ශ්රී ලාංකේය ඓතිහාසික ඉදිකිරීම් තාක්ෂණයේ ස්වර්ණමය සලකුණක් සටහන් කරන ලෝවාමහාපාය ලොව පළමු මහල් ගොඩනැඟිල්ල ලෙස ද සැලකේ. අනුරාධපුර ශුද්ධ භූමියේ මහමෙව්නා උයනෙහි පිහිටා ඇති ගල්කණු 1600කින් සමන්විත මෙම චතුරශ්රය ලෝවාමහා ප්රාසාදය වශයෙන් ද හඳුනාගෙන ඇත. මේ සියලු ගල්කණු උසින් එක සමාන ය.
ටැම් මත වූ ටැම්හිස් ඝණ රූප සහ මල් ලියකම්වලින් මෙම ගල්කණු, අලංකාර කර ඇත. දේවානම්පියතිස්ස රජතුමා විසින් මිහිඳු මහ රහතන් වහන්සේ වෙත පූජා කළ මහා විහාර සංකීර්ණයේ පොහොය ගෙය (උපෝසථාගාරය) ලෙස මෙය හඳුන්වයි. මෙම පූජා භූමියේ දේවානම්පියතිස්ස රජතුමා විසින් රිදියෙන් කළ නගුලකින් හාරා සලකුණු කළ බව ද ඉතිහාසයේ සඳහන් වේ. පසුව කලක් වල් වැදී තිබූ මහමෙව්නාව දුටුගැමුණු රජතුමා විසින් යළි ප්රතිසංස්කරණය කර මෙම පොහොය ගෙය උසින් අඩි 200ක් හා පළල අඩි 200ක් වන මහල් නවයක් සහිතව ඉදිකරවා තිබේ. මේ නව මහල් ප්රාසාදයේ පළමු මහල පෘථග්ජන භික්ෂූන් වහන්සේට ද, දෙවැනි මහල ත්රිපිටකධර භික්ෂූන් වහන්සේට ද, තෙවැනි, සිව්වැනි සහ පස්වැනි මහල් සෝවාන්, සකෘදාගාමී සහ අනාගාමී ආර්යයන් වහන්සේට ද වෙන් කරන ලද බවත්, පස්වැනි මහලේ සිට නවවැනි මහල දක්වා රහතන් වහන්සේ වෙනුවෙන් වෙන්ව තිබූ බවත් මහා වංශයේ සඳහන් වේ.
මිහිඳු මහ රහතන් වහන්සේ විසින් වදාළ අනාවැකියක් පරිදි රාජ මන්දිරයේ කරඬුවක බහාලන ලද රන්පතක ලියා තිබූ සටහනක් අනුව ඉදිකරන ලද ලෝවාමහාපායට එම නම ලැබුණේ එහි පියස්ස තඹ ලෝහවලින් වසන ලද හෙයිනි. කාමර දහසකින් යුත් ගොඩනැගිල්ල මුදුනේ කුටාගාර සියයක් ද, ප්රාසාදය මැද මණ්ඩපයක් ද විය. සද්ධාතිස්ස රජ සමයේ දී මෙම සුවිශේෂී ගොඩනැඟිල්ල ගින්නෙන් විනාශ වී තිබේ. පසුව සද්ධාතිස්ස රජු එය නැවත සත් මහලකින් යුක්තව කරවා ඇති බවත්, ඔහුගේ පුත්රයකු වන ඛල්ලාටනාග රජු ලෝවාමහාපාය වටා කුඩා ප්රාසාද තිස් දෙකක් කරවූ බවත් සඳහන් ය.
පසුව භාතිකාභය රජු, ආමණ්ඩ ගාමිණී අභය රජු, ගෝඨාභය රජු, ජෙට්ඨතිස්ස රජු, ධාතුසේන රජු, පළමු වැනි අග්රබෝධි රජු, හතර වැනි අග්රබෝධි රජු, මානවම්ම රජු ලෝවාමහාපාය විටින් විට ප්රතිසංස්කරණය කිරීමට කටයුතු කර තිබේ. දෙවැනි සිරිනාග රජුගේ කාලයේ දී යළිත් මෙම ගොඩනැඟිල්ල ගින්නකින් විනාශ වී ඇති අතර, පසුව මහල් පහක් ඉදි කර තිබේ. පසුව පරාක්රමබාහු රජතුමා මෙම ගොඩනැඟිල්ලෙහි ටැම් 1600ක් යළි ස්ථාපනය කර එහි ඉදිකිරීම් ද අඩකින් නිම කර තිබේ. වර්තමානය වන විට අපට දැක ගැනීමට ඇත්තේ එම ස්තම්භයන් ය. මෙම ගොඩනැඟිල්ල ඉදි කිරීමට කිතුල් හෝ තල් හෝ දැව භාවිත කළ බව ද අනාවරණය වී තිබේ. භික්ෂුන්ගේ පොහොය ගෙයක්, අවාසයක්, ධර්ම ශාලාවක් හා බුදු ගෙයක් ද වශයෙන් මේ මහා ප්රාසාදය භාවිත කර තිබේ.
