ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් අමාවක පෝ දා 2026 නොවැම්බර් 08 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් අමාවක පෝ දා 2026 නොවැම්බර් 08 ඉරිදා
නිවස වෙහෙර විහාරකුපික්කල මහාතිස්ස තෙරුන්ට පිදූ අභයගිරි විහාරය

කුපික්කල මහාතිස්ස තෙරුන්ට පිදූ අභයගිරි විහාරය

by Thanushika
November 8, 2026 12:30 am 0 comment

අතීතයේ දී අභයාවල, අභයවිහාර, අභයුත්තර, උත්තර විහාර ආදී නම්වලින් හැඳීන්වු අභයගිරිය ලක්දිව බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිද්ධි කිහිපයකට මුල් වූ ප්‍රසිද්ධ විහාරායතනයකි. අටමස්ථානයේ විහාරාරාම අතරින් වැඩි ම බිමක එනම්, අක්කර 500ක් පුරා විහිදුණු විශාලතම විහාරය වන්නේ ද අභයගිරිය යි.

වළගම්භා රජු විසින් ක්‍රි. පූ. 89 දී පමණ මෙම විහාරය ඉදිකරවා තිබේ. රට ආක්‍රමණය කරමින් ආ ද්‍රවිඩයන්ට බියෙන් වළගම්භා රජු අනුරාධපුර රාජධානියෙන් පලා යද්දී එක් තීර්ථකාරාමයක විසූ ‘ගිරි’ නම් නිගණ්ඨයෙක් රජුට නින්දා කරමින් ‘මහා කළු සිංහලයා බයේ පලා යනවා’ යැයි පැවසූ බවත්, එයින් සිත් තැවුලට පත් රජු නැවත සිහසුන ගත් පසු එම තීර්ථකාරාමය කඩා බිඳ දමා එතැන දොළොස් පිරිවෙනකින් යුත් විහාරයක් කරවූ බවත්, එය තමන්ගේ ‘අභය’ නාමයත්, නිගණ්ඨයාගේ ‘ගිරි’ නාමයත් එක්කොට ‘අභයගිරි’ යැයි නම් කළ බවත්, පසුව රජතුමා තමාට විපත් කාලයේ දී උපකාර කළ කුපික්කල මහාතිස්ස තෙරුන්ට මෙම විහාරය පූජා කළ බවත් මහාවංශයේ සඳහන් වේ.

ඉන්පසු අභයගිරිය ආගමික කටයුතු පිළිබඳ මූලස්ථානයක් වූවා පමණක් නොව ජාතියට නව ජීවනයක් දුන් ස්ථානයක් ද වූයේ රටෙහි බ්‍රහ්මණ සහ ජෛන බලපෑම අවසාන කිරීම සංකේතවත් කරමිනි.

නමුත් මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා පවසන්නේ කඳු ගැටයක් ආශ්‍රිත ව ඉදිකළ ආරාම ‘ගිරි’ යන්නෙන් හඳුන්වා තිබෙන බවත්, තරමක උස්බිමක සහ ගල් පර්වත ආශ්‍රිත පරිසරයක තැනූ දාගැබ ඒ නිසා ‘අභයගිරි’ වූ බවත් ය.

බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ශාරීරික සර්වඥ ධාතු තැන්පත් කළ වෘෂභ‍යකුගේ හැඩයෙන් යුතු ධාතු කරඬුවක් අභයගිරි දාගැබේ නිදන් කළ බව සද්ධර්මරත්නාකරයෙහි සඳහන් වේ.

අභයගිරි භූමියේ තවත් ස්ථූප කිහිපයක් දක්නට ලැබේ. ජනවහරේ ඉදිකටු සෑය නමින් හැඳීන්වෙන ප්‍රාසාද ස්ථූපය කුඩා ගල් පර්වතයක් මැදි කොට ඉදිකරන ලද්දකි. මෙය පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය නම් ස්ථූපය හා සමාන ය. ඇත් පොකුණට බටහිරින් වේදිකාවක් මත තවත් ස්ථූපයක් හමු වී තිබේ. මේ හැර තවත් කුඩා ස්ථූප දෙකක නටබුන් හමු වී ති‍බේ.

අභයගිරි දාගැබ ගොඩනැඟූ මුල් කාලයේ දී එය දැනට පෙනෙන තරම් විශාල නොවීය. අද පවතින්නේ දොළොස් වැනි සියවසේ දී පළමු වැනි පරාක්‍රමබාහු රජු විසින් අවසන් වරට විශාල කොට බැඳවු දාගැබයි. එකල මෙම දාගැබ රියන් 140ක් උස් වූ බව ඉතිහාසයේ් සඳහන් වේ.

19 වැනි සියවසේ අවසාන භාගය වන තෙක් අභයගිරි දාගැබ කැලෑවෙන් වැසී ජරාවාස ව තිබිණි. පසුව කැලෑව එළි පෙහෙළි කොට දාගැබ පාදාගෙන තිබේ. 1890 ලංකාණ්ඩුවෙන් මෙහි කොත්කැරැල්ල සහිත සතරැස් කොටුව ප්‍රතිසංස්කරණය කර තිබේ.

අභයගිරි දාගැබ පිහිටා ඇත්තේ වර්ග අඩි 587ක් පමණ විශාල වූ ද, අඩි හයක් උස් වූ ද සලපතළ මළුවක ය. දාගැබ වටා දිවෙන, ප්‍රදක්ෂිණා පථයක් ලෙස ගැනෙන වැලිමළුව අඩි 95ක් පළල ය. සතරැස් මළුවේ හරි මැදින් අර්ධ ගෝලාකාර ගර්භය ස්ථාපිතය. චෛත්‍ය පාදය පේසාවළලු තුනකින් යුක්ත ය. පහළ ම පේසාවේ විෂ්කම්භය අඩි 355කි. උස අඩි 6කි. මුදුන් පේසාව මත ගර්භයේ විෂ්කම්භය අඩි 310කි. ගර්භය මුදුනේ පිහිටි සතරැස් කොටුව අඩි 33ක් උස ය. සමචතුරස්‍රයක් වූ මෙහි එක් පාර්ශ්වයක දිග අඩි 75ක් වේ. පැති සතර ම ගරාදිවැට (වේදිකා) සහිත හිරුමඬල සටහනින් සමලංකෘත ය. මළුවේ සිට සතරැස් කොටුවේ මුදුන දක්වා උස අඩි 187යි අඟල් 6කි. සතරැස් කොටුව මැදින් පැන නැඟෙන සිලින්ඩරයක හැඩයෙන් යුත් දේවතා කොටුවේ උස අඩි 15කි. විෂ්කම්භය අඩි 30කි. දේවතාකොටුව මත කොත්කැරැල්ල පිහිටා ඇත. මුදුන ගරාවැටී ඇති මෙම කොත්කැරැල්ලේ සම්පූර්ණ උස අඩි 42යි අඟල් 6කි. මෙසේ මුළු දාගැබේ උස අඩි 245කි. ගඩොලින් බැඳී කොත්කැරැල්ලේ තිබී සොයා ගත් අඟල් 6ක් පමණ ඝණකමින් යුත් වටකුරු පැතලි ගල් පුවරු දාගැබ් මුදුනේ පිහිටුවන ලද ඡත්‍රවල නෂ්ටාවශේෂ ය. අඩි 2ක් පමණ පරතරවල එක පිට එක පිහිටා තිබූ මේවා ඡත්‍රවලියක ආකාරය දැක්වෙන සේ නිම වූවා විය හැකි ය.

අභයගිරිය බෞද්ධ ස්ථූප අතර විශේෂ ස්ථානයක් ගන්නේ එහි විශාලත්වය නිසා ය. එය අනුරාධපුර දාගැබ් අතරින් දෙවැනි වන්නේ ජේතවන දාගැබට පමණි. බුදුරදුන් ලක්දිව වැඩි ගමනක දී අභයගිරි චෛත්‍ය ස්ථානයෙහි තබන ලද පාද ලාංඡනයක් මත මෙම ස්ථූපය කරවූ බව පාහියන් භික්ෂුව සඳහන් ක‍රයි.

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment