ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් අමාවක පෝ දා 2026 නොවැම්බර් 08 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් අමාවක පෝ දා 2026 නොවැම්බර් 08 ඉරිදා
නිවස විශේෂාංගසැබෑ බුද්ධ ශ්‍රාවකයා

සැබෑ බුද්ධ ශ්‍රාවකයා

by Thanushika
November 8, 2026 12:30 am 0 comment

ඔබේත්, මගේත් ජීවිතයේ එක ම සැනසිල්ල, එක ම ශාන්තිය කවදා හෝ දිනෙක බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුන්දර ධර්මය අවබෝධ කර ගෙන මේ සංසාර ගමනින් නිදහස් ව, අමාමහ නිවන ලැබීමයි. අප කාගේත් ජීවිතයේ තිබෙන උදාරතර අධිෂ්ඨානය ද, අපේක්ෂාව ද වන්නේ එයයි. ඒ නිසාමයි අපි මොන දේ කළත් ‘යාව නිබ්බාන පත්ථියා’ යනුවෙන් ප්‍රාර්ථනා කරන්නේ. කරන සෑම පින්කමක් අවසානයක ම ලැබෙන්න ඕනෑ නිර්වාණය, සැනසීම, නිවීම නම් ඒ සැනසිල්ල හොයාගෙන යන අපට බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර ධර්මය මුණ නොගැසුණොත්, ඒ ධර්මය මුණගැසිලත් ජීවිතයට එකතු කර නොගෙන ප්‍රතිපත්තිමය වශයෙන් ජීවිතයේ ධර්මානුධර්ම පිළිවෙත් ගොඩනඟා නොගත්තොත් ඔබටත්, මටත්, කාටත් ඒ නිවන ළඟ නැහැ.

ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත් දුර්ලභයි. සද්ධර්ම රත්නයේ පහළ වීමත් දුර්ලභයි. හැමදාම මේ ධර්මය මේ ආකාරයට ම පවතින්නේ නැහැ. ඒ නිසා ධර්මය විරාජමාන වන කාලයක අපි අපේ ජීවිතය වෙනදාට වඩා ප්‍රතිපත්තිමය දියුණුවක් හදා ගත්තොත් කවදා හෝ දිනෙක බුදුරජාණන් වහන්සේගේ සැබෑ ම ශ්‍රාවකයන් බවට පත් වන්න පුළුවන්කම ලැබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ සැබෑ ම ශ්‍රාවකයන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් ලෙස කොටස් සතරකි. (යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා) යුගල වශයෙන් ගත්තොත් සතරයි. තනි පුද්ගලයන් වශයෙන් ගත්තොත් අටකි. ඒ තමයි සෝවාන් මාර්ගස්ථයාගේ සිට රහතන් වහන්සේ දක්වා එන (අට්ඨ පුරිසපුග්ගලා) පුරුෂයන් අට දෙනා.

මතු දිනෙක මේ නිවන ස්පර්ශ කරන්න නම් අපත් මේ ශ්‍රාවකයන් අට දෙනාගෙන් එක්කෙනෙක් අතරට හෝ එකතු වෙන්න ම අවශ්‍යයි. එසේ එකතු නොවී කෙදිනකවත් නිවන ලබන්න බැහැ. බෞද්ධ අපි සැමගේ ම ඒකායන අරමුණ විය යුත්තේ මේ පෘතග්ජන භූමියේ ඉඳගෙන හැමදාම මේ සසරේ දුක හදන වැඩපිළිවෙළින් ටික ටික හෝ ඉවත් වෙලා බුදුරජාණන් වහන්සේගේ සැබෑ ම ශ්‍රාවකයන් අතරට එකතු වීමයි. ඒ අධිෂ්ඨානය ජීවිතයට අත්‍යවශ්‍යයි.

භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, මමත්, ඔබත් මේ දීර්ඝ සංසාරය පුරාවට ම ආවේ කාරණා සතරක් අවබෝධ කර නොගත් නිසයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයයි.” ලෝකයේ යථාර්ථය එයයි.

සංසාර ගමන මේ ආකාරයට දීර්ඝවීමට එක ම හේතුව වන්නේත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර නොගැනීමයි.

