ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
නිවස බෞද්ධ දර්ශනයඅරමුණට යන්න රෝද හතරක්

අරමුණට යන්න රෝද හතරක්

by damith
October 25, 2026 1:05 am 0 comment

ශාස්ත්‍රපති අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි

ජීවිතයේ අරමුණු තිබේ. සතුටින් ජීවත් වීම එක් අරමුණකි. මරණින් මත්තේ යම් අස්වැසිල්ලක්, සැනසිල්ලක් ඇති තැනක ඉපදීම තවත් අරමුණකි. මේ භව සංසාර ගමන කෙළවර කොට ලබන නිවන් දැකීම සුවිශේෂී අරමුණයි.

මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ගමන යෑම සඳහා කදිම රෝද හතරක් අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. චක්ක සූත්‍රය යනු අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ චක්ක වග්ගයට අයත් වන සූත්‍ර දේශනාවකි. මෙහි මිනිසකුගේ හෝ දෙවියකුගේ හෝ ජීවිතයේ දියුණුවට සහ අභිවෘද්ධියට හේතුවන ‘සතර චක්‍ර’ (චතු චක්ක) පිළිබඳ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දී ඇත. ගමනක් යන රථයකට රෝද හතර ම අවශ්‍ය වන්නා සේ ම, පුද්ගලයකුට ලෞකික මෙන් ම, ලෝකෝත්තර දියුණුව ළඟා කර ගැනීම සඳහා මෙම කරුණු හතර සම්පූර්ණ වී තිබීම අත්‍යවශ්‍ය වේ.

පතිරූපදේසවාසෝ

සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. පින් දහම් කිරීමට, බුද්ධ ධර්මය ඇසීමට සහ යහපත් ජීවිතයක් ගත කිරීමට සුදුසු, පරිසරයක් හා වටපිටාවක් ඇති ප්‍රදේශයක ජීවත් වීම.

සප්පුරිසූපස්සයෝ

සත්පුරුෂයන් ආශ්‍රය කිරීම. ගුණවත්, නුවණැති, කල්‍යාණ මිත්‍රයන් සහ ආර්ය උතුමන් ආශ්‍රය කිරීමට ලැබීම.

අත්තසම්මාපණිධි

තමා මනා කොට නිවැරැදි මාර්ගයේ පිහිටුවා ගැනීම. තමාගේ සිත, කය, වචනය යන තිදොර මනා ලෙස පාලනය කර ගනිමින් ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන ගුණධර්මවල පිහිටුවීම.

පුබ්බේ ච කතපුඤ්ඤතා

පෙර කරන ලද පින් ඇති බව. සංසාරයේ පෙර ආත්මවල දී රැස් කර ගන්නා ලද කුසල් ශක්තියක් තමා සතුව තිබීම.

මෙම කරුණු හතරෙන් යුක්ත වන තැනැත්තා නොබෝ කලකින් ම ධාන්‍ය, ධනය, යසස, කීර්තිය සහ සැපත ලබා, ලෞකික මෙන්ම ලෝකෝත්තර වශයෙන් ද මහත් දියුණුවට පත්වන බව මෙම චක්ක සූත්‍රයේ සඳහන් වේ.

’පතිරූප’ යනු සුදුසු, ගැළපෙන හෝ අනුරූප යන්නයි. ‘දේසවාස’ යනු ප්‍රදේශයක වාසය කිරීමයි. ඒ අනුව පතිරූපදේසවාස යනු තමාගේ ආධ්‍යාත්මික හා භෞතික අභිවෘද්ධියට, පින් දහම් කිරීමට සහ යහපත් ජීවිතයක් ගත කිරීමට අනුකූල වන පරිසරයක වාසය කිරීමයි.

බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන්ගේ නාමය ඇසේ නම්, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස වෙසෙයි නම්, බුදු දහම ප්‍රගුණ කිරීමට පහසුකම් ඇත්නම් එය ‘පතිරූප දේශයක්’ ලෙස දැක්වේ.

ගසකට පොහොර පසක් තිබිය යුතු ය. පස සාරවත් වූ විට පැළයක් මැනවින් වැඩෙන්නා සේ ම, බුද්ධ ශාසනය හා සත්පුරුෂයන් සිටින ප්‍රදේශයක වාසය කිරීමෙන් තමා තුළ ඇති ශ්‍රද්ධාව, සීලය, ශ්‍රැතය (ධර්ම ඥානය) ත්‍යාගය සහ ප්‍රඥාව යන ගුණධර්ම මැනවින් තහවුරු වී වර්ධනය වේ. ආධ්‍යාත්මික හා පරිසර යහපත ගොඩනඟා ගන්නට නිතර පින්කම් සිදුවන, කල්‍යාණ මිත්‍රයන් සහ බෞද්ධ වාතාවරණයක් ඇති ප්‍රදේශයක වාසය කිරීම මෙයින් අදහස් කරයි.

සාමාජික හා අධ්‍යාපනික යහපත ගොඩනැඟෙන තමාට මෙන් ම තම දරුවන්ට ද යහපත් අධ්‍යාපනයක්, ගුණ ධර්ම සහ සුදුසු ඇසුරක් ලැබෙන, අපරාධ හා දුශ්චරිතවලින් තොර ආරක්ෂිත පරිසරයක් තෝරා ගැනීම. සංක්ෂිප්තව දක්වන්නේ නම්, තමාගේ සිත පිනට හා කුසලයට නැඹුරු කරවීමට අවස්ථාව සලසා දෙන පරිසරයක ජීවත් වීම පතිරූපදේසවාස නම් වේ. මෙයින් අදහස් කරන්නේ අප සිටින තැන අතහැර වෙනත් ගමකට, ප්‍රදේශයකට, රටකට යෑම නොව අප යහපත් වී මෙවන් පරිසරයක් ගොඩනඟා ගැනීමයි.

සප්පුරිසයා යනු ශීල, සමාධි, ප්‍රඥා ගුණධර්මවලින් යුක්ත වූ, යහපත් නුවණැති, උතුම් ගුණ ඇති තැනැත්තා ය. සප්පුරිසූපස්සය යනු ඥානවන්ත, ගුණවත්, පාපයෙන් තොර සහ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන සත්පුරුෂයන් හා කල්‍යාණ මිත්‍රයන් නිතර ඇසුරු කිරීමයි. සත්පුරුෂයා වන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය. උන්වහන්සේට අමතරව පසේ බුදුවරුන්, අරහත් යතිවරයන් වහන්සේ, ආර්ය මඟට පිළිපන් උතුමන් මෙන්ම, අෂ්ට ලෝක ධර්මයේ දී නොසැලෙන, සුචරිතයේ යෙදෙන ගිහි – පැවිදි කල්‍යාණ මිත්‍රයන් ද සත්පුරුෂයන් ලෙස හඳුන්වයි. සත් පුරුෂ ආශ්‍රය යනු හුදෙක් එකට සිටීම පමණක් නොවේ. දස්සන (දර්ශනය) ගුණවත් උතුමන් දැකීමට යෑම, සවන (ශ්‍රවණය) උන් වහන්සේගෙන් යහපත් ධර්මය හා අවවාද ශ්‍රවණය කිරීම, පරිපුච්ඡා (සාකච්ඡාව) නොදන්නා ධර්ම කරුණු හා ගැටලු විමසා දැන ගැනීම. පයිරුපාසන (පරිචරණය) සත්පුරුෂයන්ට ගෞරව කිරීම, උපස්ථාන කිරීම සහ උන් වහන්සේගේ මඟ පෙන්වීම පිළිපැදීම, අසත්පුරුෂ ඇසුරේ ආදීනව දැනීම වැදගත් ය. අසත්පුරුෂයන් ඇසුරු කිරීමෙන්, නොකළ පාපයන්ට යොමු වන අතර, තමා තුළ ඇති අල්ප වූ ගුණධර්ම පවා විනාශ වී යයි. අජාසත්ත කුමරු දේවදත්ත තෙරුන්ගේ අසත්පුරුෂ ඇසුර නිසා පීතෘ ඝාතක පාපයට යොමු විය. සත්පුරුෂ ඇසුර නිසා පුද්ගලයා තුළ අනුක්‍රමයෙන් සද්ධමස්සවන (ධර්මය ඇසීම) ශ්‍රද්ධාව, යෝනිසෝ මනසිකාරය (නුවණින් විමසීම) සීලය සහ සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්ම වැඩෙන බව දක්වයි. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හිමියන්ට වදාළේ මුළුමහත් ශාසන බ්‍රහ්මචරියාව ම රැඳී පවතින්නේ කල්‍යාණ මිත්‍ර ඇසුර මත බවයි. වැරැදි මාර්ගයේ යන පුද්ගලයකුට වුව ද සත්පුරුෂයකුගේ ඇසුර ලදහොත් තම චරිතය නිවැරැදි මඟට යොමු කර ගැනීමට හැකියාව ලැබේ. සංක්ෂිප්තව දක්වන්නේ නම්, තමාගේ නුවණ, ශීලය සහ ආධ්‍යාත්මික ගුණ වර්ධනය උදෙසා පූර්වාදර්ශ සපයන, සදෙව් ලොව හා මෝක්ෂි සැපතට මඟ පෙන්වන ගුණවත් උතුමන් ඇසුරු කිරීම සප්පුරිසූපස්සය නම් වේ.

අත්තසම්මාපණිධි යන්නේ මූලික අර්ථය තමාගේ සිත සංවර කර ගැනීමයි. අයහපත්, දුශ්චරිතවත් මාර්ගයේ ගමන් කරමින් සිටි තමාගේ සිත, කය, වචනය යන තිදොර පාලනය කරගෙන, අකුසලයෙන් මුදාගෙන සුචරිතය හා ආධ්‍යාත්මික ගුණධර්මයන්හි මනාකොට පිහිටුවා ගැනීමයි. පාපයෙන් මුදා කුසලයෙහි සිත පිහිටුවා ගැනීමයි. කෙනකු තුළ යම් අශ්‍රද්ධාවක් (අස්සද්ධිය), අසීලයක් (දුස්සීලභාවයක්), අශ්‍රැතයක් (ධර්මය නොදැනීම), මච්ඡරියක් (මසුරුකමක්) හෝ දුෂ්ප්‍රඥාවක් (අඥානකමක්) ඇත්නම්, ඒ සියල්ල දුරු කර තමා තුළ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා යන පංච අරියධනයන් ඇති කර ගනිමින් නිවැරැදි මඟට සිත යොමු කිරීම අටුවාවල “අත්තසම්මාපණිධි” ලෙස හඳුන්වයි.

සංක්ෂිප්තව දක්වන්නේ නම්, අකුසලයෙන් සිත මුදාගෙන, සිත, කය, වචනය යන තිදොර කුසලයෙහි හා ආර්ය ගුණධර්මයන්හි මනාකොට පිහිටුවා ගැනීම අත්තසම්මාපණිධි නම් වේ.

පුබ්බේ ච කතපුඤ්ඤතා යන්නේ මූලික අර්ථය පෙර කරන ලද කුසල් ඇති බවයි. මෙය ‘පුබ්බේ’ + ‘කත’ ‘පුඤ්ඤතා’ යන පද සංයෝගයෙන් සෑදී ඇත. පුබ්බේ පෙර ආත්ම භවයන්හි හෝ මේ ආත්මයේ ගත වූ අතීත කාලයේ දී, කතා කරන ලද පුඤ්ඤතා පින් හෙවත් කුසල කර්මයන්හි හිමිකාරිත්වය ඇති බවයි. ඒ අනුව පුබ්බේ ච කතපුඤ්ඤතා යනු සංසාරයේ පෙර ආත්ම භවයන්හි දී රැස්කර ගන්නා ලද උතුම් කුසල් ශක්තියක් (පින් සම්පතක්) තමා සතුව පැවතීමයි.

කුසල් ශක්තිය පසුපසින් පැමිණීම සිදුවෙයි. අටුවාවට අනුව අතීත සංසාරයේ දී දාන, සීල, භාවනා, වෙනත් කුසල කර්ම හෝ පාරමිතා ධර්ම හෝ ප්‍රගුණ කර තිබීම නිසා එම කුසල් බලවේගය තමාට සෙවණැල්ල මෙන් පසුපසින් පැමිණෙයි. පෙර කරන ලද පින් ඇති තැනැත්තාට නිරායාසයෙන් ම පතිරූප දේශයක ඉපදීමට, සත්පුරුෂයන් හමුවීමට හා ඇසුරු කිරීමට, සහ තම සිත නිවැරැදි මඟෙහි පිහිටුවා ගැනීමට අවස්ථාව හා වටපිටාව සකස් වේ. එනම්, පළමු චක්‍ර තුන ම සාර්ථක ව පවත්වා ගැනීමට පූර්වය කෘත කර්මය මහෝපකාරී වේ.

පෙර පින් ඇති පුද්ගලයා අල්ප වූ ප්‍රයත්නයකින් පවා ලෞකික වශයෙන් ධනය, යසස, කීර්තිය හා ශ්‍රේෂ්ඨත්වය ලබන අතර, ලෝකෝත්තර වශයෙන් ධර්මය අසන මොහොතේ ම පහසුවෙන් මාර්ගඵල අවබෝධ කර ගැනීමේ භාග්‍ය ලබයි.

You may also like

Leave a Comment