සතිය කියන වචනය ප්‍රායෝගික උදාහරණ ඇතිව විවිධ පැතිකඩ වලින් කියල දෙන්න උත්සාහ කරන ලිපි පෙළක් තමයි මේ ඇත්තන් අතට මේ විදිහට පත් වෙන්නේ. තවමත් අපි කියා දෙමින් සිටින්නේ සති මාත්‍රය කියන මාතෘකාව. නමුත් එහි ගැඹුරු පැත්තකට යොමු කරන ඉරියාපථ සන්ධි ගැනත් පසුගිය ලිපියක අපි කතා කළා.
මේ විදිහට පාලි භාෂාවෙන් සතිය ලෙසත්, සිංහල භාෂාවෙන් සිහිය ලෙසත් හඳුන්වන වර්තමාන මොහොතේ හිත පවත්වා ගෙන යාම කියන පුහුණුව තුළ මේ මොහොතේ මුහුණ දෙන්නේ දුකක් කරදරයක් වුණත්, සතුටක් සැනසීමක් වුණත්, ලාභයක් පාඩුවක් වුණත්, නින්දාවක් ප්‍රශංසාවක් වුණත් ප්‍රතික්‍රියා නොකර ඒ දෙස බලා සිටීමට පුරුදු කිරීම තමයි අපි ටික ටික මේ පැහැදිලි කරමින් යන්න උත්සාහ කරන්නේ.
එම අරමුණ ඉලක්ක කර ගෙන මේ දක්වා පළ කළ ඒ පණිවිඩ ටික හොඳීන් කියවා ගත්ත, ඒ සඳහා උත්සාහයක යෙදුණ කිසියම් කෙනෙක් ඇත්නම් අපට කියන්න පුළුවන් සතිය කියන්නේ මහා රූස්ස ගහක් නම් ඒ ගස හදා ගැනීමට මූලික වෙන සතිය කියන බීජය මේ අය තුළ පැළ වෙලා තියෙනවා කියලා. එකම බීජ වර්ගය වුණත් හැම තැන ම එක විදිහට පැළ වෙන්නේ නැතුවා වගේ මේ සති බීජයත් හැම කෙනා තුළ ම සමාකාර ව පැළ වෙන්නේ නෑ. එක එක්කෙනා වටහා ගන්නා ප්‍රමාණය වගේ ම අත්හදා බැලීමේ සාර්ථකත්වයත් වෙනස්. නමුත් ඕනෑම කෙනෙක් තුළ යම් ප්‍රමාණයකින් පැළ වුණ සති බීජය තවදුරටත් විවිධ දිශාවලට යොමු කරමින් විවිධ අර්ථකථන එකතු කරමින් ජීවිතයට වැඩදායී ලෙස කර ගෙන යාමට උදව් උපකාර කිරීම තමයි ඉදිරියටත් අපේ බලාපොරොත්තුව.
මතක තියා ගත යුතු කාරණාවක් තියෙනවා. සතිය කියන බීජය තාම පැළ කරපු නැති අයට සතිය කියලා දෙන විදිහයි, දැනට යම්කිසි ප්‍රමාණයකට සති බීජය පැළ වෙලා තියෙන කෙනකුට කියන විදිහයි අතර වෙනසක් තියෙනවා. ඒකත් හරියට බෝග බීජයක් පැළවෙන විට කළ යුතු සාත්තුව සහ පැළ වීමෙන් අනතුරුව කරන සාත්තුව වාගෙයි. පැළ වුණාට පසුව කරන සාත්තුව, පැළ වෙන්න කලින් කිරීමෙන් බීජයට වගේම, කරන්නාටත් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.
අපි පසුගිය කාලයේ කතා කර ගත්ත රාමුවට අනුව, “මම දැන් මෙතන” කියන උපමානය ඉදිරියෙන් තියාගෙන, වාඩිවෙලා ඉන්න ඉරියව්ව දිහා බලා ගෙන ඉන්න වෙලාවක පුළුවන් තරම් සියලු ම විචල්‍ය සාධක තැන්පත් වෙන්න අවශ්‍ය ප්‍රශස්ත හොඳම තත්ත්ව දීලා සතිය, නැත්නම් වර්තමාන මොහොතේ සිදුවෙන දේ ගැන බලනවා කියලා මේ ඇත්තන් හැමෝම දන්න කරුණක්. ඊළඟට පොඩි අභියෝගයක් විදිහට විචල්‍ය සාධක සමහරක් නිදැල්ලේ පවත්වන්න ඉඩ දීලා ඇවිදින ගමන් මේ කයට මොනවද දැනෙන්නේ කියලා බලන වෙලාවක යටි පතුලට දැනෙන විදිහ කයේ බර කකුලෙන් කකුලට මාරු වෙමින් යන හැටි, නැත්නම් ගමනේ දී පය එසවෙන, පැද්දෙන, තියන ආකාරය අවධානයට ලක් වෙන හැටි නිරීක්ෂණය කරන නමුත් මෙහි දී විචල්‍ය සාධක අවම වෙන විදිහට ඇවිදින විටත් කෙලින් පාරක, බාධක නැති තැනක ශබ්ද අඩු තැනක වගේ ප්‍රශස්ත තත්ත්ව යටතේ පුහුණු වෙන්න කියලා උපදෙස් දෙන බව මේ ඇත්තන්ට අලුත් දෙයක් නොවෙයි. ඒ වගේම විචල්‍ය සාධක කිසි දෙයක් පාලනය නොකර එදිනෙදා වැඩ කරන කොට, ක්‍රීඩා කරන කොට කොහොමද මේ කයට දැනෙන්නේ කියලා හොඳ අවධියෙන් බලාගෙන ඉන්න වෙලාවටත් අපි උපදෙස් දෙන්නේ තෝරා ගත් සරල ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා විතරක් මේ සඳහා යොදා ගැනීමටයි. ඒවා සෙමින්, සිහියෙන්, නිශ්ශබ්ද ව කළ හැකි දේ වීම සුදුසු බව අවධාරණය කළා මේ ඇත්තන්ට මතක ඇති.
අද පාඩම සඳහා උදාහරණ ලෙස කවුරුත් කැමති සතිමත් ඇවිදීම ඉදිරියෙන් තියා ගත්තොත්, තැනිතලා පොළොවක ඇද නැති පාරක, ගල් බොරළු නැති තැනක, සපත්තු සෙරෙප්පු නැතුව ඇවිදින කොට සතිය විවිධාංගීකරණයක් වෙනවා. ඇස් දෙක විවෘත නිසා විවිධ දේ ඇස ගැටෙනවා. ඉඳගෙන ඉන්නවා වගේ නොවෙයි කය කර්මන්‍යයයි. ඇවිදින කයට මද සුළඟ දැනෙනවා. ස්වභාවික පරිසරයක් නම් කුරුලු ශබ්ද ඇහෙනවා වෙන්නත් පුළුවන්. මෙන්න මේ වෙලාවේ සතියට මොකක්ද වෙලා තියෙන්නේ කියලා විමසිලිමත් වුණොත් මේ අත්දැකීම හරහා සතිමත් වුණා ද, නැද්ද කියලා විස්තර කිරීමට මේ පිරිසට අපහසු වෙන්න පුළුවන්.
මේ සඳහා අපට ප්‍රයෝජනයට ගන්න වෙන්නේ කිසිම ක්‍රියාවක් නොකර වාඩි වෙලා ඉන්න කොට සතිය වැටහෙන්නේ මෙහෙමයි. නමුත් එක ක්‍රියාවක නිරත වී ඇති විට සතිය වැටහෙන්නේ මෙහෙමයි කියලා වෙනස හෙළි කර ගැනීම සහ එය විස්තර කිරීමයි. මේ හැකියාව සතිමත්කම එක්කම කෙනෙක් තුළ ඇති වෙනවා. ඒ කියන්නේ තමන් අත්විඳීන දේ, අත්දකින දේ තමන්ට වැටහෙන ආකාරයට හෙළි කළ හැකි බව කුසලතාවක්. ඒක සතිය වඩන විට තමන් තුළ වර්ධනය වෙන කුසලතාවක්.
සමහරකුට මේක ඉක්මනින් ඇති වෙන නමුත් තවත් කෙනකුට ක්‍රමයෙන් සෙමින් ඇතිවිය හැකියි. මේ හැකියාවට කියන තාක්ෂණික වචනය ව්‍යක්ත භාවය යි. ව්‍යක්ත කියන්නේ තමන්ට වැටහිච්ච විදිහට ම ඒක හෙළි කර ගන්න පුළුවන් බව. මොකද හුඟක් දෙනෙක් මේවා කියන විට අතිශයෝක්තියෙන් කතා කරනවා. වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න දන්නේ නැහැ. වුවමනාවට වඩා වැඩියෙන් සිදුවීම ලස්සන කරන්න හදනවා. එහෙම නැත්නම් බාගෙට කියලා නතර කරනවා. ඔය දෙකට ම නැතුව නිවැරැදිව හෙළි කිරීම සතියත් එක්කම වැඩෙන දෙයක් කියලා නො දැන හිටියොත් මට වැටහෙන්නේ නැහැ කියලා අත් හැර දාන්නත් පුළුවන්. නමුත් මතක තියා ගන්න මේ හෙළි කිරීමේ කුසලතාව සතියත් එක්කම වැඩෙනවා.
තමන් තනියම කරන වැඩක් එක්ක සතිමත් වෙන්න උත්සාහ කරන කෙනෙක් දත් මදින, කෑම කන වගේ තනියම කරන වැඩ කටයුත්තක් ඒ සඳහා යොදා ගැනීම හොඳයි කියලා මේ පිරිස දන්නවා. එතකොට ප්‍රයෝජනවත් වැඩක් සිදු කරන අතර සතිය පවත්වන්න ඕනෑ. ඒ විතරක් නොවෙයි, ඒක ලස්සනට විස්තර කරන්න හැකි වෙන්නත් ඕනෑ.
බත් කන කොට දිව හපා ගන්නෙ නැතුව, බත් හැම තැන ම විසුරුවා ගන්නේ නැතුව, සිහියෙන් කෑවොත් තමයි වැඩේ හරියට වුණා කියන්න පුළුවන්.
දත් මදින කොට තුවාල කර ගන්නේ නැති ව, දත් හොඳීන් සුද්ධ වෙන විදිහට වැඩේ කරන්න ඕනෑ. මේ නිසා ඒ වගේ වෙලාවට සතිය පිහිට වන විට ඇවිදින සහ ඉඳගෙන ඉන්න ඉරියව්වට වඩා වෙනස් ස්වභාවයක් තමයි තියෙන්නේ. මේකට භාවනාව කියා කියන්න නම් බැරි වෙනවා තමයි. නමුත් ඒකට සතිය පිහිටුවීම කියලා කට පුරා කියන්න පුළුවන්. ඒකට ආගම්, ජාති, කුලමල භේද, උස් මිටි කම් කිසිවක් අදාළ වෙන්නේ නැහැ. ඕනෑම කෙනකුට කර ගෙන යන්න පුළුවන්.
කෙසේ නමුත් එහෙම පුද්ගලික වැඩ කරන ගමන් වගේම, සමූහයක් වශයෙන් එකතු වෙලා ක්‍රීඩාවක් කරන කොට සතිය පැවැත්වීමෙන් පුදුම ආකාරයට මේ පුද්ගලයා තුළ මානසික කුසලතා වර්ධනයක් සිද්ධ වෙනවා. විශේෂයෙන් නවීන විද්‍යානුකූල සොයා ගැනීම් පෙන්වා දෙන්නේ සන්නිවේදනය, නායකත්ව ලක්ෂණ, තීරණ ගැනීම, ප්‍රශ්න විසඳීම වැනි කුසලතා වර්ධනය වෙන බවයි. මේවා එදිනෙදා වැඩවල දී ඵලදායී වෙනවා වගේ ම තමන්ගේ සතිය වර්ධනය කර ගැනීමට ලොකු පිටිවහලක් වෙනවා. ඒ තව පිරිසකට නායකත්වය දීමට, බාහිර ප්‍රශ්න විසඳීමට වඩා එහා ගිය, තමන් වෙනුවෙන් කර ගන්නා ක්‍රියා සඳහායි. තමන්ට සුදුසු තීරණ ගැනීමට වග වීම, තමන්ගේ වැඩවල දී තව කෙනකු මත යැපෙන්නේ නැතිව ස්වාධීන වීම, සැකයට වඩා බුද්ධියෙන් තීරණ ගැනීම ආදියට මේ මානසික කුසලතා හේතු වෙනවා.
සතිය වර්ධනය වෙන්න මේ කිව්ව ඉඳගෙන, ඇවිදිමින්, වැඩ කරමින් සහ ක්‍රීඩා කරමින් කියන පුහුණුවට අමතරව තව ගොඩක් පැතිකඩ තියෙනවා. ඒ පැතිකඩ හරහා සතිය හෙළිදරව් කරන කර්තව්‍යයේ ඉදිරියෙන් ම සිටින්නේ පොඩි දරුවන්. ඒ අය තමන්ට ආවේණික ක්‍රම සොයා ගන්නවා.
මෙලෙස විවිධ ආකාරයට සතිමත් වීම කරගෙන යාමෙන් දවසේ වැඩි වේලාවක් සතිමත් වීමට අවකාශ ලැබෙන නිසා පුදුමාකාර විදිහට සතිය වර්ධනය වෙනවා. තාක්ෂණික ක්‍රමවලට අනුව පුහුණුව කිරීම හරියට නිවෙසකට අත්තිවාරම වගෙයි. ඒ අත්තිවාරම උඩ සොයා ගන්න නව ක්‍රම සහ විධිවලින් තමයි සතිය වැඩෙන්නේ.