ධර්මාවබෝධයක් නොමැති ව පැමිණි මේ සංසාර ගමනේ ඔබට සහ මට ලැබී තිබෙන්නේ මොනවා ද? (ජාති පච්චයා ජරා) ජරාව හම්බවුණා. මරණය උරුම වුණා. ඔබට සහ මට තිබෙන්නේ රාග, ද්වේෂ, මෝහ එකොළොස් ගින්නකින් දැවි දැවී, තැවි තැවී පැමිණි ගමනක්. ධර්මයට අනුව මේ ලොව ඉපදුණු අපට ලැබුණේ මොනවා ද? අපට උපතත් එක්ක ලැබුණේ ජරා, මරණ, සෝක, පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා. බුදුරජාණන් වහන්සේ දුක ගැන අපට අවබෝධ කර ගන්න කියන්නේ ජීවිතය දුකෙන් ගෙවන්න නොවේ. දුක ගැන අවබෝධ කර ගත් පසු දුකෙන් නිදහස් වෙනවා. අපට දුක ගැන නිවැරැදි අවබෝධයක් නොමැති නිසා දුකෙන් නිදහස් වීමක් නැත. මොන ජීවිතයක් ද, මේ මොන දුකක් ද, කවදා මේ දුකෙන් නිදහස් වෙන්න ද කියලා අපි කොච්චර කියලා ඇද්ද? ජීවිතයට දුක ගලාගෙන එනවිට හිතනවා නේද මොන කරදරයක් ද, මොන දුකක් ද, මේකෙන් අපට ගැලවීමක් නැද්ද කියලා. මේ වගේ හිතුණ වාර අප්‍රමාණයි නේද? මේ සංසාරේ අපි එහෙම හිතලා ඇද්ද? ඒත් එක්කම දුකෙන් නිදහස් වෙන්න තිබුණා නම් හොඳයි කියලා කල්පනා කරලත් තියෙනවා. නමුත් අපට බැරි වුණේ මොකක්ද? දුකයි දුකයි කියලා කිය කිය හිටියා. ඇත්තට ම මොකක්ද දුක කියන එක අවබෝධ කර ගෙන, දුකෙන් නිදහස් වෙන්න බැරි වුණ හින්දා අදටත් අපට උරුම වෙලා තියෙන්නේ ජරා, මරණ දුක නේද? ඒ නිසා මේ ජීවිතයේ කෙළවර මරණය. මෙය නොදන්නා නිසා, අවබෝධ කර නොගත් නිසා හැමදාම අපි මේ භවය ප්‍රාර්ථනා කර ගෙන ඇවිත් තියෙනවා. එයට දේශනාවේ කියනවා, භව තණ්හාව කියලා.

ඇත්තට ම ජීවිතය දුකයි කියලා අවබෝධයෙන් ම තේරුම් ගත්තොත් සෑම කෙනකුගේ ම චින්තනය හැඩගැසෙන්න ඕනෙ, හුරු වෙන්න ඕනෙ දුක හදන හේතු ටික අයින් කරන්න. ජීවිතය දුකයි කියලා අපි කියනවා, දන්නවා. නමුත් දුක හදන හේතු අයින් කරන්නේ නැහැ. එයට හේතුව දුක කියලා කියන්නේ මොකක්ද කියලා නිවැරැදි ව අපට අවබෝධයක් නැහැ. ඒ නිසා ම අපි කර තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ (අනමතග්ගෝ යං භික්ඛේ සංසාරෝ) මහණෙනි, මමත්, ඔබලාත් දීර්ඝ සංසාරයකට එකතු වුණා. අපි නැවත නැවත උපදින්න කැමැතිද? නැද්ද? අකමැතියි කියලා ප්‍රශ්නය විසඳෙනවා ද? නැහැ. සමහර අය ජරාව, ව්‍යාධිය ජීවිතයට එන කොට එයට බයෙන් තමන් විසින් ම ජීවිතය නැති කර ගන්නවා. එවිට ප්‍රශ්නය විසඳීලා ද? නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, මහණෙනි, මේ සංසාරය පුරාවට ම භව තෘෂ්ණාව හද හදා පැමිණි ගමනක පටන් ගත්ත තැනක් හොයන්න බැහැ. ආයෙ ආයෙ උපතක් කරා එන්න කැමැත්තක් හදලා තියෙනවා. කැමැත්ත හදලා තිබුණ නිසා දීර්ඝ සංසාරයකට අපි එකතු වුණා. මෙය ලෙහෙසි පහසු එකක් නොවේ. මේ භව තෘෂ්ණාව කොතැනින් පටන් ගත්තා ද කියලා ආරම්භයක් පනවන්න බැහැ. මේ ජීවිතයට කලින් භව තෘෂ්ණාව මා ළඟ තිබුණේ නැහැ කියලා කියන්නත් බැහැ. නොතිබුණා නම් මේ ජීවිතය ලැබෙනවා ද ? නැහැ. මෙයින් මතු භව තෘෂ්ණාව හට ගන්නේ නැහැ කියලා කියන්නත් බැහැ.

භව තණ්හාව හැදි හැදී, හැදි හැදී පැමිණ තියෙන්නේ හේතුවක් නැති ව නොවෙයි. ලෝකයේ සෑම දෙයකට ම හේතුවක් තියෙනවා. ඒ තමයි මේ භව තෘෂ්ණාවට හේතු ප්‍රත්‍ය වන අවිද්‍යාව. අපි සංසාරයට එකතු වුණේ අපේ කැමැත්ත, අකමැත්ත නිසා ම නොව චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අපි ළඟ තිබුණු නොදන්නාකමයි. අනවබෝධයයි. අවිද්‍යාව නිසා නම් තණ්හාව හැදෙන්නේ, අවිද්‍යාව නිසා නම් භව තෘෂ්ණාව හට ගන්නේ මේ අවිද්‍යාවත් හේතුවක් නැතිව හට ගන්න එකක් නොවෙයි. මෙම ධර්ම පරියාය හොඳීන් තේරුණොත්, මේ හේතු ටිකයි මේ පලයයි හොඳීන් ග්‍රහණය කර ගන්න පුළුවන් වුණොත් අපට මේ ජීවිතයේ දී ම චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කර ගත හැකි යි.

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment