සම්බුදු දහමේ පරම නිෂ්ඨාව උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම ය. එසේ වුවද විවිධ බන්ධනයන්ගෙන් ගැට ගැසී පංචකාමයෙහි ගිලී සිටිනතාක් ඒ උතුම් අරමුණට ළඟා විය නොහැකි ය. ඒ සඳහා ශික්ෂණය අත්යවශ්යය. ශිෂ්ණය කර ගත යුතු ප්රධාන අංග තුනකි. ඒ, සිත, කය සහ වචනයයි. මේ ත්රිවිධ ද්වාරය හික්මවා ගැනීමට නම් අප්රමාදි විය යුතු ය. විශේෂයෙන් සිත සංවර කිරීම පහසු නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ සිත කුළු මීහරකකු වැනි බවය. කළු මීහරකා මෙල්ල කිරීම අපහසුය. වෙහෙසිය යුතු ය. සිත ද එවැනි ය.
විශේෂයෙන් ගිහියා පස්කම් සැප වින්දනය කරන්නෙකි. අනේකවිධ බන්ධන සහිත වුව ද සමාජ හරපද්ධතීන්, බෞද්ධ සාරධර්ම රැක ගැනීම ඔහු සතු විසල් වගකීමකි. බෞද්ධ සමාජයක ඒ ගුණ සුවඳ විහිදිය යුතු වුව ද, දර්ශනය විය යුතු වුව ද අප ජීවත්වන සමාජයේ ඒ සාර ධර්ම වේගයෙන් සෝදාපාළුවට ලක්වන සැටි අත්විඳිමු.
වැඩි පිරිසක් උත්සාහ ගන්නවා පෙනෙන්නේ අනුන්ගේ වැරදි දකින්නට ය. ඇතැම් පැවිදි – ගිහි දෙපාර්ශ්වය ම තුළ මේ දුර්ගුණය වේගයෙන් ව්යාප්ත වන බව සමාජ සංසිද්ධීන් තුළින් ගම්ය වෙයි. උඩබලාගෙන කෙළ පිඩක් විසි කළේ නම් එය නො අනුමානව ම වැටෙන්නේ තමන්ගේ ම මුහුණට ය. අනුන්ට කරන ගැරහිලි, විවේචන, අපහාස, උපහාස, නොපනත්කම් ද එවැනි ය.
දිනෙක ඒවා තමන් කරාම එයි. ඒ වේශයෙන් ම හෝ වෙනත් ආකාරයකින් ඒ කර ගන්නා කර්මයන්හි පල විඳින්නට ම සිදුවෙයි. ඒ තැනට වැටුණු පසු දුකට කනගාටුවට, පශ්චත්තාපයට පැමිණී ම නිෂ්ඵල ය. තමන්ට පිහිට තමන් ම ය. තමන්ගේ රැකවරණය සලසා ගත යුතු තමන් ම ය. එහෙයින් අනුන්ට ඇඟිලි දිගු කරමින්, අනුන්ගේ වැරදි, අඩුපාඩු දකිමින් තමන් දැවෙනවාට වඩා, තමන්ගේ සිත දූෂිත කර ගන්නවාට වඩා තමන්ගේ වැරදි, අඩුපාඩු හඳුනා”ගන්නට, ඒවා නිවැරැදි කර ගන්නට දරන උත්සාහයේ මහත්ඵල වින්දනය කළ හැකි තමන්ට ම ය. එය තමන්ගේ මේ ජීවිතයේත්, පරලොව ජීවිතයේත් යහපත, දියුණුව පිණිස වන්නේ ය. තමන් යහපතෙහි අප්රමාදී වීම තුළ පවුල, අසල්වැසියන්, ගම, විවිධ සමාජ කණ්ඩායම් තුළින් වර්ධනය වන සාර ධර්ම රටක් බබළවයි.
ශ්රී සද්ධර්මය අපට මඟ පෙන්වන්නේ ඒ තැනට අපේ සිත හදා ගැනීමටයි. මැණික් ගලේ පය හැපුණත් කණා එය අහුලා නොගන්නා සේ ශ්රී සද්ධර්මය ජීවමාන කලෙකත්, ඒ දහම නොසලකා හරිනවා නම්, නාමික ආභරණයක් ලෙස පමණක් භාවිත කරනවා නම් එය තමන් විසින් තමන්ගේ ම ජීවිතයට කර ගන්නා අපරාධයකි. විශේෂයෙන් ගිහියන් ලෙස අපගේ ශික්ෂණය සඳහා පන්සිල්, අටසිල්, දසසිල් ආදී සීල සමාදනය සේ ම එය තමන්ගේ ප්රාණය හා සරිව ප්රතිපත්තියක් ලෙස ආරක්ෂා කිරීම විසල් වගකීමකි.
ප්රාතිමෝක්ෂ සංවර ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය, ප්රත්ය සන්නිගි්රත ශීලය ආරක්ෂා කරමින් වෛරය වෙනුවට මෛත්රිය, සමඟිය, එකමුතු බව, ඉවසීම, කරුණාව, දයාව, දානය, කීකරුබව වැඩිහිටියන්ට සැලකීම ආදී අනේක උතුම් ගුණයෙහි අප්රමාදී වන්නට හැකි නම් රාග, ද්වේශ, මෝහ ආදී අකුසල් මූල සිඳ දමමින් උතුම් නිවන් මඟට සමීප වන්නට බෞද්ධයාට හැකි වනු ඇත.