ශාස්ත්රපති
පලල්ලේ සරණජෝති හිමි
බෞද්ධ ජන සමාජය තුළ වස්සාන සමය යනු භික්ෂු සංඝයාගේ ආගමික හා ශාසනික ජීවිතයෙහි විශේෂ වැදගත්කමක් දරන කාලපරිච්ඡේදයකි. වස් කාලය සම්පූර්ණ කරමින් මහා පවාරණය සිදු කිරීමෙන් අනතුරුව ආරම්භ වන චීවර මාසය, සැදැහැවත් බෞද්ධ ජනතාවගේ දාන, ශීල, භාවනා හා විවිධ පුණ්ය කර්මයන් සඳහා විශේෂ අවකාශයක් සලසන පුණ්ය සමයකි. එම චීවර මාසයේ උතුම්ම පුණ්ය කර්මයක් ලෙස කඨින චීවර පූජාව බෞද්ධ සම්ප්රදාය තුළ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගනී.
බුදු දහමෙහි යහපත් ක්රියා ‘පුඤ්ඤ’ යන පදයෙන් ද අයහපත් ක්රියාවන් ‘පාප’ යන පදයෙන් ද හඳුන්වා දී තිබේ. පුණ්ය කර්මය යනු කාය, වචී හා මනෝ ක්රියා මඟින් සිදු කරන කුසල කර්මයන් ය. එම කුසල කර්මයන්ගේ ප්රතිඵල වශයෙන් මෙලොව හා පරලොව යහපත, සතුට, සම්පත් හා සුගතිගාමී බව ඇතිවන බව ත්රිපිටකයේ විවිධ ස්ථානවලින් පැහැදිලි වේ.
අංගුත්තර නිකායේ පුඤ්ඤභායී සූත්රයෙහි පුණ්ය කර්මයට බිය නො විය යුතු බවත්, පින සැපයට හේතු වන බවත් අවධාරණය කෙරේ. එබැවින් බෞද්ධයා පුණ්ය කර්ම හුදෙක් සමාජ චාරිත්රයක් ලෙස නොව, චිත්ත පාරිශුද්ධිය හා යහපත් ප්රතිඵල සඳහා හේතු වන කුසල ක්රියාවක් ලෙස අවබෝධ කර ගත යුතු ය.
පින මෙලොව සතුටට පමණක් නොව පරලොව සතුටට ද හේතු වන බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් පැහැදිලි වේ. එහෙත් පුණ්ය කර්මයන්හි වටිනාකම තීරණය වන්නේ බාහිර ක්රියාවෙහි ප්රමාණයෙන් නොවේ. ශ්රද්ධාව, පිරිසිදු චේතනාව, සීලය, පරිත්යාගශීලීත්වය හා යහපත් අරමුණ වැනි අභ්යන්තර ගුණයන් ද එහි ගුණාත්මකභාවයට බලපායි.
එබැවින් සුළු පුණ්ය කර්මයක් වුව ද පිරිසුදු සිතින්, ශ්රද්ධාවෙන් හා මනා අවබෝධයෙන් සිදු කළ විට එහි ආධ්යාත්මික වටිනාකම ඉහළ යයි. අනෙක් අතට, බාහිර වශයෙන් විශාල පුණ්ය කර්මයක් සිදු කළ ද එය අහංකාරය, ප්රසිද්ධිය හෝ වෙනත් ලෞකික අරමුණු මත පමණක් පදනම් වන්නේ නම්, එහි අභ්යන්තර වටිනාකම සලකා බැලිය යුතු ය.
මනුෂ්ය ජීවිතය ලැබීම ද බෞද්ධ දර්ශනය තුළ අතිශය දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ. ‘පුබ්බේ ච කතපුඤ්ඤතා’ යන මංගල කරුණ මඟින් පෙර කරන ලද පුණ්ය කර්මයන්ගේ වැදගත්කම පෙන්වා දෙයි. දියුණුව පිණිස හේතුවන පාපයට යන මඟ වළකාලන හෙයින් එය මංගල නම් වේ.
වස් පවාරණයෙන් අනතුරුව ආරම්භ වන චීවර මාසය බෞද්ධ ජනතාවට සුවිශේෂී පුණ්ය අවස්ථාවකි. මේ කාලය තුළ භික්ෂුන් වහන්සේ උදෙසා චීවර, අටපිරිකර, ඖෂධ, ආවාස පරිෂ්කාර හා වෙනත් අවශ්ය දෑ පූජා කිරීමේ සම්ප්රදායක් පවතියි.
