ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
නිවස විශේෂාංගපණ්ණරසී පවාරණය

පණ්ණරසී පවාරණය

by damith
October 25, 2026 1:11 am 0 comment

මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි

බුදුරජාණන් වහන්සේගේ මුල් අවුරුදු විස්ස නිමවෙමින් පවතිද්දී සංඝ සංස්ථාවේ විනයානුලෝමික පැවැත්මට සරල වූ අවවාදය පමණක් ප්‍රමාණවත් වුණා. මේ තත්ත්වය ඕවාද ප්‍රාතිමෝක්ෂය යනුවෙන් බෞද්ධ සාහිත්‍යයෙහි කියැවෙනවා.

ප්‍රථම බුද්ධ කාලය හෙවත් මෙම මුල් අවුරුදු විස්ස තුළ භික්ෂු සංඛ්‍යාව එතරම් ශීඝ්‍ර ව බහුල නොවීම නිසා විනය ප්‍රඥප්ති පැනවීමක් සිදු වූයේ නැහැ. එහෙත් ඉන් අනතුරු ව බුද්ධ ශාසනයේ ශීඝ්‍ර වර්ධනය නිසා භික්ෂු භාවයට පත් වූවන්ගේ සංඛ්‍යාව ද ඉහළ මට්ටමකට ගමන් කළා. මේ අතර භික්ෂුණී ශාසනයේ ආරම්භය හා ව්‍යාප්තිය නිසා ද ශාසනික වශයෙන් විවිධ ගැටලු, ප්‍රශ්න උද්ගත වෙමින් පැවතුණා. මේ අතර ඡබ්බග්ගිය වැනි භික්ෂු කණ්ඩායම්වල ව්‍යාප්තිය, දේවදත්ත භික්ෂුවගේ ක්‍රියා කලාපය නිසා ද භික්ෂූන් වහන්සේ අතර අසමඟිකම් ද බහුල වන්නට වුණා. බුදුරජාණන් වහන්සේ විසින් ආරම්භ කෙරුණු මෙම සංඝ සංස්ථාවේ චිර පැවැත්මට සංඝ සාමාග්‍රිය අතිශයින් වැදගත් වු බව පැහැදිලි ව පෙනෙනවා. ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් වෙන්ව වාසය ප්‍රිය කළ අවස්ථාවක් වන්නේ පාරිලෙය්‍ය වනයේ වස් තුන් මාසයක් ගත කිරිමයි. බුදුරජාණන් වහන්සේ ඉතා උසස් කොට සැලකූ සංකල්පයක් වූයේ සුඛා සංඝස්ස සාමග්ගි- සමග්ගානං තපො සුඛො යන්නයි.

මුල දී සංචාරක ජිවන ප්‍රතිපදාවකට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා ක්‍රියා කළා. එවැනි අවස්ථාවල වස්සාන සමය එළැඹෙන විට මහජනයා වෙතින් ම නැඟුණු කිසියම් විරෝධතාවක් නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට වස් කාලය තුළ එක් ස්ථානයකට ගොනු වී තාවකාලික ආවාස කුටි දායක පක්ෂය ලවා හෝ ඉදි කරවා ගෙන වස් විසීමට අනුදැන වදාළා. ඉතින් මේ ක්‍රමයෙන් මෙවැනි එක් ස්ථානයක වස් වසා වැඩ සිටින භික්ෂූන් වහන්සේ සංඛ්‍යාව ද ඇතැම් විට විසි තිස් ගණන් දක්වාත් ඉහළ ගිය බව ශාසන ඉතිහාසය දෙස විමසා බැලීමෙන් පැහැදිලි වෙනවා. ඒ අනුව ඇසළ පුර පසළොස්වක දිනෙන් ආරම්භ වන වැසි සමය යම් තරමකට අඩුවීමට පටන් ගන්නේ වප් පුර පසළොස්වක පොහොය දිනෙන්.

ඒ වුණත්, වප් පෝය දිනෙන් පසුව ඉල් පුර පසළොස්වක දක්වාත් යම් පමණකට වැසි සමය අවසාන නොවන බව පෙනෙනවා. භික්ෂූන් තිස්නමක් බුදුරජාණන් වහන්සේ දකිනු කැමැත්තෙන් පාවා නුවර සිට සැවැත් නුවර වැඩම කරද්දී අතරමඟ වැසි සමය එළැඹුුණා. සාකේත නුවර වස් වසා වස් තුන් මාසය අවසන සැවැත් නුවර දක්වා ගමන් කරද්දීත් වැසි සමය පැවති නිසා තෙත බරිත සිවුරු පිරිකර සහිත උන්වහන්සේ සැවැත් නුවරට වැඩ බුදුරජාණන් වහන්සේ බැහැදකින විට උන්වහන්සේ තුළින් වෙහෙසකර බවක් දැන කඨින චීවරය අනුදැන වදාරා තිබෙනවා.

ඉතින් මේ කරුණින් පැහැදිලි වන්නේත්, මාතික මාතා කතා පුවතින් පැහැදිලි වන්නේ ත් එදා සංචාරක ජීවිතයක් ගත කරන භික්ෂුන් වහන්සේ එක් තැනක වස් වසනවිට තරමක් සංඛ්‍යාත්මක ව වැඩි මනත් සංඛ්‍යාවක් වස් වසා ඇති බවක්. එනමුත් හුදෙකලා ස්ථානවල කුටි සකස් කර ගෙන ඇතැම් ස්ථානවල භික්ෂූන් වහන්සේ අඩු සංඛ්‍යාවක් හෝ එක් නමක් වුව ද වස් විසූ බවට තොරතුරු සැපයෙනවා.

කොහොම වුණත් අද දවසේ භික්ෂූන් වහන්සේ එක් විහාරස්ථානයක එකනමක් හෝ දෙනමක් හෝ සුළුසංඛ්‍යාවක් හෝ වස් වසා වැඩ සිටින විහාරස්ථාන දක්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ නියමය වුණේ අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං, ද්වෙමෙ භික්ඛවෙ වස්සුපනායිකා, කතමෙ ද්වෙ පුරිමිකා පච්ඡිමිකා ච ආදී වශයෙන් එය බුද්ධ නියමයක් වශයෙන් පෙන්වා දෙනවා. ඉතින් හාරමාසයක් වන වස්සාන සෘතුවේ උපසම්පන්න භික්ෂූන් වහන්සේ වස් විසිය යුතු බව බුද්ධ නියමය යි. ඒ අනුව උපසම්පන්න භික්ෂූන් වහන්සේ කුමන රටක, ප්‍රදේශයක ජීවත් වුණත් වස් විසීම සිද්ධ කරනවා. ඇසළ පොහොයෙන් ආරම්භ වන මේ වස් තුන් මාසය වප් පොහොයෙන් අවසන් වෙනවා. දඹදිව කාලගුණික තත්ත්වය අනුව වප් පොහොයෙන් යම් පමණකට වැස්ස අඩු වුණත්, එය ඉල් පොහොය දක්වා ක්‍රමයෙන් අඩු වෙමින් ගමන් කරනවා. ඉතින් ඇසළ පෝ දා හෝ ඊට පසුදින වස් වසන භික්ෂූන් වහන්සේ වප් පොහෝ දින පවාරණය කරනවා. මේකට මහා පවාරණය සිදු කරනවා කියලා කියනවා.

ඒ අනුව අද (25) දිනට යෙදී තිබෙන වප් පොහෝ දින පෙරවස් විසූ භික්ෂූන් වහන්සේ මහා පවාරණය සිදු කරනවා. මේ පෙර වස් වසා මහා පවාරණය කළ භික්ෂූන් වහන්සේ වැඩ සිටින සෙනසුනක පමණයි. එතැනින් එළැඹෙන ඉල් පොහොය දක්වා වන චීවර මාසය තුළ දායක පක්ෂයට කඨින චීවරයක් පූජා කර ගැනීමේ භාග්‍ය උදාවන්නේ.

යම් හෙයකින් අසනීප තත්ත්වයක්, විදෙස්ගත වීමක්, අමතක වීමක් වැනි කිසියම් හේතුවක් නිසා ඇසළ පොහෝ දින වස් කාලය අධිෂ්ඨාන කර ගැනීමට අපොහොසත් වූ භික්ෂූන් වහන්සේ නමකට ඇසළ පොහොයෙන් පසුව එළැඹෙන නිකිණි පොහෝ දින සිට පසු වස් විසීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව උන්වහන්සේ වස් පවාරණය කරන්නේ ඉල් පුර පසළොස්වක දිනයි. එයට කියන්නේ පවාරණය කරනවා කියන යෙදීම පමණයි. එය මහා පවාරණය ලෙස පෙන්වා දෙන්නේ නැහැ. මොකද, වඩාත් බලගතු වන්නේ පෙර වස් විසීම අවසානයේ කරන පවාරණය නිසයි.

මහාවග්ගපාලියෙහි පවාරණක්ඛන්ධයෙහි නියමයක් තිබෙනවා මෙහෙම. ”අනුජානාමි භික්ඛවෙ තීහි ඨානෙහි පවාරෙතුං. දිට්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා සා වො භවිස්සති අඤ්ඤමඤ්ඤානුලොමිතා ආපත්තිවුට්ඨානතා විනයපුරක්ඛාරතා” යනුවෙන්. එයින් කියැවෙන්නේ ”මහණෙනි වස් විසූ භික්ෂූන් වහන්සේට දැක්ක කරුණකින් හෝ ඇසූ කරුණකින් හෝ සැකයට ලක්වන කරුණකින් හෝ යන මේ කරුණු තුනෙන් සංඝයා ඉදිරියෙහි මා පිළිබඳ චෝදනා කරන්නට මම අවකාශ ලබා දෙනවා කියලා පවාරණය කරන අවස්ථාවේ දී පොහොය සීමාව රැස්වන සියලු භික්ෂූන් වහන්සේ වෙන් වෙන්ව උක්කුටිකව හිඳ ප්‍රකාශ කරනවා.

මෙහිදී කියැවෙන ඉතා වැදගත් කරුණ වන්නේ එසේ තමන් වහන්සේට එම සීමාවේ සිටින ඕනෑම භික්ෂුවක් විසින් විවෘතව චෝදනා කළ හැකි වීමයි. මෙය මෙසේ කිරීමෙන් ඇති වන උසස් ම ප්‍රතිඵලය වන්නේ භික්ෂූන් වහන්සේ ගත වූ කාලය තුළ බුදුරජාණන් වහන්සේගේ නියමයට බැහැරව කිසියම් අකටයුත්තක් සිදු කළ බවට තමන් ම දැක හෝ වෙනත් අයගෙන් අසා හෝ තම තමන්ට සැකයක් ඇති වීමකින් ප්‍රසිද්ධියේ, එමෙන් ම වරදින් මුදා ගැනීමේ කරුණාවෙන් අසා දැන ගෙන, එයට පිළියම් කොට සිදු වූ ඇවතින් මුදා ගෙන ආයති සංවරයෙහි චෝදනා ලද භික්ෂුව පිහිටුවා නැවතත් සංඝ සාමාග්‍රියෙන් කටයුතු කිරීමේ අවස්ථාව උදා කර ගැනීම යි.

පවාරණය දින වශයෙන් තුදුස්වක, පසළොස්වක හා සාමාග්ගි වශයෙනුත්, තේවාචික ද්වේවාචික, ඒකවාචික, සංඝ, ගණ, පුග්ගල ආදී වශයෙන් නව ආකාර වෙනවා. සාමාන්‍යයෙන් අද අප සිදු කරන්නේ පණ්ණරසී හෙවත් පසළොස්වක දින පවාරණය යි. කොහොම වුණත් උපෝසථාගාරයට රැස්වන භික්ෂූන් වහන්සේ පළමුව ඇවැත් දෙසා පුර්වකෘත්‍යයන් ද අවසාන කර පවාරණයට සුදුසු කාලය එළැඹ ඇති බව ඤත්තිය තැබීමෙන් පසුව මෙම පවාරණ වාක්‍ය කියා පොහොය සීමාවෙහි දී පවාරණය සිදු කරනවා. පළමුවෙන් ම සංඝස්ථවිරයන් වහන්සේ උක්කුටිකව හිඳ පවාංරණ වාක්‍ය කියැ වූ පසු ඒ අවස්ථාවේ උක්කුටිකව සිටින සෙසු භික්ෂූන් වහන්සේ ද පවාරණය කීරීමෙන් පසු අවසාන කනිෂ්ඨ භික්ෂුව දක්වා ම වෙන් වෙන්ව කියා පවාරණය සිදු කෙරෙනවා.

You may also like

Leave a Comment