බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි මේ ලෝකයේ තිබෙන අසිරිමත් ම දේ. ඒ ධර්මය සිතා ගන්නට බැරි තරම් අසිරිමත්. එහෙම වෙන්නෙ කරුණු කාරණා රාශියක් නිසයි. ඒ අසිරිමත් කරුණු අතර තිබෙන සුවිශේෂී ම දෙය නම්, සම්බුදු රදුන්ගේ ධර්මය කථිතමාත්‍රයකින් කෙළවර නොවීම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය, කවදාවත් කතාබහකින් ඉවර වෙන දෙයක් නොවෙයි. ධර්මය කියන්නේ හැම විට ම ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ යුතු දෙයක්.
යම්කිසි කෙනෙක් තුළ ධර්මය ප්‍රායෝගික ව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, ඔහු බුදු රදුන්ගේ ධර්මය තුළ මිය ගිය කෙනෙක්. ඒ කියන්නේ ඔහු තුළ සද්ධර්මය ජීවමාන වෙන්නේ නැහැ.
ඒ නිසා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, වගේ මේ හැම දෙයක් ම එක ම එක නිෂ්ඨාවක් පිණිස ම යි පවතින්නේ. ඒ නිෂ්ඨාව නම්, පරිපූර්ණ වශයෙන් කෙලෙස් සංසිඳවීම. ඉතින් යම් හේතුවක් නිසා, ධර්ම සාකච්ඡාවකින් හරි, ධර්ම ශ්‍රවණයකින් හරි කෙලෙස් සංසිඳවීම සිදු වෙන්නේ නැත්නම්, එතැන බුදුදහම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතැන තිබෙන්නේ ධර්මයේ වේශයෙන් ක්‍රියාත්මක වෙන වෙනත් දෙයකුයි.
ඒ නිසා ධර්මය ගැන උනන්දු වෙන, ධර්මයේ හැසිරීමට උත්සාහ කරන ඔබ තුළ, ඇත්තට ම බුදු රදුන්ගේ අවවාදය ක්‍රියාත්මක වෙනවාද කියලා දැන ගන්නට උපකාර වෙන කරුණු කිහිපයක් ලියන්නට ඕනෙ කියලා හිතුණා. හැබැයි මේ දේ කියන්නේ, අනිත් අයව මනින්නට නොවෙයි. එහෙමත් නැත්නම්, තමන්ව ම මැනගෙන, හීනමානය හරි, අධිමානය හරි ඇති කර ගන්නටත් නෙවෙයි. මේ කරුණු දැන ගෙන, දහම තුළ අප්‍රමාදී වීමට යි.
1. ශ්‍රද්ධාවෙන් ම ධර්මයේ හැසිරෙන කෙනෙක් තුළ මූලික ව ම සිදු වන දේ තමා ඔහු තුළ ගුණධර්ම දියුණුවීම. කරුණාව, මෛත්‍රිය, අනිත් අයගේ අදහස් ඉවසීම, අනිත් අයට උපකාර කිරීම ආදී ගුණධර්ම ඒ කෙනා තුළ ක්‍රමයෙන් දියුණු වෙනවා. මේ දේ ධර්මතාවක් හැටියට ම සිදුවෙන දෙයක්.
2. ඒ වගේ ම විශේෂයෙන් ම ඔහු තුළ ඇති වන ගුණ ධර්මයක් තමා කෙළෙහිගුණ දන්නාකම. එය විශේෂ ගුණ ධර්මයක් හැටියට සඳහන් කළේ ඇයි…..? මේ ගැන කවුරු මොනවා කිව්වත්, කෙළෙහිගුණ දන්නාකම කියන්නේ, සත්පුරුෂ භූමිය යි. ඒ කියන්නේ, සත්පුරුෂ භූමියත්, කළගුණ දන්නා බවත් වෙන් කළ නොහැකි ලෙස බද්ධවෙලයි තිබෙන්නේ. කෙළෙහිගුණ දන්නා බව යම් තැනක නැත්නම් එතැන සත්පුරුෂභාවයක් ඇත්තේ ම නැහැ.
බුදුරජාණන් වහන්සේ වදාළා, කෙළෙහි ගුණ නොදන්නා බව, මුළුමනින් ම අසත්පුරුෂ භූමිය බව. යම් කෙනෙක් තුළ, කළගුණ දන්නා බව නැත්නම්, ඔහු ඒකාන්තයෙන් ම අසත්පුරුෂයෙක්. විශේෂයෙන් ම යම්කිසි කෙනෙක්, සද්ධානුසාරී භාවයට හෝ පත් වෙනවා නම්, ඔහු තුළ ධර්මතාවක් හැටියට ම, ස්ථිර වශයෙන් ම මේ උතුම් ගුණධර්මය පිහිටනවා. මෙය බලෙන් රිංගවිය යුතු දෙයක් හෝ, බලෙන් ඇති කළ හැකි දෙයක් හෝ නොවෙයි. ඕනෑම කෙනෙක් සත්පුරුෂ භූමියට පා තබනවාත් එක්ක ම ධර්මතාවක් හැටියට ම ඔහු තුළ කළගුණ දන්නා බව පිහිටනවා.
3. ධර්මය තුළ දියුණු වෙන, ධර්මය හිතට ගිය පුද්ගලයාගේ තවත් ලක්ෂණයක් වන්නේ, ඔහු ලෝකයත් සමඟ කැළඹී යන්නේ නැහැ. ඒ කියන්නේ, අපි හිතමු ඔහුට නින්දා අපහාස හෝ රෝගාබාධ හෝ වෙන කිසියම් හෝ ව්‍යසනයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒත් ඒ දේවලින් ඒ කෙනා ගේ සිත කැළඹෙන්නේ නැහැ.
සිත යම් මට්ටමකට හෝ කැළඹුණත් ඔහුට සිහි වන්නේ ධර්මය ම යි. ඔහුගේ වචනයෙන් පවා බැහැරට නික්මෙන්නේ ධර්මය ම යි. ධර්මය සිතට නොගිය කෙනා, ලෝකයත් සමඟ කැළඹෙනවා වගේ ම, කැළඹීම තුළින් ඔහුගේ අභ්‍යන්තරයේ තිබෙන අකුසල් එළියට පනිනවා. නින්දා, අපහාස ලැබුණත් ධර්මයේ පිහිටපු ඔහුගේ සිත උපේක්ෂාවට පත් වෙනවා. නැත්නම්, කැරකි කැරකී ධර්මය තුළ ම පිහිටනවා. මේ දේ ධර්මතාවක් හැටියට ම සිදු වෙනවා.
4. ඒ වගේ ම බුදුපියාණන් වහන්සේත්, ධර්ම රත්නයත්, සංඝ රත්නයත් මුල් කර ගෙන කෙතරම් නින්දා අපහාස, වාද විවාද, ඇතිවුවත් ධර්මයේ පිහිටපු කෙනාගේ සිත, නැවත නැවතත් බුදුගුණ, දම් ගුණ, සඟ ගුණ තුළ ම පිහිටනවා. සංසිඳෙනවා. ඇවිස්සී යන්නේ නැහැ.
5. ධර්මයේ හොඳින් හැසිරෙන, ධම්මානුධම්ම පටිපන්න කෙනාගේ තවත් ලක්ෂණයක් තමා ඔහු කතා කළොත් කතා කරන්නේ ධර්මය ම විතරයි, සිතුවොත් සිතන්නේ ධර්මය ම විතරයි. ඒ දෙක ම නැති නම් එයා සතිමත් ව උපේක්ෂාවෙන් ඉන්නවා. ධම්මානුධම්ම පටිපන්න යි කියලා නිවැරැදිව ම කියන්න පුළුවන් වෙන්නේ අන්න ඒ වගේ කෙනකුට තමා.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා, යම් යම් භාවනා වඩන විට, ඒ භාවනා තමන් තුළ වැඩෙනවා ද කියා දැන ගන්නට යම් යම් ක්‍රම. ඒ ක්‍රම කිහිපයකුත් මේ විදියට දක්වන්නට පුළුවන්. සමහර විට ඔබට ප්‍රයෝජනවත් වේවි.
1. ඔබ අසුබ සඤ්ඤාව, එහෙමත් නැතිනම් අසුභ භාවනාව වඩනවා කියා සිතමු. මේ භාවනාව ඔබ තුළ හොඳින් වැඩෙනවා නම් සිදු වෙන දේ තමා, ඔබේ සිත මෙවුන්දම් සේවනයෙන් ඉවතට නැමීම, ඉවතට හැකිළීම, මේ භාවනාව වැඩීම නිසා, මෙවුන්දම් සේවනය ගැන එක්කෝ උපේක්ෂාව ඇති වෙනවා, නැතිනම් පිළිකුල උපදිනවා.
බුදුරජාණන් වහන්සේ වදාළා, කුකුළු පිහාටුවක් හෝ නහර කැබැල්ලක් හෝ ගින්නකට ඇල්ලූ විට, ඒවා පිළිස්සෙමින්, ආපසු හැකිළෙන්නේ යම් විදියකට ද, ඉවතට නැමෙන්නේ යම් විදියකට ද අන්න ඒ වගේ ම, අසුබ භාවනාව වඩන කෙනාගේ සිත ලාමක ධර්මයක් වූ මෙවුන්දම් සේවනයෙන් ඉවතට නැමෙනවා ය කියලා.
ඉතින් භාවනාව වඩන කාලය දීර්ඝ වුවත්, කෙටි වුවත්, ඔබ තුළ මෙවුන්දම් සේවනයට ඇති කැමැත්ත අඩු වෙන්නේ නැති නම්, ඔබ තුළ මේ භාවනාව, හොඳින් දියුණු වන්නේ නැහැ. වඩන කාලය කෙටි වුණත්, දිග වුණත් මෙවුන්දම් සේවනයට ඇති කැමැත්ත අඩු වෙනවා නම්, ඔබ තුළ මේ භාවනාව හොඳින් වැඩෙනවා.
2. ඔබ මරණ සඤ්ඤාව, එහෙම නැත්නම් මරණානුස්සති භාවනාව හොඳින් වඩනවා නම්, එවිට සිදුවන දෙය තමා ජීවිතය ගැන ඇති ඇල්ම දුරුවෙන්නට පටන් ගැනීම, ජීවිතයට ඇති ඇල්මෙන් සිත ඉවතට නැමෙනවා. හැකිළෙනවා. ජීවිත තණ්හාව ගැන උපේක්ෂාව, පිළිකුල උපදිනවා. මේ කියන්නේ මැරෙන්න හිතෙනවා කියන එක නෙවෙයි. මේ භාවනාව වඩන විට ජීවිතය ගැන ඇති දැඩි තෘෂ්ණාව දරු වෙන්නට පටන් ගන්නවා.
3. ඔබ ආහාරයේ පටික්කූල සඤ්ඤාව හොඳින් වඩනවා නම්, එවිට රස තෘෂ්්ණාව, ආහාරවල තිබෙන රසයට ඇති ගිජුකම දුරුවෙන්නට පටන් ගන්නවා. සිත කෑමවල රසයට ඇති ආසාවෙන් ඉවතට නැමෙනවා. ඉවතට හැකිළෙනවා. රස තණ්හාව ගැන උපේක්ෂාව හරි පිළිකුල හරි ඇති වෙනවා. මේ කියන්නේ කෑම ගන්න බැරිව යෑම ගැන නෙවෙයි. හුදෙක් ම රස තෘෂ්ණාව දුරු වෙන්නට පටන් ගන්නා බවයි.
ඔබ සියලු ලෝකයට නොඇලී සිටීමේ සඤ්ඤාව හොඳින් පුරුදු කරනවා නම්, එවිට ඒ ඒ ලෝකවල (දිව්‍ය ලෝක ඇතුළු) ඉපදීමට තිබෙන කැමැත්ත දුරුවෙන්නට පටන් ගන්නවා. ඒ ඒ ලෝකවල ඉපදීමට ඇති කැමැත්තෙන්, සිත හැකිළෙනවා. ඉවත නැමෙනවා. ඒ ගැන උපේක්ෂාව හරි පිළිකුල හරි ඇති වෙනවා.
4. ඔබ අනිත්‍ය සඤ්ඤාව, එහෙමත් නැත්නම් අනිත්‍ය භාවනාව හොඳින් වඩනවා නම්, එවිට ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලට තිබෙන කැමැත්ත දුරු වෙන්නට පටන් ගන්නවා. ලාභ සත්කාර, කිර්ති ප්‍රශංසා ආදියෙන් හිත ඉවතට නැමෙනවා. ඒවා ගැන උපේක්ෂාව හරි පිළිකුල හරි ඇති වෙනවා.
බොහෝ දෙනෙක් වඩන භාවනාවක් නිසා, මේ ගැන කරුණු දැන සිටීම වැදගත්. අනිත්‍ය භාවනාව තමන් තුළ වැඩෙනවා ද කියා දැන ගන්න තිබෙන්නේ, ඒ තුළින් ලැබෙන යම් යම් අත්දැකීම්වලින් නෙවෙයි. මුලින් කිව්ව ක්‍රමයෙන්, අනිත්‍ය භාවනාව වඩන ඔබ තුළ ලාභ සත්කාර ගැන, කීර්ති ප්‍රශංසා ගැන උපේක්ෂාවක් හරි පිළිකුªලක් හරි ඇති වෙනවා නම්, සිත ඒවායින් ඉවතට හැරෙනවා නම්, එතැනින් තමා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ, අනිත්‍ය භාවනාව වැඩනවා ය කියලා.
අනිත්‍ය භාවනාව වඩද්දීත්, නම ප්‍රසිද්ධ කර ගන්නට, බොහෝ දෙනෙක් අතර දැන ගත් චරිතයක් වෙන්නට, තමා දහම් දැනුම ඇති අයෙක්, භාවනා කරන අයෙක් කියා ප්‍රසිද්ධ වන්නට හෝ අන් අයගේ ලාභ සත්කාර තමා වෙත ලබා ගන්නට ආදී වශයෙන් තමා තුළ තිබෙන කැමැත්ත එහෙම ම තියෙනවා නම්, එහෙමත් නැතිනම් ටික ටික වැඩි වෙනවා නම්, කුමන අත්දැකීමක් ලැබුණත් තේරුම් ගන්නට තිබෙන්නේ, ඔබ තුළ අනිත්‍ය භාවනාව නොවැඩෙන බව යි.
5. ඔබ අනිච්චේ දුක්ඛ සඤ්ඤාව එහෙමත් නැත්නම්, අනිත්‍ය දේ දුකයි කියා වඩන භාවනාව හොඳින් වඩනවා නම්, මේ භාවනාව ඔබ තුළ හොඳින් වැඩෙනවා නම්, බණ භාවනා කරන්නේ නැති ව අලස ව ඉඳීම ගැනත්, කුසීත ව ඉඳීම ගැනත්, කම්මැලි ව ඉඳීම ගැනත්, විවිධ දේ කරමින් ප්‍රමාදී ව ඉඳීම ගැනත්, ඔබ තුළ ඉතා ම තදබල බියක් ඇති වෙනවා. තීව්‍රර බියක් ඇති වෙනවා.
බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්වා දී තිබෙන්නේ, හරියට කඩුවක් අතින් ගත් වධකයෙක්, බෙල්ලට කොටන්න ඉන්න විට ඇතිවෙන බිය වගේ ඉතා තදබල බියක්, මුලින් කී දේ ගැන ඇති වෙනවා කියලයි. ඉතින් කම්මැලිකමට සිටීම ගැන එහෙම බියක් ඇති වෙන්නේ නැත්නම්, ඒ භාවනාව ඔහු තුළ වැඩී නැහැ.
ඇත්තෙන් ම අද කාලේ ජීවත් වෙන, සසර දුකින් නිදහස් වෙන්නට කැමැත්ත ඇති අය අතරින් බොහෝ පිරිසකට පවා අනිත්‍ය දේ දුකයි කියන සඤ්ඤාව ස්වල්පයක් වත් වැඩී නෑ කියල යි තේරුම් ගන්නට තිබෙන්නේ. ඇතැම් අය ඒ තරමට ම ප්‍රමාද වේවී, හිස් දේ ඔස්සේ කාලය කමින් ජීවිත ගතකරනවා.
6. ඔබ දුක් දේ අනාත්ම යි කියා වඩන භාවනාව, (දුක්ඛේ අනත්තසඤ්ඤා) වඩනවා නම්, මේ භාවනාව වැඩීමෙන් සිදු වෙන්නේ, තමන්ගේ ශරීරය ගැනත්, බාහිර තිබෙන සියලු නිමිති ගැනත් ඇති මම කියන හැඟීම, මගේ කියන හැඟීම ආදී සියලු මානයන් දුරින් ම දුරු වී යෑම යි.
ධර්මය තුළ අපි දියුණු වෙනවා ද කියා බලන්නට තිබෙන්නේ, ධර්මයේ හැසිරීම සහ බණ භාවනා කිරීම තුළින් ලැබෙන යම් යම් ගූඪ අත්දැකීම් තුළින් නෙවෙයි. මෙන්න මේ ගුණ ධර්ම තමන් තුළ දියුණු වෙනවා ද නැද්ද කියන එක තුළිනු යි.
ඒ නිසා අපි, අපි ගැන ම හැඟීමක්, සංවේගයක් ඇති කර ගනිමු. මේ කියන කිසි දෙයක් තමන් තුළ දියුණු වෙලා නැතිනම්, දියුණු වෙන මාවතක් පෙනෙන්නටත් නැති නම්, අපි ඉක්මනින් ම කළ යුත්තේ, හිස් දේ කරමින් නිකරුණේ ජීවිත ගත කරන එක වහාම නවතා දමා, හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගිනි නිවා ගන්නට උත්සාහ කරනවා වගේ, ධර්මය දියුණු කර ගැනීම පිණිස මහන්සි වීම යි. ඒ පිණිස ම සියලු දෙනාට ම භාග්‍ය උදාවේවා.