ජීවිත කාලය තුළ මුහුණ දෙන විවිධ සිදුවීම් සහ අවස්ථා ඇසුරින් ලබන අත්දැකීම්, ජීවිතාවසානය දක්වාත් පැනනැඟෙන ගැටලු, අභියෝග ඉදිරියේ ඒවාට හොඳීන් මුහුණ දෙන්නට ඇවැසි ශක්තිය ලබා දෙයි. තමන් විසින්ම ලද අත්දැකීමක් නොවුණ ද පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ තුළ එන විවිධ චරිත ස්වභාවයන් සහ ඒ චරිතයන්හි හැසිරීම් තුළින් ලබා දෙන ආදර්ශයන් ද අපගේ ජීවිතය ඉහළින් ඔසවා තබන්නට සමත් මිණිමුතු සේ ය.
ධර්මපාල ජාතක කතාව ඒ අතරින් සුවිශේෂී ය. පෙර බරණැස් නුවර ධර්මපාල නම් සිටුවරයෙක් විය. නමින් පමණක් නොව ක්‍රියාවෙන් ද දැහැමි පුද්ගලයෙක් වූ ඔහුගේ පවුලේ සමීපතමයන්, දැසි දස්සන් පවා, අසල්වැසියන් පමණක් නොව ගම්වැසියන් පවා දැහැමි ය. කලෙක මේ සිටුවරයා සිය බාල පුතණුවන් ශිල්ප ඉගෙනීම පිණිස දිසාපාමොක් ඇදුරුතුමා වෙත යැවීය. පුත් කුමරු ද හොඳීන් ශිල්ප උගත්තේ ය. ටික දිනකින් ඇදුරුතුමාගේ කුඩා පුතු රෝගී විය. එය උත්සන්න වී ටික දිනකින් මරණයට පත් විය. ධර්මපාල බ්රාශ්මණයාගේ පුතාට එය ගැටලුවකි. කුමරා කිසිසේත් ම ඒ මරණය නොපිළිගත්තේ ය. ඇදුරුතුමා මේ ගැන විමසූ විට ඔහු කීවේ අපේ පවුල්වල අය බාල කල නොමැරෙති කියා ය. දිසාපාමොක් ඇදුරුතුමා මෙහි ඇත්ත නැත්ත සොයන්නට සිතුවේ ය. ටික දිනකින් සත්ත්ව ඇට කැබැල්ලක් පසුම්බියක ලාගෙන ධර්මපාල සිටු හමුවීමට ගියේ ය.
“හදිසි ව්‍යාධියක් නිසා ඔබ පුතු මිය ගියේ ය.” යැයි ශෝකීව පැවසීය. සිටුතුමා එය නම් විහිළුවකැයි සිනහවෙන් බැහැර කළේ ය.
“අපේ දරුවන් බාල කාලයේ මිය යන්නේ නැතැ” යි කීවේ ය. එවිට ඇදුරු තෙම මල්ලෙහි ලා තිබූ ඇට කැබැල්ල පෙන්වා දැන්වත් පිළිගත හැකි දැයි ඇසීය. එවිට ද සිටුවරයා සිනාසී කීවේ මේ එළුවකුගේ හෝ සුනඛයකුගේ හෝ ඇටයක් විය හැකි ය. අපේ දරුවෝ එසේ නොමියෙති. යනුවෙනි.
දිසාපාමොක් ඊට හේතු විමසීය.
“අපේ පවුල්වල අය පස් පව් නොකරති. අකුසල් නොකරති. දස කුසල දහම් හි ම පිහිටති. දානාදී පින්කම් කරමින් ධර්මයෙහි හැසිරෙති. ඒ නිසා කිසිවෙක් බාල කාලයේ නොමියෙති. බ්‍රාහ්මණ තෙමේ පැහැදිලි කළේ ය.
ඔබගේ පුතා සුව සේ වෙසේ. මා පැමිණියේ ඔබ විමසීමටයි. කී ඇදුරුතුමා සමාව ඉල්ලා ඒ පවුලේ අයගේ දින චර්යාව ද අසා ලියා ගත්තේ ය.
එදා ඇදුරු ලියා ගත් ඒ දින චර්යාව අද අපේ සමාජයට ද මහඟු මිණකි. අද පුංචි දරුවාගේ සිට මැදි වයස දක්වා අකාලයේ මිය යන අය ගැන අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ. ඇතැම් කෙනෙක් බෝ නොවන රෝගවලින් පීඩිත ජීවිතය ගැන බියෙනි. බෝ වන වසංගත රෝග ද බහුල ය. ඇවතුම් පැවතුම් අයහපත් වන තාක් අපේ ජීවිතයට සොබා දහමේ ආශීර්වාදය පවා නොලැබේ. වෛරයෙන්, ක්‍රෝධයෙන්, අධික තණ්හාවෙන්, මානයෙන් ආදී කෙලෙස්වලින් සිත අපිරිසිදු කර ගන්නා තාක් කය ද රෝගී වේ,
පන්සිල් තුළ, දස කුසල ධර්මයන් තුළ අපගේ සිත, කය, වචනය යන ත්‍රිවිධ ද්වාරය ම පිරිසිදු වේ. දානාදී පින්කම් දෙලොව ජීවිතයට ම ආශීර්වාදයකි. මෛත්‍රිය, දයාව, කරුණාව ආදී හැඟීම් ලේ ධාතුව පිරිසිදු කරයි. ධර්මයෙන් ජීවත් වන පුද්ගලයා ධර්මයෙන්ම ආරක්ෂා කරන බව දැන ජීවිතය පවත්වමු. එවිට මේ ජීවිතය ගැනත්, පරලොව ගැනත් බියක් නොදැනේ.