බුදුරජාණන් වහන්සේ ගිහියාට අනුදැන වදාළ පංචශීලය ජීවිතයට රැකවරණය දෙන, ජීවිතය ඉහළට ඔසවා තබන අපූර්ව ප්‍රතිපදාවකි. එහෙත් ලෝභ, ද්වේෂ, මෝහා දී අකුසල මූල බලවත් වීම නිසා සුළු දෙයක් අත්පත් කර ගනු පිණිස තමන් සතු උතුම් ගුණ පහතට ඇද දමන අය අප අතර බොහෝ ය.
විශේෂයෙන් වැඩිහිටියන් අතර මේ අවගුණය බහුල ය. ඒ ආදර්ශය ගන්නා බාල පරපුර ද ඒ මඟම යෑම වැළැක්විය නොහැකි ය. එහෙයින් තමන්ට අර්ථ සිද්ධි සලසාගෙන, අනුන්ට ද ආදර්ශ ලැබෙන ලෙස ජීවිතය පවත්වා ගන්නට යම් කෙනකුට හැකි නම් හෙතෙම මේ ජීවිතයක් සාර්ථක කර ගෙන, පරලොව ද සුඛිත මුදිත කර ගන්නෙක් බවට පත්වේ.
අල්ලස, දූෂණය, වංචාව, වැරදි වෙළෙඳාම් ආදී අනේක අනර්ථ ක්‍රියාකාරකම් හි නිරතව තමන්ගේ මුළු ජීවිතයෙන් ම වන්දි ගෙවන්නට සිදුවන, සිරබත් කන්නට සිදුවන, අපකීර්තියට, අපහාසයට පත්වන අය ගැන අද අපට අන් කවරදාටත් වඩා අසන්නට ලැබේ. වංචාවෙන්, කපටිකමින් මොනතරම් භෞතික සම්පත් ගොඩගසා ගත්තද, කීර්ති ප්‍රශංසා ලබා ගත්තද දිනෙක ඒවා හෙළිවූ කල වන ලජ්ජාව, බිය අපමණ ය. වරද වරද ම ය.
සුළුකොට තැකිය යුතු නැත. යම් හෙයකින් නීතිය ඉදිරියේ වරදකරුවකු නොවුණද වැරදි කළ තැනැත්තාට තම හෘදය සාක්ෂියෙන් ගැලවිය නොහැකි ය.
අප ජීවිතය ආපස්සට ඇද ගන්නේ, පහතට හෙළන්නේ සුළු දෙයක් අත්පත් කර ගන්නට මහත් දේ කැප කරමිනි. එහි බරපතළකම හා හිස්බව දැනෙන්නේ නැති දේ සොයන්නට ගොස් හිමි දේත් අහිමි වූ කල ය.
කලෙක මහා යසස් ඇති ව, කීර්තිය ඇති ව, අන්‍යයන්ගේ ආදරයට, ගෞරවයට, සැලකිල්ලට ලක්වූ අය ඒ සියලු දේ අහිමි කරගෙන අන්ත අසරණ වන සැටි සමාජ ජීවිතයේ දී ඇස ගැටෙන අවස්ථා දුලබ නොවේ.
අපේ ජීවිතය දුකට හෙළන එවැනි සිතිවිලි, ක්‍රියාකාරකම් පාලනය කර ගන්නට අපේ බෞද්ධ සාහිත්‍යයේ එන ජාතක කතා පොත් වහන්සේ මා හැඟි පරිශීලනයකි. සෝපාහාසය සේ ම හද අනුකම්පාවද දනවන කලාය මුට්ඨි ජාතකය ඉදිරිපත් කරන අපූර්ව පණිවිඩය අපේ ජීවිතවලට දෙන ආදර්ශය, සදූපදේශය සුළුවෙන් තැකිය නොහැකි ය.
එක් කලෙක බරණැස් රජු සොරුන් මඩිනු පිණිස පසල්දනව්වක කඳවුරු බැඳ ගනී. අස්ගොව්වෝ රජුගේ අසුන්ට ආහාරය පිණිස ඔරුවක බහා තැබූ තැම්බූ කඩල දුටු රිලවෙක් එහි ගොස් කඩලවලින් කට පුරවා ගත්තේ ය. අත් දෙක ද පුරවා ගෙන ගසට නඟින්නේ, කඩල ඇටයක් බිම වැටුණි. කඩල ඇටයක් දෑතින් ගිලිහී බිම වැටෙනු දුටු රිලවා අත්දෙකෙහිත් කටෙහිත් පුරවාගෙන සිටි කඩල සියල්ල බිම දමා බිම වැටුණු කඩල ඇටය සොයන්නට වන්නේ ය. ඒ උත්සාහය ව්‍යර්ථ වූයේ ය. නඩුවකින් පැරදුණූ අයකු සේ දුර්මුඛ වූ රිලවා ශෝකයෙන්, දුකෙන් බලා උන්නේ ය.
අපේ බොහෝ අයට සිදුවන්නේ ද රිලවාට වූ දේ හා සමාන අවස්ථාවන්ට මුහුණ දෙන්නට ය. එහෙත් ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකි ය. එහෙයින් පනින්නට පෙර සිතා බැලිය යුතු ය. මිනිසාට සිතන්නට හැකි මනසක් උරුමව තිබෙන්නේ ඒ සඳහා ය.