ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අව අටවක පෝ දා 2026 ඔක්තෝබර් 03 සෙනසුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අව අටවක පෝ දා 2026 ඔක්තෝබර් 03 සෙනසුරාදා
නිවස වෙහෙර විහාරඅභිමානනීය ඉතිහාසයක සොඳුරු මතකය සිතුල්පව්ව පුදබිම

අභිමානනීය ඉතිහාසයක සොඳුරු මතකය සිතුල්පව්ව පුදබිම

by Thanushika
October 10, 2026 12:32 am 0 comment

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ පිහිටි සිතුල්පව්ව සිත් අලවන පර්වතය යන අරුතින් චිත්තල පබ්බත ලෙස මහා වංශයේ ද, චිතල පවන, චිතල පවම යන නම්වලින් ශිලා ලේඛනවල ද හඳුන්වා තිබේ.

තිස්සමහාරාමයේ සිට ඕ 422 මාර්ගයේ යෝධකණ්ඩිය වැව පසු කළ පසු හමුවන කිරින්ද–සිතුල්පව්ව මාර්ගයේ කිලෝ මීටර් 24ක් පමණ ගමන් කිරීමෙන් හෝ කතරගම සිට කතරගම – සිතුල්පව්ව පාරේ කිලෝ මීටර් 17ක් පමණ ගමන් කිරීමෙන් හෝ රුහුණු යාල වනෝද්‍යානයේ පිහිටි සිතුල්පව්ව රාජමහා විහාරයට ළඟා විය හැකි ය.

මෙම පුදබිම ඉදිකර ඇත්තේ රුහුණු රට රජකම් කළ කාවන්තිස්ස රජු බවත්, මෙහි දාන ශාලා, ධර්ම ශාලා, උපෝසථ ශාලා, ගිමන්හල්, සක්මන් මළු ඉදිකළ කාවන්තිස්ස රජු දොළොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩමවා සත් දිනක් උත්සව පවත්වා සිතුල්පව්ව සඟ සතු කර පූජා කළ බවත් කියැවේ.

සිතුල්පව්වේ මහ සිතුල්පව්ව සහ කුඩා සිතුල්පව්ව ලෙස හැඳීන්වෙන පර්වත දෙකක් මත චෛත්‍ය දෙකකි. කාවන්තිස්ස රජු කරවූ චෛත්‍ය පිහිටියේ පළමුව හමුවන පර්වතය මතයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම්වලට අනුව මේ චෛත්‍ය රියන් 36ක් උසට බඳවා පිළිසකර කර ඇත. මේ චෛත්‍යයට පරිවාර චෛත්‍ය ලෙස වසභ රජතුමා ඉදිකළ අනෙක් චෛත්‍ය දහයේ අත්තිවාරම් දක්නට ඇත.

මහා සිතුල්පව්වට නැඟෙනහිරින් පිහිටි කඳු ගැටයේ කුඩා සිතුල්පව්ව පිහිටා ඇත. මෙහි ද චෛත්‍ය දෙකක්, ගල් ලෙන්, පොකුණු සහ විශාල ගල් කුඩය ලෙස හැඳීන්වෙන ගල් ලෙනක් දැක ගත හැකි ය.

මෙහි ස්වභාවික ව පිහිටි ගල් ලෙන් රාශියක් සොයා ගෙන ඇත. මෙම පරිශ්‍රය මෙරට කටාරම් කෙටු ලෙන් වැඩිම සංඛ්‍යාවක් ඇති ආරාම සංකීර්ණය වන අතර, සියයකට අධික ලෙන් ප්‍රමාණයක් ඇතැයි ද සඳහන් වේ. ඒවායේ භික්ෂුන් වහන්සේ වැඩ සිට ඇති අතර, සමහර ලෙන්වල එම ලෙන් පූජා කළ අය හා ඔවුන්ගේ තනතුරු නාම ද සඳහන් වේ. සමහර ලෙන්වල චිත්‍ර ද දක්නට ඇත.

සිතුල්පව්ව ලෙන් විහාරය මහා සිතුල්පව්ව කන්දේ බෑවුමක ඉදිකොට තිබේ. එය අඩි 67ක් පමණ දිගකින් සහ අඩි 30ක් පමණ උසකින් යුක්ත ය. එහි ඇති සැතපෙන බුදු පිළිම වහන්සේ අඩි 37ක් පමණ වේ. මේ ලෙනෙහි කටාරමට යටින් ඇඳ තිබු සිතුවම්වල ශේෂ දැක ගත හැකි ය. මේවා අනුරාධපුර යුගයට අයත් ඉතා පැරණි සිතුවම්වල ශේෂ ය. පැහැදිලිව දැක ගත නොහැකි වුවත් මේ සිතුවම් අතර බුදුරජාණන් වහන්සේගේ සිතුවම් දෙකක්, දේව රූපයක්, අතක කොටසක්, මුවකුගේ සහ කවුළුවක සිතුවමක් ආදිය ඇති බව හඳුනාගෙන ඇත. ලෙන් විහාරයේ කොටන ලද කටාරමට පහළ කොටසේ රළු පෘෂ්ඨය බදාමවලින් සුමට කොට, සුදු පැහැය තවරා ඒ මත කහ, ලා රතු, දුඹුරු හා කොළ පාටින් සිතුවම් ඇඳ තිබේ. චිත්‍ර සියුම් ඉරි මඟින් වඩාත් තීව්‍ර කර ඇති බව පෙනේ.

මෙම ලෙන්වල භික්ෂුන් වහන්සේ 24,000ක් වැඩ සිටි බවත්, ක්‍රි.ව. පළමු වැනි සියවසේ දී මෙරට පාලනය කළ වසභ රජතුමා මෙහි ස්තූප 10ක් කරවූ බවත්, ක්‍රි. ව. 659 දී විපුල රජු මෙම විහාරයේ නඩත්තු කටයුතු සඳහා ගමක් පූජා කළ බවත්, දුටුගැමුණු රජු එළාර රජු සමඟ යුද්ධයට යෑමට පෙර මෙහි සිටි භික්ෂුන් වහන්සේට දානයක් පිරිනැමූ බවත් මහා වංශයේ සඳහන් වේ.

පර්වතය පා මුල විශාල ගල් ගුහාවක් ඇති අතර, අතීතයේ එය පිළිම ගෙයක් ලෙස භාවිත කර ඇත. එහි ඇතුළත ඇති ප්‍රතිමා වහන්සේ බෙහෙවින් ම පෞරාණික ය. චිත්‍ර අද වන විට මැකී ගොස් ඇත. මේවා අනුරාධපුර අවසාන භාගයට අයත් යැයි සැලකේ. එමෙන්ම විහාරගෙය අසල ඇති ගල මුදුනේ දාගැබක් නිර්මාණය කර ඇත. දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් පළමුවැනියා වූ නන්දිමිත්‍ර සහ හත්වැන්නා වූ වේළුසුමන විසින් කරවා පූජා කරන ලද ලෙන් දෙකක් ද මෙහි දක්නට ඇත.

මෙම පුදබිමේ පුරාවිද්‍යාත්මක අතින් වැදගත් වටිනාකමක් ඇති පැරණි ස්තූප ලෙන් විහාර සහ බෝධි සත්ත්ව පිළිම ආදිය ද දක්නට ලැබේ. ප්‍රජා ශාලාවක නටබුන් ද වේ. මෙහි ඇති චිත්‍ර ද සීගිරි සිතුවම්වලට වඩා පැරණි යැයි පුරාවිද්‍යාඥයෝ පවසති. සිංහල බෝධි වංශයට අනුව රුහුණු රටේ සිතුල්පව්ව වෙහෙර යනු ක්‍රි. පූ. තුන් වැනි සියවසේ දේවානම්පියතිස්ස රජු විසින් එක්‌ දෙතිස් ඵල බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ ස්ථානයකි.

   
දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment