ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර අටවක පෝ දා 2026 නොවැම්බර් 17 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර අටවක පෝ දා 2026 නොවැම්බර් 17 අඟහරුවාදා
නිවස දහම් අසපුවගැටලුව ඇති තැන පැහැදිලිව දකිමු

ගැටලුව ඇති තැන පැහැදිලිව දකිමු

by Thanushika
November 17, 2026 12:30 am 0 comment

බුරුමයේ උපත ලද වෛද්‍ය තින් තින් මහත්මිය ධර්මධර ආචාර්යවරියකි. ඇය සතිපට්ඨාන භාවනාව පිළිබඳ උපදේශිකාවක් වන අතර, විපස්සනා භාවනාව ද උගන්වයි. ඇය විසින් පවත්වනු ලබන දහම් වැඩසටහන් ඇතුළත් කර ධර්ම කෘතියක් එළිදක්වා ඇත. එම කෘතියේ සිංහල පරිවර්තනය වූ ‘ජීවිතය ම භාවනාවකි’ ග්‍රන්ථයෙන් මෙම ලිපිය උපුටා ගැනිණි.

දෛනික ජීවිතයට භාවනාව ඕනෑ කරන්නේ ඇයි?

ඔබ කියනවා අපේ දෛනික ජීවිතයේ දී භාවනාව කර ගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඒක පටන්ගන්න හොඳම විදිහ මොකක්ද?

සාමාන්‍යයෙන් බැලූවිට අපේ මනස බාහිර ලෝකයට අහුවෙලා තියෙන නිසා අපි නො දැනුවත්ව ම ඇබ්බැහියට අනුව ලෝකයට ප්‍රතික්‍රියා කරනවා. බාහිර ලෝකයේ ඇලී ගැලී ඉන්නකොට අපි අපේ මනස සම්පූර්ණයෙන් ම අමතක කර දානවා. මෙතැන දී වටහාගත යුතු ඉතාමත් වැදගත් දේ තමා බාහිරයට යෙදුණ මේ අවධානය අභ්‍යන්තරයට, ඔබේ මනස වෙතට යොමු කරන්න ඕනෑ බව. වෙනත් විදියකට කියනවා නම් ඔබේ දෛනික ජීවිතයේ කටයුතුවල දී ඔබ ආහාරපාන ගන්නා විට, වැඩ කරනකොට, දරුවන්ගේ කටයුතු කරනකොට, උයනකොට, සුද්ද කරනකොට මොනව කරද්දී වුණත් ඔබේ මනස ගැන අවධානශීලි වෙන්න.

ඔබ කියන්නේ මගේ හිතට එන සෑම දෙයක් ම සනිටුහන් කර ගන්න ඕනෑ කියල ද?

ඒක හිතා ගන්නත් බැරි තරමට අමාරුයි. අපි හිතමු ඔබ කාර් පදවනවා කියලා. එතකොට ඔබ කොහොමද තමන්ගේ හිත ගැන බලන්නෙයි, පාරට හිත යොමු කරන්නෙයි.

අන්න ඒක හරිම අදාළ ප්‍රශ්නයක්. හැම තිස්සෙ ම ඔබේ හිතට අවධානය යොමු කර ගෙන ඉන්න කොහෙත්ම බෑ. එතකොට ඔබේ හිත හොඳට ම අවුල් වෙලා කාර් එක පාරෙන් පිට පනී. එහෙම අන්තයකට යනවා වෙනුවට ඔබ තුළ ඇති එක ආවේගයකට අවධානය යොමු කිරීමෙන් පටන්ගන්න. ඔබට වැඩිම හිරිහැරයක් දෙන ආවේගය, එහෙම නැත්නම් ඔබ තුළ වැඩියෙන් ම කැපී පෙනෙන ආවේගය තෝරා ගන්න. උදාහරණයක් හැටියට ඔබ ටිකක් තරහ යන විදිහෙ කෙනෙක් නම්, ඒ තරහ දිහා බැලීමෙන් පටන්ගන්න.

ඔබ ඉක්මනට හිත රිදෙන කෙනෙක් නම් මනෝභාව වෙනස් වෙන හැටි බලන්න. වැඩියෙන් ම කැපී පෙනෙන, වැඩියෙන් ම කරදරකාරි ආවේගයට අවධානය යොමු කරන්න.

බොහෝ දෙනාට තරහ හොඳ ආරම්භක තැනක්. මොකද, ඒක ලේසියෙන් කැපී පෙනෙනවා. ඒ ඇරෙන්න අනික් හුඟක් ආවේගවලට වඩා ඉක්මනට නැති වෙලා යනවා. ඔබ තරහ දිහා බලා ඉන්න පටන්ගත්තා ම හරි අපූරු සොයා ගැනීමක් කරයි. ඔබ තරහින් ඉන්නවා කියලා දැනගත්ත හැටියේ ම ඒ තරහ ඉබේ ම දිය වෙලා යනවා. රුචියකින්, අරුචියකින් තොර ව ඒ දිහා බලා සිටීම ඉතා වැදගත්. විනිශ්චයකින්, විවේචනයකින් තොර ව ඔබේ තරහ දිහා බලාගෙන ඉන්න ඉන්න, තරහව දිය වී යාමත් ලේසි වෙනවා.

මුලදී ඔබට පෙනෙයි ඔබ තරහ දැක ගන්නේ ඒක ඉවර වෙන්න කිට්ටු වුණා ම බව. ඒක වැදගත් නෑ. වැදගත් දේ තමා කොහොම හරි ඔබ තරහ වෙත හිත යොමු කරන්න තීරණය කිරීම. කල් යන කොට එහෙම බලා සිටීම වඩවඩාත් ස්වභාවික වෙනවා. වැඩි කල් යන්න කලින් ඔබට පෙනෙයි හිටිහැටියේ ම මහ තරහක් මැද්දෙදී ම තරහව අඩු වෙන බව, ඔබට පෙනෙයි ඔබ නිකම්ම දැනුවත් වෙලා ඉන්න බවත්, තවදුරටත් තරහේ ගැලිලා නැති බවත්.

ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද?

අපොයි පුළුවන්. මෙහෙම නේ. ඔබ සිත ඇතුළතට අවධානය යොමු කරන්න උත්සාහ කරන කොට ඔබ ආයේ අලුතින් තත්ත්වාරෝපණයක් කර ගන්නවා. මෙතෙක් කල් ඔබ බැලුවේ ම පිටත දිහා විතරයි. දැන් ඔබ සමහර වෙලාවට ඇතුළත බලන්න තමාට ම තත්ත්වාරෝපණය කර ගන්නවා. මෙහෙම ඇතුළත බැලීම පුරුද්දක් බවට පත් වෙන්න පුළුවන්. ඔබ හිත නො දැනුවත්ව ම හැම තිස්සේ ම හිත දෙසට ම යොමු වෙලා තිබීමේ තත්ත්වාරෝපණයක් තමා මේක. මුලදී නම් මේක නිතර සිදු වෙන එකක් නෑ. ඒත් ඒකට අධෛර්යය වෙන්න එපා. කාලයක් ගත වෙනකොට වෙනදාට වඩා ඉක්මනින් තරහ දකින්න පුළුවන් බව පෙනුණා ම ඔබට පුදුම හිතෙයි.

මේ දැනුවත් බව ශක්තිමත් වුණා ම අනික් ආවේගවලටත් උතුරා යනවා. ඔබ ආසාව දිහා බලා ඉන්න බව ඔන්න ඔබට පෙනෙයි. එහෙම බලා ඉන්නකොට ආසාව දිය වෙලා ගිහින් දැනුවත් බව විතරක් ඉතුරු වෙනවා. නැත්නම් ඔබ දුක දිහා බලා ඉන්නවා කියමු. දුක ඇති වෙන්නෙත්, නැති වෙන්නෙත් වෙනින් සමහර ආවේගවලට වඩා හෙමිනුයි. බලා ඉන්න ඉතා ම අමාරු ආවේගය තමා මානසික අවපාතය. ඒත් ඒක වුණත් බලන්න පුළුවන් වෙනවා. වඩාත් බලවත් සතිමත් බවකින්.

මේකට පුරුදු වුණා ම ඔබට පෙනෙයි. දැනුවත් බව වඩාත් තියුණු වෙන හැටි. ඒත් එක්කම තරහ යන අවස්ථා අඩු වෙනවා, තරහ පවතින කාලයත් අඩු වෙනවා. තරහවෙ තියුණු බව අඩු වෙනකොට ඔබට පෙනෙයි, ඔබ ආවේග එක්ක පොර අල්ලන ගතියත් එන්න එන්න අඩු වෙන බව. අන්තිමේ දී ඔබට පුදුම හිතෙයි, වෙන කවදාවත් වගේ නැතුව ඔබට ආවේග එක්ක යාළු වෙලා ඉන්න පුළුවන් බව දැක්කාම.

මොනවා? මට නම් හිතාගන්නත් බෑ තරහ තියෙද්දී සැනසිල්ලෙන් ඉන්න.

ඔබ තවදුරටත් ආවේග එක්ක පොර අල්ලන්නෙ නැති නිසා ඒවා ගැන විනිශ්චයක්, ඇලීමක් හෝ ගැටීමක් හෝ නැතුව ඒ දිහා බලන්න ඔබට ඉගෙනගන්න පුළුවන්. ඒවා තවදුරටත් ඔබට තර්ජනයක් වෙන්නෙ නෑ. ඔබට වඩාත් ස්වභාවික ව ආවේග දිහා බලන්න පුළුවන්, හරියට සාක්කිකාරයෙක් වගේ. ඔබ ගැටලුවලට මුහුණ දීලා, ආවේගවලින් පිරිලා ඉද්දි වුණත් ඔබට ඒවා ගැන උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. මේ ගතිය වඩාත් ස්ථාවර වෙනකොට ඔබට චිත්තවේගී තුලනය නැති කර නො ගෙන ගැටුම්වල දී ක්‍රියා කරන්න පුළුවන් වෙනවා.

තරහක් එනකොට ම ඒක දැන ගන්න මගේ හිතට පුළුවන් වෙයිද?

අපොයි ඔව්. සතිය වඩා දියුණු වෙලා අවදි ව තිබෙන කොට ඔබේ හිත වැඩ කරන ආකාරය ගැන ඔබේ හිත වඩ වඩාත් දැනුවත් වෙනවා. සතිය සම්පූර්ණයෙන් දියුණු වී හොඳට ක්‍රියාශීලි වුණා ම තරහක් උපදිනකොට ම ඔබට දැන ගන්න පුළුවන්. එහෙම දැන ගත්ත හැටියේ ම තරහ දිය වෙලා යන්න පටන් ගන්නවා.

මම තරහ දිහා බලාගෙන ඉන්න උත්සාහ කරලා තියෙනවා. එතකොට ඒක මොහොතකට නිවෙනවාත් දැක තියෙනවා. ඒත් ආයෙ ආයෙත් තරහ එනවා. ඒ මොකද?

මුල කාලයේ දී සතිය දුර්වල ව, අසම්පූර්ණ ව තියෙන කොට ඔබ බලා ඉද්දී තරහව ටික වෙලාවකට නැති වෙන්න පුළුවන්. ඊළඟට හිත පරණ ඇබ්බැහියට ම, තරහ ස්වභාවයට ම ආපහු යන්න පුළුවන්. පරණ තත්ත්වාරෝපණය තවමත් ප්‍රබලයි. තවදුරටත් ඔබට සතිය නමැති කලාවේ පරිණත වෙන්න තියෙනවා. තරහට හේතුව මොකක්ද කියලා බුද්ධියෙන් හිතන්න. කවුද වැරැදිකාරයා, ඇයි ගැටුම උග්‍ර වුණේ ආදී කාරණා හෙවීමට තමා ඔබ හොඳට ම පුරුදු වෙලා ඉන්නේ. ඇත්තට ම මෙතැනදි සිදු වෙන්නේ හිත අර පැරැණි පුරුදු විදියට ඒකාකාරි ප්‍රතික්‍රියා රටාවට ආපහු වැටීමයි.

තරහ උපදවා ගැනීම, තරහ ගැන සිතීම, තරහ ගැන ප්‍රතික්‍රියා දැක්වීම කියන පරණ චක්‍රය ඔබ ම ආයෙමත් ක්‍රියාත්මක කරනවා. ඉතින් මෙතැන තිබෙන්නෙ තරහ. ඒ ගැන බුද්ධියෙන් සිතීම, ප්‍රතික්‍රියා කිරීම කියන විෂම චක්‍රය වැඩ කිරීම යි.

මේකට ඇති එකම තාර්කික විසඳුම තමයි, ගැටුම පිළිබඳ බුද්ධියෙන් සිතා බැලීම නතර කරලා, ඒ වියවුල මැද්දේ හුදෙක් ම ඔබේ මනස දිහා බැලීම.

ඒ කියන්නේ ඒ වගේ වෙලාවක දී මම හිතන එක නවතා මගේ හිත දිහා බලා ඉන්න ඕනෑ කියන එක ද?

හරියටම අන්න ඒක තමයි මම කියන්නේ. හොඳයි මට තරහ වෙත හිත යොමු කරන්න අමාරුයි නම් එතකොට මම මොකද කරන්නේ?

එහෙම නම් එච්චර ප්‍රබල නැති ආවේග – ආසාව, පිළිකුල ආදිය වෙත හිත යොමු කරන්න. එතකොටත් ඔය විදියට ම සිදු වෙනවා. ඔබ පිළිකුල ගැන දැනුවත් වුණ වහා ම ඒකෙ තියුණුකම අඩු වෙන බව පෙනෙයි. සතිය බලවත් වෙනකොට ආසාව, පිළිකුල හෙම නැති වෙලා යනවා. ඔබ තවදුරටත් සතිය දියුණු කරන කොට තරහ, තණ්හාව, ගිජුකම ආදී වඩාත් බලවත් ආවේග වෙත යොමු වෙන්න පුළුවන් බව ඔබට පෙනෙයි.

තරහයි, විනිශ්චයයි සතියට අවහිර කරන අන්දමේ වියවුලක දී මම කටයුතු කරන්නේ කොහොමද?

වියවුල් සහගත අවස්ථාවලදීත් කළ යුතු ක්‍රමය ඕකම යි. අපි කාරණා හොඳට පැහැදිලි කර ගනිමුකො. සතිමත් ව, විනිශ්චයකින් තොර ව ඒ දිහා බලන්න. විනිශ්චයෙන් සහ බෙදීමෙන් තොර පිරිසිදු සරල මනසක් ඇති කර ගන්න සතිය ම අපිව පුරුදු කරනවා. සතිමත් වෙනවා කියන්නේ, ආවේග අබිබවා යාමක්, තරහ අබිබවා යාමක්. විනිශ්චය අබිබවා යාමක්. ඉතින් ඔබ සතිය නමැති කලාවෙ පරිණත වුණොත් ඔබ තවදුරටත් තරහ, විනිශ්චය කිරීම ආදී ප්‍රතික්‍රියා කරන්නේ නෑ. ඒ මොකද කීවොත් අවධානය යොමු කිරීම ම ආවේග අබිබවා යාමක්.

අනික් මිනිස්සු ගැන මොකද කියන්නෙ? මං කොහොමද අනික් මිනිසුන්ට ප්‍රතික්‍රියා කරන්නෙ? ගැටුම් සහිත අවස්ථාවකින් පිටට එන්න නම් මම කොහොමටත් ප්‍රතික්‍රියා කරන්න ඕනෑ නේ.

අන්න ඒක තමයි නියම ම කාරණේ. හුඟක් වෙලාවට අපි ක්‍රියා කරනවා වෙනුවට ප්‍රතික්‍රියා කරනවා. අපි ප්‍රතික්‍රියා කරන්නේ අපිව තත්ත්වාරෝපණය වෙලා තියන විදියටයි. ප්‍රතික්‍රියා කිරීම නතර කිරීමේ ක්‍රමය තමයි. ඒ තත්ත්වාරෝපණය කඩා දැමීම.

මනස මහ වියවුල් විදියට හිතන එක නැවැත්වුවා ම අපි සමස්ත තත්ත්වය නියම ස්වභාවයෙන් ම දකිනවා. මේක ඉතා ම වැදගත්. එතකොට දැකීමත්, දැනුවත්වීමත් පරිසමාප්තයි.

ඔබට මේක ඔබ වෙතින් ම පටන් ගන්න වෙනවා. මනස දෙස බලන්න තීරණය කර ගන්න. ඊළඟට ඒ ක්‍රියාවලිය දිහා බලා ඉන්න ඔබ පටන්ගන්නේ තමා වෙතින් වුණත්, ඔබේ නියම දැකීම සමස්ත අවස්ථාව ම පුරා විහිදෙනවා. එතකොට ඔබ තමාව තනි කොට දැකීම නතර වෙලා, ඒ වෙනුවට සමස්ත අවස්ථාව ම තුළ ඉන්න ඔබ ව දකිනවා.

ඉස්සර ඔබ ඔබේ තත්ත්වයයි, ඔබේ වැදගත්කමයි දැක්කා. ඔබේ අනන්‍යතාව රැක ගන්නත්, පවතින තත්ත්වය පාලනය කරන්නත් ඔබට ඕනෑ වුණා. දැන් ඔබත්, අනික් අයත් අතරේ බෙදීමක් නොදකින නිසා, ඔබ අනික් අයට වඩා වැදගත්කමින් අඩු හෝ වැඩි හෝ නැති නිසා, අන්න එතකොට තමා ඔබ සමස්ත තත්ත්වය නියම ස්වභාවයෙන් ඉතා පැහැදිලි ව දකින්නේ. දැන් ඔබ ඉතා පැහැදිලි ව දකිනවා ගැටලුව තියෙන්නෙ කොතැනද කියලා. එතකොට ප්‍රතික්‍රියා කරනවා වෙනුවට ඔබ හුදෙක් ම ක්‍රියා කරනවා.

 

පරිවර්තනය - රාණි සේනාරත්න රාජපක්ෂ

You may also like

Leave a Comment