බෝධිසත්ත්වවරයකු මනුලොව උපත ලබා සත්දිනකින් එතුමාගේ මෑණියන් මිය යාම ධම්ම නියාමයකි; ධර්මතාවකි. බෝසතුන් පිළිසිඳගත් මවුකුස තුළ වෙනත් දරුවකු පිළිසිඳ ගැනීමට ඉඩ නොතැබීම එම ධර්මතාවයි. සිදුහත් කුමරු මෙලොව උපත ලබා සත් වැනි දවසේ දී මෑණියන් වූ මහාමායා දේවිය මිය ගියා ය. මිය ගිය මහාමායා දේවිය තුසිත දෙව්ලොව මාතෘ දිව්ය රාජයා නමින් උපත ලැබීය.

බුදුරදුන් තුසිත දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩම කිරීම තිවංක පිළිමගෙයි බිතුසිතුවම (සිතුවම උපුටාගැනීම, තිවංක පිළිමගෙයි බිතුසිතුවම් ග්රන්ථයෙනි)
බුද්ධත්වයට පත් වූ පසු තමන් වහන්සේ අවබෝධ කොට ගත් ඒ සැනසීම අන්යයන්ට ද උදාකර දීමට උන්වහන්සේ ක්රියා කළහ. බුදුරජාණන් වහන්සේ තුසිත දෙව්ලොව වෙසෙන මාතෘ දිව්ය රාජයාට අනුග්රහ පිණිසත්, සත් වැනි වස් කාලය ගත කිරීම පිණිසත් තුසිත දිව්ය ලෝකයට වැඩම කළහ. ඒ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක දී ය. එහි දී මාතෘ දිව්ය රාජයා ප්රධාන දෙවියන්ට විජම් බණ (අභිධර්මය) දේශනා කළ සේක. විජම් බණ දේශනාවසානයෙහි මාතෘ දිව්ය රාජයා ප්රමුඛ දෙවියන් සෝවාන් ඵලයට පත් වූ බවත් ශාසන ඉතිහාසයේ දැක්වේ.
බුදුරජාණන් වහන්සේ වස් කාලය අවසන් කොට යළිත් මනුලොවට වැඩම කළේ දඹදිව සංකස්සපුරයෙනි. ඒ වප් පුර පසළොස්වක පොහෝ දිනක දී ය. බුදුරජාණන් වහන්සේට තුසිත දෙව්ලොව සිට දඹදිව සංකස්සපුරයට වැඩම කිරීම සඳහා ඉන්ද්ර දෙවියන් (ශක්ර දෙවියන්) විසින් රන්, රිදී, මැණික් ආදියෙන් නිම වූ ඉණිමඟක් (හිණිමඟක්) මවා දුන් බව බෞද්ධ සාහිත්යයේ දැක්වේ. බුදුරජාණන් වහන්සේ දෙපසින් ඉන්ද්ර දෙවියන් හා මහා බ්රහ්මයා ද කැටුව ඉණිමඟිින් සංකස්සපුරයට වැඩම කළ සේක. සංකස්සපුරයට රැස්වූ ජනයා සාධු කාර දී බුදුරජාණන් වහන්සේ පිළිගත් බව ද බෞද්ධ සාහිත්යයේ තවදුරටත් දැක්වේ.
බුද්ධ චරිතයේ විවිධ අවස්ථා චිත්ර හා මූර්ති කලා ශිල්පීන්ට වස්තු විෂය වී ඇති අතර, බුදුරජාණන් වහන්සේ තුසිත දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩම කළ අවස්ථාව ද, කලා ශිල්පීහු තමන් නියැළෙන කලා මාධ්ය තුළින් ලොවට දායාද කළහ. ඉන්දියාවේ මෙන් ම ශ්රී ලංකාවේ කලා ශිල්පීන් ද තම කලා නිර්මාණවලට මෙම අවස්ථාව වස්තු විෂය කර, නිරූපණය කර ඇති අයුරු කදිම ය.
බෞද්ධ කලා ශිල්ප ඇති වූ මුල්කාලයේ දී බුදුරජාණන් වහන්සේ වෙනුවට කිසියම් සංකේතයක් භාවිත කරමින් උන්වහන්සේ නිරූපණය කළා මිස, මානව ස්වරූපයෙන් උන්වහන්සේ පෙන්නුම් කළේ නැත. ඒ “බුදුන්වහන්සේ වූ කලි සුවිශේෂී පුද්ගලයෙක් ය” යන සංකල්පයේ පිහිටා සිටි නිසා මිස, කලා ශිල්පියාගේ දක්ෂතාවේ ඇති අඩුපාඩුවක් නිසාවත්, ත්රිපිකටයෙන් පැනවූ තහනමක් නිසාවත් නොවේ.
බුදුරජාණන් වහන්සේ නිරූපණය සඳහා සිරිපතුල, බෝධි වෘක්ෂය, ධර්ම චක්රය, ස්තූපය, ඡත්රය, වජ්රාසනය වැනි සංකේත යොදාගත් බව කලාකරුවන්ගේ නිර්මාණ විමසන විට පැහැදිලි වේ.
