පාණිමිහි චෙ වණෝ නාස්ස
හරෙය්ය පාණිනා විසං
නාබ්බණං විසමන්වේතී
නත්ථි පාපං අකුබ්බතො”
(පාපවග්ගය ධම්මපදය)
මහා කරුණාවෙන් ලොව බලන තථාගතයන් වහන්සේට එදා කරුණාදැලට මුණගැසුණේ “කුක්කුටමිත්ත” ප්රධාන දරු පවුලයි. සසර පින් පුරා අවුත් වැදි කුලයේ ඉපදී සිටි මොවුන්ට සෝවාන් ඵලයට පත්වීමට වාසනා ගුණ ඇති බව දුටු සේක. හිමිදිරියේ පාත්රා සිවුරු ගෙන කුක්කුටමිත්ත සිටින ප්රදේශයට වැඩම කළේ පහළොස් දෙනෙක් එකවර සෝවාන් මඟඵල ලබන නිසාවෙන් ය. ඒ උදෑසන තමන් වහන්සේගේ කාර්යය නිමවා, ආපසු විහාරයට වැඩම කළහ. ආනන්ද තෙරුන්ගේ ඉල්ලීම පරිදි අදාළ සිද්ධිය පහදා දුන් සේක.
රජගහ නුවර මහත් සම්පත්වලින් අනූන සිටු පවුලක රූමත් දියණියක් මව්පියන්ට පිටුපා තමන්ට හිමිවීමට තිබුණු සියලු සම්පත් දෙවැනි කොට තබා වෙළෙඳාමේ යන මස්වැද්දකුට පෙම් බැඳ ඔහු සමඟ දීග ගියා ය. අඹු සැමියන් ලෙස ජීවත් වන කාලය දින, සති, මාස අවුරුදු වශයෙන් ගෙවුණි.
ඔවුන්ට දාව පිරිමි දරුවන් හත් දෙනකු බිහිවුණි. දරුවන්ට නිසි වයස සම්පූර්ණ වූ පසු වැදි කුලයේ ම අය සරණපාවා දුන්හ. ඒ බිරින්දෑවරුන් සමඟ පුතුන් 14 දෙනා ම ජීවත්වූයේ එකම පවුල් පරිසරයක ය. දඩයම මොවුන්ගේ ප්රධාන ජීවනෝපාය බවට පත්කර ගත්හ. කුක්කුටමිත්ත පියා සතුන් යන එන මංකඩ සොය සොයා මලපුඩු අටවයි.
භාග්යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැද ලොව දෙස බලා වදාරණ කල, නෙත ගැටුණේ මේ වැදි පවුලයි. එදා කුක්කුටමිත්ත හිමිදිරියේ තමන් ඇටවූ මර උගුලක් බල බලා යයි. මේ සිද්ධිය දකින බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කළහ. එනම් අද කිසිම සතෙක් ඒ මර උගුල්වල හසු නොවන ලෙ ස ය. බුදුපියාණෝ ඒ මහා කැලයට වැඩම කළහ. මර උගුල්වල අවසාන උගුල ඇති තැන ගසක් යට වැඩ සිටියේ, කුක්කුටමිත්ත උගුලක් පරීක්ෂා කර එන තුරු ය. මුල සිට ම බල බලා ආවත් කිසිම සතෙක් හසුවී නැති හෙයින් මහත් කෝපයට පත්ව අවසාන උගුල ඇටවූ ස්ථානයට පැමිණියේ ය.
ඒ අසල අඩි සලකුණු සටහන් වී තිබුණේ මිනිසකුගේ බව දැක වටපිට බලන විට ගසක් යට වැඩ සිටින බුදුරදුන් නෙත ගැටුණි. ඒ මොහොතේ හිතේ ඇතිවූ වේගය පාලනය කර ගත නොහැකි කුක්කුටමිත්ත මේ මලපුඩු හිස්වූයේ මේ ශ්රමණයා නිසා කියමින් දුන්න මානාගෙන විදීමට සූදානම් වුණි. “වැද්දාට දුන්න ඇදගත නොහැකි වේවා”යි බුදුරදුන් කළ අධිෂ්ඨානය නිසා දුනු ඊතල මානාගෙන ම ගල්ගැසුණි. පියා තාම ගෙදර නො පැමිණීම වැදි ගෙදර අයට විමතියට කරුණකි. පුතුන් හත් දෙනා පියා සොය සොයා ගියහ. ගල්ගැසී සිටි තාත්තාගේ ස්වභාවය දැක මේ දේ සිදු කළේ මේ ශ්රමණයා යැයි සිතා පුතුන් හත්දෙනා ම දුනු ඊතල මානා බුදුරදුන්ට විදීමට සැරසුණහ.
