ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
නිවස දහම් අසපුවසසර බිය දැක කුසල් වඩමු

සසර බිය දැක කුසල් වඩමු

by Thanushika
October 3, 2026 12:30 am 0 comment

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීවමානව සිටි වස්සාන කාලවල බොහෝ මහ රහතන් වහන්සේ බිහි වූ සේක.

දැන් මේ පින්වතුන්ට තවත් වස්සානයක් නිමා වෙන මොහොතක්. දිනය උදා වී, ගෙවිලා රාත්‍රිය ළඟාවෙද්දී මේ පරිසරය විසින් අපට අපූරු පණිවිඩයක් දෙනු ලබනවා. ඒ පරිසරය විසින්, මේ ස්වභාව ධර්මය විසින් අපට කියා දෙන පණිවිඩය තමා තවත් ජීවත් වෙන්න තිබෙන්නේ සුළු කාලය යි. ඉක්මනින්ම මේ ලැබුණු උතුම් මොහොතින් පල නෙළා ගන්න කියන එක.

පින්වතුනි, මේ කාරණය වටහා ගත්තේ තථාගත ශ්‍රාවකයෝ පමණයි. බොහෝ දෙනාගේ ඇස, කන, නාසය, දිව, කය, සිත පිනවමින් පරක් තෙරක් නොපෙනෙන අතිදීර්ඝ සංසාරයක් යන්න ලෑස්ති වෙන්නේ මේවා ගැන අවබෝධයක් නැතුවම යි. බොහෝ දෙනෙක් පංච කාමයට ම වසඟ වෙලා කාමයන්ගෙන් තෘප්තියක් නොලබාම, අඳුරෙම ඉපදිලා, අඳුරෙම ජීවත්වෙලා, අඳුරට යනවා.

දැන් ඔබට හිතෙන්නට පුළුවන් ඉස්සර වගේ නොවෙයි බොහෝ දෙනෙක් සිල් ගුණ දම් පුරනවා. සමාධිය වඩනවා. බණ අහනවා. ගෞතම බුද්ධ ශාසනය ආයෙමත් බබළනවා කියලා. ඒත් සිදු වන්නේ ඊට හාත්පසින් ම වෙනස් දෙයක්. බැලූ බැල්මට දියුණු වෙලා තිබෙන්නේ මංමාවත්, ගොඩනැඟිලි, යාන වාහන, තාක්ෂණය මිසක් මනුෂ්‍ය සන්තානය නොවෙයි. මිනිස් සන්තානය දියුණු වූවා නම් මේ ලෝකයේ මිනී මැරුම්, අඩු වෙන්නට ඕනෑ. මංකොල්ලකෑම් අඩු වෙන්නට ඕනෑ. දූෂණ, අපචාර අඩුවෙන්නට ඕනෑ. ඒත් දිනෙන් දින අධර්මය හිස ඔසවනවා. පින්වතුනි, ඇත්තෙන් ම මෙවැනි වකවානුවක ඉපදුණ අපට ගෞතම බුද්ධ ශාසනයේ උණුසුම තවම තිබෙනවා. ඒක නිසා ඔබත්, මමත් අතිශයින් ම වාසනාවන්තයි. අප සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා අවුරුදු දෙදහස් පන්සිය හැත්තෑවක් ගෙවී ගිහින්. ඒත් තථාගත සුගතප්පවේදිත ධර්ම විනය කිසිම අඩුපාඩුවක් නැතිව දැන් අපට ලැබී තිබෙනවා. පින්වතුනි, එම නිසා මේ ධර්ම විනය ලැබී තිබෙන වෙලාවේ අපි බුද්ධිමත් ව කල්පනා කර කෙළවරක් නො පෙනෙන මේ සංසාරයෙන් නිදහස් ව අමා නිවන කරා යන්න ඕනෑ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා “අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති” පින්වත් මහණෙනි, මේ අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු සත්ත්වයාගේ සංසාරයේ පටන්ගත් කෙළවර ලොව්තුරා බුදු ඇසටවත් පෙන්නේ නෑ. “පින්වතුනි, අපි මෙතරම් කාලයක් අතිදීර්ඝ සංසාරයේ ඉපදෙමින්, මැරෙමින් නැවත නැවත ඉපදෙමින් මැරෙමින් ගෙවාගෙන ආවේ එකම එක දෙයක් නිසා. ඒ දේ තමා දුර ගමන් යන, තනිව හැසිරෙන ශරීරය නමැති ගුහාවේ වාසය කරන මායාකාරී සිත නිසා.

අද අපි කතා කරන්නේ අන්න ඒ සිත ගැනයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තිබෙන්නේ සිත ජය ගන්නා ආකාරය යි. ධම්මපදයේ ගාථාවකින් සිත ගැන භාග්‍යවතුන් වහන්සේ මේ විදියට දේශනා කරනවා.

ඵන්දනං චපලං චිත්තං – දුරක්ඛං දුන්නිවාරයං

උජුං කරෝති මේධාවි – උසුකාරෝ ව තේජනං

මේ හිත කියලා කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්, චපල දෙයක්, රැකගන්න අමාරු දෙයක්. වරදින් වළක්වන්නත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා සද්ධර්මයේ පිහිටා එබඳු හිත පවා ඍජු කර ගන්නවා. ඇදකුද හැරලා ඊ දණ්ඩක් ඍජු කරන හී වඩුවෙක් වගෙයි.

දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාව ගැන ආකාර 16කට, සිත අවබෝධ කළ, සිත ජය ගත්ත, සිතෙන් නිදහස් වුණ, මහා වීර වූ බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ විස්තරයක් අපට පෙන්වා වදාළා. සංයුක්ත නිකායේ චිත්ත සූත්‍රයේ සිත ගැන අපූරු ප්‍රශ්නයක් එක්තරා දෙවි කෙනෙක් පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් අසනවා. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ලෝකය ම හසුරුවනු ලබන්නේ කුමක් විසින්ද? ලෝක සත්ත්වයා ඇදගෙන යන්නේ කුමක් විසින් ද? මුළු මහත් ලෝකය ම වසඟයට පත්වූ එකම දෙය කුමක්ද? මෙවැනි ප්‍රශ්න දෙස මතුපිටින් බලා මතුපිටින් ම තෝරා ගන්නට වෑයම් කළ බොහෝ දෙනෙක් ලෝක නිර්මාපක දෙව් කෙනෙක් සිටිතියි සිතා ගත්තා. සමහරු ඉබේ හටගත් අවබෝධයක් ලැබූ පැවැත්මක ස්වරූපය යැයි සලකා ගත්තා. එහෙත් සිත ගැන පරිපූර්ණ යථාර්ථය පෙන්වා බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දී මුලින් ම දේශනා කරන්නේ කොහොමද?

ඒකායනො අයං භික්ඛවේ මග්ගො පින්වත් මහණෙනි, එකම එක මාර්ගය යි තිබෙන්නේ සත්තානං විසුද්ධියා සංසාරයට වැටී සිටින සත්ත්වයන්ගේ පිරිසිදුවීම පිණිස. කුමක් පිරිසිදු වීම පිණිස ද? සිත පිරිසිදුවීම පිණිස. සෝක පරිද්දවානං සමතික්කමාය ශෝක පරිදේවයන් ඉක්මවාලීම පිණිස. ශෝක පරිදේවයන් කොහොමද හටගන්නේ, සිත තුළම යි. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය දුක් දොම්නස්වලින් අත්මිදීම පිණිස. දුක් දොම්නස් කොහෙද හටගත්තේ. සිත තුළ ම තමයි දුක් දොම්නස් හටගත්තේ. ඤායස්ස අධිගමාය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස, නිබ්බාණස්ස සච්ඡිකිරියාය අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස, අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස කුමක්ද මෙහෙයවන්නේ. සිත ම තමයි මෙහෙයවන්නේ.

බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේට වදාරනවා කථඤ්ච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සි විහරති, පින්වත් මහණෙනි, කෙසේද නිවන් අවබෝධ කරනු කැමැති භික්ෂුව සිත කෙරෙහි එම සිත පිළිබඳ ව යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරනවා කියන්නේ, අපි දැන් චින්තානුපස්සනාවේ පළමුවැනි කාරණය ඉගෙන ගනිමු. මුලින්ම මේ පින්වතුන් ධර්ම කාරණා හොඳට අහගෙන ඉන්න ඕනෑ. ඒකට ධර්මයේ කියන්නේ සුතා කියලයි. අසාගෙන ඉන්න ධර්මය මතක තබා ගන්න ඕනෑ. ඒකට කියන්නේ ධතා කියලයි.

ඊට පස්සේ අහලා මතක තබා ගන්න. ධර්මය වචනයෙන් පුරුදු කරන්නට ඕනෑ. ඒකට කියන්නේ වචසා පරිචිතා කියලයි. ඉන්පසු අසා දරාගෙන වචනයෙන් පුරුදු කළ ධර්මයට අනුව නුවණින් විමසා ධර්ම මනසිකාරයේ යෙදෙන්නට මහන්සි ගන්න ඕනෑ. මනසානුපෙක්ඛිතා.

ඔබ මේ කාරණා සම්පූර්ණ කර ගත්තොත් තමා ඔබගේ දැක්ම පිරිසිදු වෙන්නේ. ඒකට ධර්මයේ කියන්නේ දට්ඨියා සුප්පටිවිද්ධා කියලයි. එහෙනම් දැන් කියලා දෙන ධර්ම කාරණා හොඳින් අහගෙන ඉන්න ඕනෑ.

චිත්තානුපස්සනාවේ පළමුවැනි කාරණය තමා සරාගං වා චිත්තං, සරාගං චිත්තං ති පජානාති.

දැන් අපි මේ කාරණය තේරුම් ගනිමු. සරාගි කියලා කියන්නේ කුමකට ද? සරාගි කියන්නේ රාග සහිත. දැන් අපට රාගය ඇති වන රූප තිබෙනවා. ශබ්ද තිබෙනවා. ගඳ සුවඳ තිබෙනවා. රස තිබෙනවා. පහස තිබෙනවා.

දැන් අපි මොකද කරන්නේ. මේ කිව්ව කාරණා මුල් කරගෙන ඒවායේ නිමිති සුබ වශයෙන් ගන්නවා. ඒකට කියනවා සුබ නිමිත්ත කියලා. ඉන්පසු එම සුබ නිමිත්තට අනුව වැරැදි විදියට කල්පනා කරනවා. ඒකට කියනවා අයෝනිසෝමනසිකාරය කියලා. මේ සුබ නිමිත්තයි, අයෝනිසෝමනසිකාරයි නිසා අපට රාගය හටගන්නවා. ශ්‍රාවකයා චිත්තානුපස්සනාවේ යෙදෙමින් දැන ගන්නවා මේක තමා සිත කියලා. මේක තමා පළමුවැනි කාරණය. මේ සතිපට්ඨානය පුරාවට සඳහන් වන වචනයක් තිබෙනවා. “පජානාති” කියන වචනය. පජානාති කියන්නේ මනාකොට දැන ගන්නවා කියන අර්ථය යි. එතකොට රාග සහිත සිතක් නම්, ශ්‍රාවකයා මනා කොට දැන ගන්නවා ඒක රාග සහිත සිතක් කියලා.

දැන් අපි ඉගෙන ගනිමු, දෙවැනි කාරණය. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං’ ති පජානාති වීතරාගී කියලා කියන්නේ පින්වතුනි, රාගය නැහැ කියන අර්ථය යි. රාගය නැති වෙන්නේ කොහොමද? රාගය නැති වෙන්න කාරණා දෙකක් මුල්වෙනවා. පළමුවැනි එක තමා අසුබ නිමිත්ත. අසුබ නිමිත්ත කියලා කියන්නේ අවබෝධ ඥානය තුළින් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන පංචකාම ගුණයන්ගේ ආදීනව සිහි කරනවා. උදාහරණයක් වශයෙන් අපි අපේ ශරීර ගැන කල්පනා කර බලමු. ඇත්තටම මේ ශරීරය සුබ සහගත දෙයක්ද? පිළිකුල් සහගත දෙයක්ද? පිළිකුල් සහගත දෙයක්. ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ මේ අසුබ දේ අසුබ වශයෙන් ම දකින්න මහන්සි ගන්නවා. අසුබ දෙය අසුබ වශයෙන් දකින්න තව කාරණයක් අවශ්‍ය වෙනවා. ඒ තමා යෝනිසෝමනසිකාරය. එවිට රාගීි සිත විරාගි වීමට කරුණුූ දෙකක් මුල් වෙනවා. අසුබ නිමිත්තත්, යෝනිසෝමනසිකාරයත්, ආර්ය ශ්‍රාවකයා දැන ගන්නවා තමාගේ සිත තුළ රාගයක් නැත්නම් දැන් මගේ සිතේ රාගයක් නැහැ කියලා.

ඊළඟට අපි බලමු තුන්වැනි කාරණය මොකක්ද කියලා සදෝසං වා චිත්තං සදොසං චිත්තං” ති පජානාති සදෝස කියලා කියන්නේ ද්වේශ සහිත කියන එකයි. ද්වේශය හටගන්නෙත් කරුණු සහිතව මිසක් කරුණු රහිතව නොවේ. ද්වේශය හටගන්නත් කරුණු දෙකක් මුල් වෙනවා. ඒ කරුණු දෙක තමයි පටිඝ නිමිත්තත්, අයෝනිසෝමනසිකාරයත්.

මොකක්ද මේ පටිඝ නිමිත්ත කියලා කියන්නේ. අපි අකමැති රූප, ශබ්ද, ගඳ සුවඳ, රස සහ පහස තිබෙනවා. මේ කිව්ව කාරණා මුල් කරගෙන අනවබෝධයෙන් කල්පනා කරනවා. එවිට, සිතේ නොසන්සුන් බවක්, ගැටෙන ස්වභාවයක් දිගින් දිගට ම ඒ කාරණා ගැන සිත සිතා සිටිද්දී ඇති වෙනවා.

එවිට ද්වේශය හටගන්නවා. චිත්තානුපස්සනාව තුළ සිහිය කියලා. මේක තමයි තුන්වැනි කාරණය

ඔබට මේ සිතේ ස්වභාවය ගැන හඳුනගන්න සුප්‍රකට කතා පුවතක් කියලා දෙන්නම්.

ඔබ දන්නවා, ලෝකයේ පුදුම හත ගැන. ඔය පුදුම හතෙන් එක පුදුමයක් තිබෙනවා, අපේ අසල්වාසි රට වන ඉන්දියාවේ. දවසක් රජ කෙනෙක්ට කාන්තාවක් ගැන පේ‍්‍රමයක් ඇති වුණා. රජු ඒ කාන්තාව ලබා ගන්න, එයාව සතුටු කරන්න හිතාගෙන එරට හිටපු වහල් සේවකයෝ විසි පන්දාහක් යොදවා ටජ්මහල් නමින් අක්කර ගාණක් පුරා පැතිර ගිය විශාල මාලිගාවක් හැදුවා. මේ මාලිගය ආදරයේ රන් දෙවොල නමින් ද ප්‍රසිද්ධිය යි. බලන්න මේ සිතේ ස්වභාවය. මේ මායාකාරි සිත නිසා කොච්චර උමතු වෙනවාද? රජතුමා මොකද කළේ, මාලිගයේ සැලැස්ම හදපු ඉංජිනේරුවරයාගේ ඇස් දෙක අන්ධ කළා. එයා එහෙම කළේ තවත් මේ වගේ මාලිගයක් ලෝකයේ හදයි කියන හේතුව නිසයි. බලන්න හිතක් කොයි තරම් අකාරුණික ද කියලා. බලන්න දැන් ඒ රජතුමා ඉන්නවාද කියලා. ඒ රජතුමත් නෑ. ආදරවන්තියත් නෑ. ඒක හදපු සේවකයොත් නෑ. ඒක කරපු ඉංජිනේරුවත් නෑ. ඔක්කොම මිය ගිහින්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. සංයුක්ත නිකායේ අස්සුතවත්තු සූත්‍රය කියලා. ඒ දේශනාවේ දී උන්වහන්සේ වදාළා පින්වත් මහණෙනි, සද්ධර්මය නොදත්, සාමාන්‍ය ජීවිතයක් නොවන රාගි අසුබ නිමිත්තක් තිබෙනවා. සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කය නිසා නොයෙක් පීඩා ඇති වෙනවා. එවිට ඔහුට මේ කය එපා වෙයි. කය ගැන හොඳට ම කලකිරෙයි. අහෝ! මෙවැනි කයක් මට නො ලැබෙන්නේ නම් කො තරම් හොඳ දැයි කල්පනා කරයි. ඒ මේ ශරීරයෙන් ඇතිවන දුක් පීඩා නිසා ම යි. උන් වහන්සේ තවදුරටත් වදාළා. එහෙත් පින්වත් මහණෙනි, ලෝකයේ සිත යැයි කියමින්, මනස යැයි කියමින්, විඤ්ඤාණය යැයි කියමින් යම් දෙයක් ගැන කතා කරයිද? ඒ කුමක්දැයි සද්ධර්මය නො දත් තැනැත්තා හරියාකාර ලෙස නො දනී. එහෙයින් සිතින් කොපමණ දුක් විඳින නමුත් පීඩා විඳින නමුත්, ඔහුට සිත ගැන කලකිරෙන්නේ නැහැ. සිතට ම ඇළුම් කරයි. සිත ම වැලඳ ගනී. බොහෝ කාලයක් මුළුල්ලේ ඔහු සිතාගෙන සිටින්නේ සිත මම කියා ය. සිත මගේ කියා ය. සිත මගේ ආත්මය කියා ය.