මෙහිදී කඨින චීවර පූජාව සුවිශේෂී පුණ්ය කර්මයක් බවට පත්වන්නේ එහි විනයානුකූල සීමා හා සුවිශේෂී ක්රියාපටිපාටිය හේතුවෙනි. වස් පවාරණය කළ භික්ෂුන් වහන්සේ වැඩ සිටින විහාරස්ථානයක, විනයානුකූල කොන්දේසි සම්පූර්ණ කරමින් කඨින චීවර පූජාව සිදු කරනු ලබයි. එය සාමාන්ය චීවර පූජාවකට වඩා විශේෂ වූ විනයානුකූල පුණ්ය කර්මයකි.
“කඨින” යන්නෙන් කැඩීමට, බිඳීමට, සෙලවීමට හෝ විනාශ කිරීමට අපහසු වූ දෘඪ බව යන අදහසක් ගෙනහැර දැක්වේ.
මහපොළොව සෙලවුණත්, මහාමේරූ පර්වතය කම්පා වුවත්, වජ්ර පර්වතය බින්දත්, කඨිනයෙන් ලැබෙන ආනිසංස සෙලවීමට, බිඳීමට, විනාශ කිරීමට නොහැකි ය.
කඨින පින්කමෙන් ලැබෙන ආනිසංස පිළිබඳ නාගිත චරිතාපදානයේ දැක්වේ. කල්ප තිහක් දුගතිගාමී නොවීම, අටළොස් කල්පයක් දෙව්ලොව උපත ලැබීම, තිස් හතර වතාවක් සක්දෙව් රජ පදවිය වැනි උසස් භව සම්පත් ලැබීම ආදිය සඳහන් වේ. තවද කඨින චීවරය සකස් කිරීමේ දී භාවිත කරන ඉදිකටු පහරක් පාසා පවා මහත් පුණ්ය විපාක ලැබෙන බව විස්තර කර ඇත.
කඨින පින්කම හුදෙක් චීවරයක් පූජා කිරීමෙන් අවසන් වන ක්රියාවක් නොවේ. එය සමස්ත ගම්මානයක්, දායක සභාවක් හා විහාරස්ථානයක් එකමුතු කරන සාමූහික ආගමික සංස්කෘතික ක්රියාවලියකි.
අධික වැසි, සුළං, පිනි හෝ රාත්රී කාලය නොසලකා කඨින පෙරහරට සහභාගි වීමට සැදැහැවත් ජනතාව උනන්දු වන්නේ එම පුණ්ය කර්මය කෙරෙහි ඇති දැඩි ශ්රද්ධාව නිසා ය. එහිදී “පින්කමට අත ගැසීම” යන්න හුදෙක් චාරිත්රානුකූල ක්රියාවක් නොව, තමන් ද පුණ්ය ක්රියාවලියෙහි කොටස්කරුවකු වීමේ මානසිකත්වය ප්රකාශ කරන සංකේතයක් බවට පත් වේ.
කඨින පින්කම වටා විහාරස්ථාන සංරක්ෂණය හා සංවර්ධනය ද සිදුවේ. විහාරයට අවශ්ය චීවර හා අටපිරිකර පමණක් නොව, ආවාස, ධර්මශාලා, බෝධිඝර, සීමාමාලක, සනීපාරක්ෂක පහසුකම් සහ වෙනත් භෞතික අවශ්යතා සපුරාලීමට ද දායක පිරිස් ඉදිරිපත් වෙති. එමඟින් කඨින පින්කම ආගමික, සමාජීය, සංස්කෘතික හා භෞතික සංවර්ධනය එකිනෙකට සම්බන්ධ කරන සාමූහික පුණ්ය ක්රියාවක් බවට පත්වේ.
මහා පවාරණය වස්සාන සමයේ අවසානය සනිටුහන් කරයි. චීවර මාසයේ උදාව බෞද්ධ ජන සමාජයට නව පුණ්ය අවස්ථාවක් විවෘත කරයි. එම පුණ්ය සමයේ උත්කර්ෂවත් ම අවස්ථාවක් වන කඨින චීවර පූජාව, ශාසනය හා ගිහි සමාජය අතර පවත්නා අන්යෝන්ය සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරයි.
මහා පවාරණයෙන් උදාවන චීවර මාසය, ශ්රද්ධාවෙන් පුණ්ය කර්මයන්හි යෙදෙමින් ශාසනයට උපකාර කරන, සමාජයට යහපත සලසන, තම සිත පිරිසිදු කර ගන්නා පුණ්ය සමයක් වේවා.