ඔවුන්ට ද සිදුවූයේ දුනුහී මානාගෙන ගල් ගැසීමටයි. මව හා බිරින්දෑවරු හත්දෙනා කලබල වී කැලය දෙසට දිව ගියේ මහා විපතක් අද සිදුවී ඇද්දැයි සොයමිනි.
පියා සහ පුතුන් හත්දෙනා ම දුනු මානා ගෙන බුදුරජාණන් වහන්සේට විදීමට සූදානම් ව සිටිනව ඈත දීම දුටු මව, දොහොත් නඟා වැඳගෙන “මගේ පියාණන්ට දුනුවලින් විදින්න එපා” මහ හඬින් කිය කියා බුදුරජාණන් වහන්සේ ළඟට දිව ගියා ය. ඒ අවස්ථාවේ ගල්ගැසී සිටි පිරිසට ප්රකෘති සිහිය ලැබුණි. මේ මාගේ බිරිඳගේ පියා විය යුතු යැයි සිතූ කුක්කුටමිත්ත දරුවන් ද සමඟ බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් වන්දනා කර ක්ෂමාව අයැද සිටියහ. දුනුහී පසෙක තැබිණි. සියල්ලෝ එකත්පසෙක වාඩි වූහ. මහාකරුණා පෙරදැරිව බුදුරදුන් ඒ පිරිසට අවවාද දී ධර්මය පහදා දුන් සේක. ජීවිත ගමනේ වැසී තිබුණු දුර්වල චිත්තධාරාවෝ පහව ගොස් බුද්ධිය අවධි විය. සසර පුරා ගෙන ආ පින් කුසල් බලය මතු කර ගත්හ. වැදි පවුලේ මව හැර අන් සියල්ලෝ ම ඒ අවස්ථාවේ සෝවාන් මාර්ගය ලබා ගත්හ.
වැදි මව හැර ඇගේ දරුවන් හා බිරින්දෑවරුත්, කුක්කුටමිත්තත් බණ අසා සෝවාන් වූ පුවත භික්ෂූන්ට දැන ගන්නට ලැබුණි. දම්සභා මණ්ඩපයේ දී මෙම පුවත සාකච්ඡා කෙරිණි. වැදි බිරිඳ හැර පවුලේ අනෙක් පහළොස් දෙනා සෝවාන් වීමට හේතුව බුදුරජාණන් වහන්සේගෙන් අසයි. වැදි මව කුඩා කාලයේ ම සෝවාන්වී සිටි බව තථාගතයන් වහන්සේ පහදා දුන්හ.
මෙම පිළිතුර සමඟ භික්ෂූන්ට ඇතිවූයේ වෙනත් ගැටලුවකි. කුක්කුටමිත්ත සතුන් දඩයම් කළ අයෙකි. ඔහුට දඩයම සඳහා දුනු හී, දැල්, නූල් පරිස්සම් කර උදව් කළේ වැදි බිරිඳ යි. සෝවාන් අයෙක් එවැනි වැඩ කරන්නේ කෙසේ දැයි භික්ෂූන් අතර කතා බහට කාරණාවක් වුණි. ස්වාමි භක්තිය රකිමින්, ආදරයෙන්, කීකරුව ස්වාමියාගේ අණ පිළිපදිමින් කටයුතු කළා මිස ඇය තුළ පව් සිතුවිලි කිසිවක් නො වූ බව බුදුරදුන් පහදා වදාළහ. උපාදානය, අනිත්යතාව සහ වැරැදි දැක්ම ඇය අවබෝධ කර ගෙන සිටි හෙයින් ආර්ය ශ්රාවකාව සිටි අයෙක් හැටියට සත්ත්ව ඝාතනය හෝ ඒ සඳහා අනුබල දීමක් නොවන බව තහවුරු කරමින් ඉහත සඳහන් මාතෘකා ගාථාව වදාළහ.
“වනයක් නැති අයෙක් අතින් ගත් විෂ සිරුර පුරා නො පැතිරෙන්නාක් මෙන් අකුසල් නොකරන්නාට පවක් සිදු නොවේ” යන්න එහි තේරුම වන්නේ ය. පව් සිදුවන්නේ චේතනාව අනුවයි. චේතනාව කුසල් අකුසල් වශයෙන් දෙපරිදි වේ. අකුසල් යනු අදක්ෂ යන අර්ථය යි. යහපත් දෙය, දෙලොවට වැඩ පිණිස පවතින දෙය සිදුකරන්නේ දක්ෂ අයයි. “සකකො” යනු එය යි. යහපත් දෙයට තිදොර සකසා නො ගැනීම ම අදක්ෂ භාවය යි. ඒ අදක්ෂතාව පැරදීමට හේතු වන්නේ ය. අකුසලය ද එය යි.