පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් වෙන් කෙරෙන සීමාවේ මෙන් ම සෝමවතිය ජාතික වනෝද්‍යානයේ මහවැලි ගඟ ආශ්රිත ව පිහිටා ඇති සෝමවතිය පුදබිම පූජනීය බෞද්ධ සිද්ධස්ථානයකි.
බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කර ඇති මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ කාවන්තිස්ස රජුගේ සොයුරිය වූ සෝමා දේවිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා වූ ගිරිඅබා (ගිරිභණ්ඩ) රජු විසින් කරවන ලදැයි සැලකේ.
අරිට්ඨ නම් මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවත ආ මහාදේව මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහින්ද මහ රහතන් වහන්සේ තමන් ළඟ තිබූ දකුණු දළදා වහන්සේ ගිරිඅබා රජුට පරිත්‍යාග කළ බවත්, මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ සියලු කටයුතු සෝමවතී දේවියගේ මූලිකත්වයෙන් කළ නිසා තම දේවියගේ නමින් සෝමවතී චෛත්‍ය ලෙස නම් කළ බවත්, පසුව මහින්ද මහ රහතන් වහන්සේ ප්‍රධාන සැට නමක් රහතන් වහන්සේට මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ පූජා කළ බවත් සඳහන් ය.
පාලි ධාතු වංශය, සිංහල ධාතු වංශය, ජිනකාලමාලිනිය යන ඓතිහාසික ග්රන්ථවලින් ද, පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් ද සොයා ගත් නටබුන් සහ සෙල්ලිපිවලින් සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ පිළිබඳ තෙරතුරු රැසක් හෙළිව තිබේ.
සකල විහාරාංගවලින් යුක්ත වූ මෙම සිද්ධස්ථානය සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ මණිඅගිය යනුවෙනි. අනගි මැණික යන්න එහි අර්ථයයි. පොහොය ගෙවල්, විහාර, සක්මන් මළු, භාවනා කුටි, පැන් පොකුණු සහ පුෂ්පාරාම ආදියෙන් මෙම පුදබිම සමලංකෘත ව තිබූ බව ද කියැවේ.
මහවැලි ගඟට නැඟෙනහිරින් පිහිටි සෝමවතී පුදබිම කාලයාගේ ඇවෑමෙන් වර්තමානය වන විට පවතින්නේ මහවැලි නදියට මෙපිටිනි. එයට හේතුව මහවැලි ගඟ ගලා බසින ආකාරය වෙනස් වීමයි. වර්තමානය වන විට සෝමවතී සෑය වෙත යන මාර්ගය වැටී ඇත්තේ ද පැරැණි මහවැලි ගඟ ගැලූ ප්‍රදේශය හරහා ය.
කලක් වල්බිහිව තිබූ මෙම පුදබිම 1947 දී සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන් විසින් සොයා ගත් අතර, වන සතුන්ගෙන් ගහණ ව පැවති මෙම පුදබිමට පැමිණීමේ දී වනයේ අතරමං වූ බව ද කියැවේ. පසුව උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය ආරම්භ වී තිබේ. පසුව සෑයේ වැඩ කටයුතු අවසන් වෙමින් තිබියදී 1991 ජූලි මස 04 වැනි දා කේතු පලන්දන මහෝත්සවයට පැමිණි පිරිස විශ්මයට පත් කරවමින් සෝමවතී මහ සෑයෙන් බුදුරැස් විහිදෙන්නට පටන් ගෙන තිබේ. එම දර්ශනය විනාඩි හතළිස්පහක පමණ කාලයක් ද පැවති බව සඳහන් ය.
නැවතත් 1983 දී ජූලි කලබලවලින් පසුව සෝමවතිය හුදෙකලා වුව ද එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේ පැවති දැඩි දුෂ්කරතා මධ්‍යයේ ද චෛත්‍ය රාජයාණන් වහන්සේට වන්දනාමාන කටයුතු නොකඩවා සිදු කර තිබේ. මෙම පුදබිම වෙනුවෙන් තම ජීවිතය ම පූජා කළ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් පසුව එහි භාරකාරත්වය දරා ඇත්තේ පහමුණේ ශ්‍රී ගුණානන්ද හිමියන් සහ පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් විසිනි. උන්වහන්සේ ද මෙහි අභිවෘද්ධියට අප්‍රමාණ කැපවීමක් සිදු කර තිබේ.
නොයෙක් වර කොටි ත්රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ද මෙම සෑය ලක්ව තිබේ. සෝමවතී චෛත්‍යයෙන් හමු වූ සෙල්ලිපිවල අක්ෂර ස්වරූපය, භාෂා ලක්ෂණ, ව්‍යාකරණ රීති ආදියත්, චෛත්‍ය රාජයාණන් වහන්සේ ගොඩනඟා ඇති ගඩොල්, ඒවාට යොදා ඇති බදාම සහ ගඩොල්වල කපා ඇති කැටයම් අනුවත්, මලසුන්ගෙවල්, ප්‍රාකාර බැමි, තිරුවන ගල්වලට සමාන ගල්වලින් නෙලූ සඳකඩ පහන්, හස්ති රූප, සිරිපා සටහන්, ගල් කුලුනු හා පෝය සීමා ආදියත් දෙස බැලීමෙන් මෙම සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ වසර 2100කට වඩා ඉපැරැණි බව හෙළිව තිබේ.
දිල්හානි ජයවර්ධන