මේ චීවර මාසයයි. ගම් දනව් පුරා වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරෙන කඨින චීවර පූජාව බොදු දනන්හට අප්‍රමාණ කුසල් රැස් කර ගත හැකි මහානීය පින්කමකි. රංගිරි දඹුල්ල රාජමහා විහාරය හා ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර, ශාස්ත්‍රපති දඬුබැඳීරුප්පේ මහින්ද හිමියන් සමඟ කළ මේ ධර්ම සාකච්ඡාව කඨින පින්කමෙන් පින් රැස් කර ගන්නා පිළිවෙත පිළිබඳවයි.
ස්වාමීන් වහන්ස, කඨින චීවර පූජාව සමඟ කියැවෙන ප්‍රධාන මාතෘකාවක් වන්නේ අටමහා කුසලයයි. මේ කුසලයෙහි විශේෂත්වය කුමක්ද?
අටමහා කුසල් කියලා විශේෂ පින්කම් අටක් තිබෙනවා.
කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛ සංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ
මෙම ගාථාවෙන් කියැවෙන්නේ අටමහා කුසල් ගැනයි.
කඨින සිවුරක් පූජා කිරීම, අටපිරිකර පූජා කිරීම, ආවාස ගෙයක් තනවා සඟ සතු කර පූජා කිරීම, බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන් දීම, බුද්ධ ධර්මය ලිවීම, ලියවීම සහ දහම් පොත්පත් මුද්‍රණය කර බෙදා හැරීම, සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම, බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාර ගෙවල් මලසුන් ආදිය සෑදවීම, වැසිකිළි තනවා සඟ සතු කර පිදීම ඒ අටමහා කුසල් අතර වෙනවා.
මේ පින්කම් අට අනෙක් පින්කම්වලට වඩා සුවිශේෂී වෙන්නේ විශේෂ හේතුවක් නිසයි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයට සසර ගමනේ මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම ආදී පංචානන්තරීය අකුසල සිදු කර නොමැති නම් වෙනත් අකුසල් දැන හෝ නොදැන හෝ කර තිබුණත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එය සැප විපාක ලබා දීමට සමත් වන බව දහමෙහි දැක්වෙනවා.
නමුත් අකුසල විපාක සම්පූර්ණයෙන් ම අහෝසි වූවායි නොසිතිය යුතුයි. අටමහා කුසල සිදු කර ගැනීමට බොහෝ දෙනා උනන්දු වෙනවා. මෙම පින්කම් සිදු කිරීම තුළින් පරියාප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයේ චිරස්ථිතියට ද විශේෂයෙන් මේ කාරණය හේතු වෙනවා. මේ පින්කම් අනාගත ශාසනයේ උන්නතිය බලා ම හඳුන්වා දී ඇති බව සිතන්න පුළුවන්. බොදු ජනතාවගේ ලෞකික සහ ලෝකෝත්තර අභිවෘද්ධිය සලසා ගැනීමටත් මෙම අටමහා කුසල හේතු වන බව ත්‍රිපිටකයේ සඳහන් විවිධ පින්කම්වල අනුසස් ප්‍රකාශ කරන තැන්වල සඳහන් වෙනවා.
කඨින චීවර පූජාවෙන් ලැබෙන මහානීය අනුසස් මොනවා ද?
අටමහා කුසල් අතර පළමු වැන්න වන්නේ කඨින චීවර පූජාවයි. මේ පින්කම සිදු කළ හැක්කේ වසරකට එක් වරක් පමණයි. අනෙකුත් පින්කම් වසරේ ඕනෑම වෙලාවක, ඕනෑම ස්ථානයක සිදු කරන්න පුළුවන්. නමුත් කඨින චීවර පූජාවක් එසේ සිදු කරන්න බැහැ. ඒ සඳහා කරුණු රාශියක් සම්පූර්ණ වීම අවශ්‍යයි.
උපසම්පදා භික්ෂූන් වහන්සේ ඇසළ පොහෝ දින පොහොය කිරීම නම් වූ විනය කර්මය සිදු කර, ඇසළ අව පෑළවිය දින වස් විසීමට සුදුසු ස්ථානයක පෙරවස් සමාදන් විය යුතුයි. මේ වස් තුන් මස මුළුල්ලේ ම ඒ සමාදන් වූ වස් ශික්ෂා පදය කඩ නොකොට, වස්සච්ජෙදනයකට නොපැමිණ එය ආරක්ෂා කර ගත යුතුයි.
කඨිනය කියන්නේ ඉතා බල සම්පන්න පින්කමක්. කඨින චීවරය ලබා ගන්නා භික්ෂූන් වහන්සේටත් විශේෂ වරප්‍රසාද නැතහොත් අනුසස් පහක් හිමි වෙනවා. කඨිනය පූජා කරන පින්වතුන්ටත් මහත් වූ අනුසස් රාශියක් හිමි වෙනවා.
ඒ අතරින් මතු භවයේ දී උත්තම පුරුෂයෙක් වශයෙන් උපත ලබනවා. සියලු යස ඉසුරින් පිරි දෙවියෙක් හෝ මනුෂ්‍යයෙක් ලෙස හෝ ඉපදීමට හැකි වෙනවා. උසස් කුලවල ම උපත ලබනවා. ධනවත් වෙනවා. කාටත් ප්‍රියමනාප පුද්ගලයෙක් වෙනවා. සක්විති රාජ්‍ය ලබා ගැනීමටත්, තේජසින් සහ කීර්තිමත් ව ජීවත් වීමටත් තරම් කඨින පින්කම බලසම්පන්නයි. ඒ වගේම දුගතියක, සතර අපායාදී දුක්ඛිත ස්ථානයක නොඉපදීමත් කඨින චීවර පූජාවෙන් ලැබෙන අනුසස්වලින් කිහිපයක්.
ස්වාමීන් වහන්ස, කඨින චීවර පූජාව බලසම්පන්න වන්නේ කොහොම ද?
කඨින චීවර පූජාවේ අනර්ඝත්වය ප්‍රකාශ වන ගාථාවක අදහස විමසා බැලීම මෙහි වටිනාකම තේරුම් ගැනීමට හොඳ සාධකයක්. පිරිසිදු දඹ රත්තරන්වලින් අකනිට්ඨක බ්‍රහ්ම ලෝකය දක්වා උසට සෑයක් සාදවා පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨින චීවරයක් පූජා කිරීමේ කුසලයේ දහසයෙන් පංගුවක්වත් නොවන බව බෞද්ධ ඉතිහාසයේ දැක්වෙනවා.
ඒ වගේම මහමෙර උසට තුන් සිවුරු පූජා කළත් ඒ කරන පූජාව එක් කඨින චීවර පූජාවකින් ලබන ආනිසංසයෙන් දහසයෙන් පංගුවක්වත් නොවන බවත්
“ගිරිරාජ සමං රාසිං -සංඝෙ දේති තිචීවරං
ඒකස්ස කඨින දානස්ස -කලං නාග්ඝති සෝළිසිං” යන
ගාථාවෙන් කියැවෙනවා.
තවද චීවරය මැසීමට ගසන එක් ඉදිකටු පහරකට සක්විති රජව ඉපදීමට තරම් හේතු සම්පත් ඇති බව “ආරපථෙ ආරපෙථ – චක්කවත්ති සිරිං ලභෙ අසිතිං ච චතුක්ඛත්තුං – චක්කවත්ති අහොසහං” ගාථාවෙන් කියැවෙනවා.
මෙම පින්කමේ අනුසස් ප්‍රකට කරන ප්‍රසිද්ධ කතා ප්‍රවෘත්තිය වන්නේ නාගිත චරිතාපදානයයි. අපේ රටේ අතීතයෙහි විසූ රාජරාජ මහාමාත්‍යවරු දැඩි ඕනෑකමකින් සහ උනන්දුවකින් මෙම පින්කම් සඳහා දායකවී ඇති බව මහාවංශය ආදී ඉතිහාස ග්රන්ථවලින් ද මැනවින් තහවුරු කරනවා.
සාමාන්‍ය පින්කම් අතර කඨින චීවර පූජාව වෙනස් වන්නේ කුමන ආකාරයට ද?
අවම වශයෙන් කඨින චීවරයක් පූජා කර ගැනීමට උපසම්පදා භික්ෂූන් වහන්සේ පස් නමක්වත් සම්බන්ධ කර ගත යුතුයි. කඨින වස්ත්‍රය පූජා කරන දිනයේ අරුණ නැඟෙන්නට පළමුව කඨින වස්ත්‍රය විහාරයට ගෙනැවිත් මහා සංඝයාට භාරදිය යුතුයි. එසේ කළ යුත්තේ එදින ම එම වස්ත්‍රය කඩ කපා, මසා, පඬු පොවාගෙන ඒ දවසේ ම කඨින චීවරයක් වශයෙන් පූජා කළ යුතු නිසයි. පසුව විනය කර්මයකින් එම චීවරය සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පැවරීම මහා සංඝ රත්නය අතින් සිදු කෙරෙනවා.
සියලු ම ආමිස දාන අතරින් කඨින චීවර පූජාමය පින්කම උතුම් ම දානයක්. කඨින යන වචනයේ අර්ථ රාශියක් ව්‍යවහාරයේ පවතිනවා. තද නිසා ද, ස්ථිර නිසා ද, කම්පා කළ නොහැකි අනුසස් ඇති නිසා ද කඨින යන නාමය භාවිත කරන බව “පඨවිරිව න ජාතු කම්පතෙ, න චලති මේරු රිවාති වායුනා, වජිරමිව න භිජ්ජතෙ ඝනං, තමිද මතො කඨිනන්ති චුච්චති” යන ගාථාවෙන් පැහැදිලි වෙනවා.
මහ පොළොව මෙන් කම්පා නොවන, මහමෙරක් මෙන් සුළඟින් නොසෙල්වෙන, ඒකඝන වූ වජ්ර පර්වතයක් මෙන් නොබිඳෙන නිසා කඨිනය යන වචනය ව්‍යවහාර කෙරෙනවා.
සාකච්ඡා කළේ – දිල්හානි ජයවර්ධන