එහෙත් පින්වත් මහණෙනි, සිතන්නන් වාලේ ඔහේ සිතන තැනැත්තාට ආත්මයක් කියා යමක් ඕනෑ ම නම් සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කය ආත්මය කියා සලකන එක හොඳයි. මක් නිසාද යත්, මේ ශරීරයට වසර ගණනක් හෝ පවතිනු දැකිය හැකියි. එහෙත් පින්වත් මහණෙනි, මේ සිත, කය, මනස කියා විඤ්ඤාණ යැයි කියා කියන දෙය නම් නිරන්තරයෙන් ම වෙනස් වෙයි. උපමාවකින් කියතොත්, මේ සිත වනාහි වනයේ හැසිරෙන වඳුරෙක් වැන්න. වඳුරා ගසෙන් ගසට පනිමින්, අත්තෙන් අත්ත අල්ලා ගනිමින් අත් හරිමින් යන්නේ යම් සේ ද, මේ මායාකාරී සිත ද එසේ ම ය. අරමුණෙන් අරමුණ වහ වහා වෙනස් වෙයි.

දැන් අපි ඉගෙන ගනිමු, ඊළඟ කාරණය. ”වීතදෝසං වා චිත්තං චීතදෝසං චිත්තං ති පජානාති වීතදෝස” කියලා කියන්නේ ද්වේශය නැහැ කියන එකයි. ආර්ය ශ්‍රාවකයා දැන ගන්නවා දැන් මගේ හිතේ ද්වේශයක් නැහැ. මේක තමා ද්වේශය නැති වීතදෝසි සිත කියලා. දැන් කෙනෙක් නිතර ම ද්වේශයෙන් පීඩා විඳිනවා නම් එයා කළ යුත්තේ සද්ධර්මයේ සඳහන් වන පරිදි. ඒ ද්වේශය තව තවත් පැවැත්වීම නො වෙයි. ඒ ද්වේශය ප්‍රහාණය කිරීමට වහ වහා කටයුතු කිරීමයි.

බුදුරජාණන් වහන්සේ වදාළා, ද්වේශය ප්‍රහාණය කිරීමට මෛත්‍රිය වැඩිය යුතු බව. පුද්ගලයෙක් සම්බන්ධයෙන් නම් ද්වේශය හටගත්තේ ඒ පුද්ගලයා අරමුණූු කරගෙන මෛත්‍රි සිත වැඩිය යුතුයි. පිරිසක් සම්බන්ධයෙන් නම් ද්වේශය හටගත්තේ ඒ පිටුපස අරමුණූ කරගෙන මෛත්‍රිය පැතිර විය යුතුයි. එවිට ද්වේශ සහගත සිතේ ද්වේශය ප්‍රහාණය වී වීතදෝසි සිතත් මනාකොට දැන ගන්නවා. දැන් අපි චිත්තානුපස්සනාවේ කාරණා හතරක් ඉගෙන ගන්නා.

පස්වැනි කාරණය නම්, ”සමෝහං වා චිත්තං, සමෝහං චිත්තං නි පජානානී සමෝහ” කියලා කියන්නේ මෝහය සහිත සිත. තව විදියකින් කියනවා නම් මුළාව, මෝඩකම, ඇත්ත නො දැකීම යන අර්ථ දෙන්න පුළුවන්. තව ආකාරයකට කීවොත් අවිද්‍යාව. මේ කාරණය අපි තවදුරටත් විස්තර වශයෙන් ඉගෙන ගනිමු.

මේ ලෝකයේ තිබෙන අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ, අසුබ වූ සියලු දේ මේ මුළා බව නිසා නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන්, සුබ වශයෙන් පිළිගෙන ඒ පිළිබඳ අනවබෝධයෙන් කල්පනා කරනවා. එය සංඥා විපල්ලාස හෙවත් විපරීත හඳුනාගැනීම යි.

දැන් මේ පින්වතුන් කල්පනා කරලා බලන්න අපට මේ ලෝකේ පේනවා අනිත්‍ය දේ නිත්‍ය විදියට. අසබ දේ සුබ විදියට. දුක් දේ සැප විදියට. අනාත්ම දේ ආත්ම විදියට. සාමාන්‍ය ජීවිතයේ මේක නොවේ ද ස්වභාවය. කෙනෙක් නගරයක උස් ගොඩනැඟිල්ලක් උඩට ගොස් ඒ නගරයට යන එන අය දිහා හොඳින් බලාගෙන සිටියොත් තේරේවි මොකක්ද මේ විහිළුව කියලා. උදේ පාන්දර බෑග් මලු උස්සගෙන දුවනවා. ඉර බැසගෙන යද්දී ආයෙමත් තව කොහේ හරි දුවනවා. මේක ඉවරයක් නැති ගමනක්. නිකම් ම නිකම් ගමනකුත් නොවේ. සතර අපායේ වැටි වැටී යන සංසාර ගමනක්. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳ ලස්සන උපමාවක් අපට පෙන්වා දී තිබෙනවා.

දිනක් භික්ෂූන් වහන්සේ රැස්වූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී හස්තයේ නිය සිල මතට පස් ටිකක් ගෙන අසනවා. පින්වත් මහණෙනි, වැඩියෙන් තිබෙන්නේ මගේ නිය සිල මත තිබෙන පස් ටික ද එහෙමත් නැත්නම් මහපොළොවේ තිබෙන පස් ද කියලා. ස්වාමින් වහන්සේ පිළිතුරු දෙනවා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ නිය සිල මත තිබෙන්නේ ස්වල්ප වූ පස් ප්‍රමාණයක්. මහ පොළොවේ අතිවිශාල ගණනය කළ නො හැකි පස් ප්‍රමාණයක් තිබෙන බවත් ය.

පින්වත් මහණෙනි, මේ වගේ තමා මේ ලෝක සත්ත්වයා, අනිත්‍ය දේ නිත්‍ය කියලා හිතාගෙන, දුක් දේ සැප දේ කියා හිතාගෙන, අනාත්ම දේ ආත්ම දේ කියා හිතාගෙන, අසුබ දේ සුබයි කියා හිතාගෙන සංඥා විපල්ලාසයෙන් යුක්තව අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු,ූ ඉමක් කොනක් නො පෙනෙන සංසාර ගමනක් යනවා. ඒ අය සියල්ල ම අයිති අර මහපොළොවේ පස්වලටයි. බොහොම සුළු පිරිසක් බුද්ධිමත් ව සිතට වහල් නොවී, සිත දමනය කර ගෙන, අනිත්‍ය දේ අනිත්‍ය දේ හැටියට ම අවබෝධ කර ගෙන, දුන් දේ දුන් දෙයක් හැටියට ම අවබෝධ කර ගෙන සිටිනවා. තමාගේ වසඟයේ පවත්වන්න බැරි දේ, අයිතිකාරයෙක් නැති දේ ඒ කියන්නේ අනාත්ම දේ.

එහෙත් ආර්ය ශ්‍රාවකයා අසුබ දේ අසුබ දෙයක් ලෙසට අවබෝධ කර ගෙන මේ ඉපදෙන මැරෙන සංසාර ගමනට නැවතීම තබනවා. මේ පිරිස අයිති වෙන්නේ අර නිය සිලට ගත් පස් ටිකට. දැන් මේ පින්වතුන් කල්පනා කරන්න ඕනෑ, අපි ඉන්නේ කොතැනද? නිය සිල මතද? මහපොළොවේ ද? කියලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, යමක් බොහෝ කොට වැඩූ කල්හි, බහුල වශයෙන් වැඩූ කල්හි මහත් වූ යහපත පිණිස පවතීද, මහත් වූ සැපය පිණිස පවතීද, එබඳු වූ එකම එක ධර්මයක් ඇත. එනම් මේ සිතයි. එබඳු වූ වෙනත් කිසිදු ධර්මයක් තථාගතයන් වහන්සේගේ බුදු ඇසට නො පෙනේ කියලා. මේ ආකාරයට ශ්‍රාවකයා දැන ගන්නවා. මෝහ සහිත සිත මෝහ සහිත සිතක් කියලා. දේවදත්ත වැඩ වරද්ද ගත්තේ මේ මෝහය නිසාම යි. ඒ වගේම මාගන්ධියා ලොකුවට හිතාගෙන හිටියා, ඇයගේ රූප සෞන්දර්ය ගැන. ඇය හිතුවේ ඇයගේ රූපේ නිත්‍ය, සුබ, සැප, ආත්ම එකක් කියලයි. බලන්න ඇයට මොකද වුණේ. අදටත් ඇය නිරයේ පැහෙනවා ඇති. අද කාලයෙන් බොහෝ දෙනෙක් ඉන්නවා මාගන්ධියාගේ ගතිගුණ තිබෙන.

දැන් අපි ඊළඟ කාරණය බලමු. ”වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තං ති පජානාති”

වීතමෝහි සිත කියලා කියන්නේ මුළා නො වුණ සිත කියන එකයි. වීතමෝහි හිතක් ඇති කෙනා යමක යථාර්ථය ඒ ආකාරයෙන් ම දකිනවා. අනාගාමී උතුමාටත් මෝහය තිබෙනවා. ඔහුට නැත්තේ සක්කායදිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන පංච ඕරම්භාගිය සංයෝජනය යි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දවස්වල එක්තරා, අනාගාමී වූ භික්ෂුවක් කුසල දහම්වල නො ඇලී සිටියා. ප්‍රමාදයෙන් කල් ගත කළා. බුදුරජාණන් වහන්සේ මෙය දුටුවා. මහා කරුණාවෙන් අහනවා “පින්වත් භික්ෂුව, ඔබ ඇයි මේ ප්‍රමාදයට පත්ව සිටින්නේ. මම දේශනා කර තිබෙනවා නේද? අප්‍රමාදය කෙත් බිමක් කර ගන්න කියලා. කාය ජීවිත ආසාව අත්හැර ධර්මයේ හැසිරෙන්න කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ වදාළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම හිතාගෙන ඉන්නේ අනාගාමී බ්‍රහ්ම ලෝකයට ගොස් පිරිනිවන්පාන්නයි. එවිට බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් භික්ෂුව අසූචි ටිකයි කියලා ගඳේ වෙනසක් තිබෙනවාද” නෑ ස්වාමීනි කියා පිළිතුර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“පින්වත් භික්ෂුව නැවත උපදිනවා. කියන එක මම ඇසිපිය හෙළනා මොහොතක්වත් වර්ණනා කරන්නේ නෑ කියලා” පරම සත්‍යය එයයි”.

You may also like

Leave a Comment