උතුරු මැද ඉන්දියාවේ භාරුත් (භාර්හුට්) නම් කුඩා ගමක තිබී 1873 වසර අග භාගයේ දී සර් ඒ. කනිංහැම් මහතා විසින් සොයාගත් භාරුත් ස්තූපයේ, බුදුරජාණන් වහන්සේගේ සංකස්සපුර සම්ප්රාප්තිය කැටයමට නඟාඇත. මෙහිදී බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරනුයේ සිරිපතුල් මඟිනි. ඉණිමඟ මුදුනෙහි ම දකුණු පාදයත් ඉණිමඟ පහළ වම් පාදයත් නිරූපිත ය. මෙම නිර්මාණය ක්රි. පූ. දෙවැනි සියවසට අයත් වේ. භාරුත් ස්තූපයේ අජාතශතෘ ස්ථම්භයේ මෙම කැටයම දැකිය හැකි බව “බුදුපිළිමයට පෙර බුදු හාමුදුරුවෝ” (බෙල්ලන්විල විමලරතන ස්ථවිර) කෘතියේ සඳහන් වේ.
ධර්මාශෝක රාජ්ය සමයේ සිට බෞද්ධ කලාව පිළිබඳ ප්රසිද්ධියක් උසුලන සාංචිය, මධ්ය ඉන්දියාවේ පිහිටා ඇත. සාංචි ස්තූප අංක 01 උතුරු තොරණෙහි ද බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩම කිරීම කැටයමින් ඉදිරිපත් කොට ඇත. එහි ඉණිමඟ ඉහළ කෙළවරත්, පහළ කෙළවරත් බෝධි වෘක්ෂයක් හා ආසනයක් කැටයම් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරනු පිණිස ය.

බුදුරදුන් තුසිත දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩම කිරීම – භාරුත් ස්තූප කැටයම
මේ ආකාරයට ඉන්දීය කලාකරුවන් කැටයමින් මෙම අවස්ථාව ඉදිරිපත් කළ අතර, ශ්රී ලාංකික කලාකරුවා එම අවස්ථාව සිතුවමට නඟා ඉදිරිපත් කළේය. එපමණක් නොව බුදුරජාණන් වහන්සේ මානව රූපකායෙන් ම සිතුවම් කිරීමට ද පසුබට නොවීය. මෙම සිතුවම අපට හමුවන්නේ පොළොන්නරුව තිවංක පිළිමගෙයි සිතුවම් අතරිනි.
පොළොන්නරුවේ තිවංක පිළිමගෙය පළමු වැනි පරාක්රමබාහු රජ දවස (ක්රි. ව. 1153 – 1186) කරවන ලද්දකි. දෙවැනි පරාක්රමබාහු රජ දවස (ක්රි. ව. 1236 – 1270) මේ ගොඩනැඟිල්ල ප්රතිසංස්කරණය කළ බවක් ද කියැවේ. එනිසා මෙම ගොඩනැඟිල්ලේ සිතුවම් මේ රජවරුන් දෙදෙනාගේ ම කාලයට අයත් විය හැකි ය.
තිවංක පිළිමගෙයි ඇතුළු ගර්භයෙහි විශාල තිවංක (තුන් තැනකින් වක් වූ) බුදුපිළිමය පිහිටා ඇත. මෙය අඹන ලද මූර්තියකි. පිළිමයට වම්පස බිත්තියේ (එනම් උතුරු බිත්තියේ), බුදුරජාණන් වහන්සේ තුසිත දෙව්ලොව සිට දඹදිව සංකස්සපුරයට රන් ඉණිමඟෙන් වැඩිය සැටි සිතුවමින් දැක්වේ. මෙම අවස්ථාව මුළු බිත්තිය ම ආවරණය වන අන්දමට නිරූපණය කර ඇත. මැද ඇති විශාල රන් ඉණිමඟෙහි බුදුරජාණන් වහන්සේ වඩිද්දී දකුණුපස කුඩා ඉණිමඟක සිටින ඉන්ද්ර දෙවියන් උන්වහන්සේට ඡත්රයක් ඔසවා ගෙන සිටියි. වමත් පස කුඩා ඉණිමඟක සිටින මහා බ්රහ්මයා උන්වහන්සේට මලක් පුදයි. බුදුරජාණන් වහන්සේගේ පූර්ණ රූපය විශාලව නිරූපිත ය. ඉරියව්වෙහි රිද්මයත්, චලනයත් දැක්වේ. ශ්රී ලංකාවේ ඇති ඇවිදයන විලාසය දැක්වෙන එකම බුදුරුව මෙය බව ද පැවසේ.
පරිවාර සේනාවන් සහිත වූ මේ සිතුවමෙහි රූප තුළින් පූජෝපහාර හා භක්ති ප්රණාමය දැක්වීම වැනි ඉරියව් ප්රකාශිත ය. වාසනාවකට මෙන් මෙම සිතුවමේ යම් යම් කොටස් පමණක් අද ශේෂව පවතී. 1909 වසර වන විටත් මහා බ්රහ්මයාගේ මුහුණ පෙනෙන්නට තිබී නැතත්, ශක්ර දේවේන්ද්රයාගේ මුහුණ තරමක් පෙනී ඇත. අද වන විට මහා බ්රහ්මයාගේත්, ශක්ර දේවේන්ද්රයාගේත් මුහුණු හඳුනාගත නොහැකි තරමට විනාශ වී ඇත.
බුදුරජාණන් වහන්සේ තුසිත දෙව්ලොව සිට මනුලොවට වැඩම කරන මෙම අවස්ථාව දැක්වෙන සිතුවමක් හෝ මූර්ති කැටයමක් හෝ ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයකින් හමු නොවේ. එනිසා මෙම සිතුවම තවදුරටත් විනාශයට යා නොදී ආරක්ෂා කර ගැනීම මතු පරපුර වෙනුවෙන් කරන යුතුකමක් වනු ඇත.
ආර්. ඒ. නයනානන්ද