මේ කරුණ. අධිකරණයේ දී වුවත් කිසියම් නීති විරෝධී ක්‍රියාවක් කළ අයකු පිළිබඳ සලකා බලන්නේ මේ කාරණය යි. එහෙම වුණත් සමහර විට අධිකරණයේ දී සාක්ෂි නොමැති වුවහොත් නිවැරැදිකරු වැරැදිකරු වී වැරැදිකරු නිවැරැදි වීමේ හැකියාව පවතිනවා. මේ චුල්ලකාල කතා පුවතේ දී අර දාසි පිරිස ඉදිරිපත් නො වූවා නම් චුල්ලකාල ගෙහිමියන්ගෙන් මහත් වධ වේදනාවට ලක් වී මියැදෙන්නට හොඳට ම තිබුණා. සැබෑ සොරකු ලෙස සමාජයේ පිළිගැනීම ඇති වෙන්න තිබුණා. දිවි අහිමි නොවුණත් අධිකරණයට ඉදිරිපත් කළ විට මේ උපාසකයා සොරා ලෙස නම් කර දඬුුවම් පමුණුවන්නටත් හොඳට ම ඉඩකඩ තිබුණා. එසේ වූවා නම් වන්නේ නිවැරැදි කරුවකු වැරැදිකරුවකු බවට පත් වී ඉතාමත් අසාධාරණ ලෙස සොරකු බවට නම් වී මේ කිර්තිමත් උපාසකතුමා සමාජයෙන් ද අපහාස විඳ සිරදඬුවම් විඳීමට හේතු වීමයි.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව වැදගත් වන්නේ මෙන්න මේ කරුණෙහි දීයි. එනම් මෙහිදී හෘදය සාක්ෂිය තමා නිවැරැදිකරුවකු බව චුල්ලකාලට තීන්දුව දී අවසාන යි. ඒ වුණත් නිරපරාදේ මේ තෙරුවන් සරණ ගිය උපාසකතුමාට සමාජයෙන් යම් පමණකට ගැරහීම් ලැබී අවසාන යි. සැබවින් ම මෙහි බරපතළ විපාකය විඳීන්නට සිදු වන්නේ සැබෑ සොරුන්ටයි. මේ වෙලාවේ චුල්ලකාලට මෙවැනි අභූත චෝදනාවකට දුක් විඳීන්නට සිදු වූයේ පෙර කරන ලද පවක්, අකුසලයක් නිසා විය හැකි ය. මේ හෘදය සාක්ෂිය බුද්ධ දේශනාවේ දී විශේෂ කරුණක් ලෙස ගන්නවා. එයට හේතුව සැබෑ සත්‍ය තිබෙන්නේ එතැන වීම නිසයි.

භික්ෂූන් වහන්සේ විසින් පිළිපැදිය යුතු කරුණු 10ක් ගැන සඳහන් වෙන ඉතා අගනා සුත්‍රයක් ලෙස දසධම්ම සුත්‍රය හඳුන්වා දෙන්න පුළුවන්. මේ දහයෙන් කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේගේ උතුම් පැවිදි ජීවිතය පවත්වා ගෙන යාමේ දී නිරන්තරයෙන් සිහි කළ යුතු චර්යා ධර්ම පිළිබඳ සටහනක්.

එහි එන 4 වැනි හා 7 වැනි කාරණා මඟින් තමන්ට තමා එනම්, මා විසින් මට වග කියන්න ඕනෑ කියන මේ කාරණය මැනවින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ අනුව 4 වැන්න වන්නේ මගේ සීලය පිරිසිදු නොවේ යැයි මගේ සිතට මා විසින් ම අපවාද කිරීමට කිසියම් ඉඩක් ඇති දැයි සලකා ක්‍රියා කිරීම යි.

එහෙම තමා ගැන සිතන්න භික්ෂුවට හැකියාවක් ඇති නම්, ඒ භික්ෂුවට තමා ගැන ලජ්ජාවක් ඇති වෙනවා. ඒ ලජ්ජාව හෙවත් හිරි කියන මේ සිතුවිල්ල නිසා ම තමන් වරදින් මිදිය යුතු බවට තම හිත තමන්ට කියා දෙනවා. තුන්දොර සංවර වෙනවා. භික්ෂුවගේ සීලය පිරිසිදු වෙනවා. ඒ භික්ෂුව වඩාත් ඉක්මනින් සසර දුක් නිවාලනවා. හත්වැන්නෙන් කියැවෙන්නේ කර්මය මම සතුයි. කර්මය දායාද කොටයි මම ජීවත් වන්නේ. මා සතු වස්තුව කර්මය ම යි. මගේ සියලු කාරණා කටයුතුවලට සහාය වන්නේ කර්මය යි. මට අවසානයට පිහිට වන්නේත් කර්මය ම යි. මා යම් යහපත් දෙයක් හෝ අයහපත් දෙයක් හෝ කළොත් ඒ ක්‍රියාවට ලබා දෙන ප්‍රතිචාරයට මට යටත් වීමට සිදු වෙනවා. ඒ නිසා කර්මයේ අයිතිකාරයාත්, භුක්ති විඳීන්නාත් මමයි.

මේ නිසා කාගෙන්වත් අසා හෝ දැන ගෙන හෝ ඒ ඒ අයගේ කීමට යි මා මේ දෙය කළේ කියා කා වෙත හෝ තමන්ගේ ක්‍රියාව පිළිබඳ වගකීම පවරා දෙන්න හැකියාවක් නැහැ. තමා කරන සියලු දේ සම්බන්ධයෙන් වගකිය යුතු තමා ම වෙනවා.

You may also like

Leave a Comment