කාටවත් බලෙන් තව කෙනකුගේ ඔලුවට රිංගන්න පුළුවන් කමක් නැහැ. ආරම්භයේ දී ගුරුවරුන් යම් තරමකට බලපෑම් ටිකක් කරනවා තමයි. ඒ හැමදෙයක් ම කරන්නේ නවකයා අතරමඟ අතහැර යන එක වළක්වා, නියමිත ක්‍රම සහ විදි කියා දීමෙන් අත්තිවාරම ශක්තිමත් කිරීමට පමණයි. නමුත් ඊට පසුව සතිය වැඩීම තමන්ට ප්‍රිය මාතෘකාවක් වීම හරහා තමා තුළින් ම ඇතිවෙන මෙහෙයවීම අනුව කරගෙන යාමේ දී වඩා ලස්සනක්, සෞන්දර්යයක්, ඉදිරියක් ඇති වෙනවා.
තමන්ට වෙච්ච දේ, තමන් වෙත එන තව කෙනකුට කියලා දෙන විට මේ අත්දැකීම් ඒත්තු ගැන්වීම සඳහා හොඳ සන්නිවේදන ශක්තියක් අවශ්‍ය වෙනවා. අපි කිව්වට, අහන කෙනාට තේරෙන්නේ නැත්නම් ඒක නිකම් ගලකට වතුර වක්කරනවා වගේ. ගලක් උඩ බීජ පැළ කරනවා වගේ. තේරෙන විදිහට කියලා දෙන්න, ඒ තේරෙන විදිහ තේරුම් ගන්න නම් පසුගිය සතියක ඉගෙන ගත්ත ඡ්ථධබඪධදචත ඹ්ඪබඥපචජර කියන කුසලතාව වැදගත් වෙනවා. කියන්නා, අසන්නාගේ මානසිකත්වයට සම වී ආධුනික මානසිකත්වය අඳුරගෙන මම දන්නෙත් පොඩ්ඩයි කියන නිහතමානීකම පවත්වා ගෙන කියා දීම අවශ්‍යයි. කොහොම නමුත් තමන් දන්න දේ තව කෙනකුට සන්නිවේදනය කිරීමට කොහොමද අපි කතා කළ යුත්තේ කියන කාරණය ගත්තොත් මම හිතනවා ඒක නායකත්ව පුහුණුව පිළිබඳ අත්‍යවශ්‍ය ම කොටසක් කියලා. ඒ වගේ ම ජීවිතය සංවිධාන කර ගැනීම පිළිබඳ මූලික අවශ්‍යතාවලින් එකක් කියලා. ඒ ශක්තිය තියෙනවා නම් විභාගවලට, සම්මුඛ සාකච්ඡාවලට තියෙන බය අලුතින් වැඩක් ආරම්භ කරන්න තියෙන බිය සහ කම්මැළිකම වගේ දේවල් නැති වෙලා යනවා. කර කියා ගන්න දෙයක් නැති ව කොටු වෙච්ච මානසිකත්වය කඩා බිඳ ගෙන ඇතුළතින් දිය උල්පතක් පහළ වුණා වගේ තමන් තුළ නව අදහස් ඇති වෙන්නත් වර්තමාන මොහොතේ තියෙන වටිනාකම හොඳට වැටහෙන්නත් මේ ශක්තිය උදව් වෙනවා. ඒ වගේම යාලුවෝ එක්ක බෙදාහදා ගන්න, කාගෙන්වත් ලබා නොගත් තමන් විසින් උපයා ගත් දේවල් තියෙනවා. මේ විදිහට සතිය විසින් සතිය නඩත්තු කරන ගතිය පුහුණුව එක්ක ක්‍රමයෙන් වර්ධනය වෙනවා.
ජීවත් වෙන හැම කෙනෙක් ළඟම ඒ වගේ ඇතුළතින් හට ගන්නා ඕජාවක්, රසයක් තියෙන නමුත් ඒක මතු කර ගැනීමට නොහැකිකම නිසා බොහෝ වෙලාවට සතිය අවතක්සේරු කරනවා. අන්න ඒ රසය වැඩිපුර තරුණ දුවා දරුවන් ළඟ තියෙනවා. කවුරු හෝ එක් කෙනෙක් හරි මේ කියන ගතිය සතිය පුහුණු කිරීම හරහා උත්තේජනය කර ගත්තොත් ඒ පිරිස එක්ක ඉන්න අනිත් අය ළඟත් වෙනසක් වෙනවා. ඒ නිසා සතිය කියන බීජය පැළ කර ගත් අය තමන්ගේ දැනුම තමන්ට ගුරුවරයෙක් කර ගන්න. ඒ වගේම තවත් කෙනකුට සතිය කියන ජන්ම දායාදය උත්පේ‍්‍රරණය කර ගැනීමට උපකාරයක් පිණිස තමන් දන්න ටික අනිත් අයත් එක්ක බෙදා ගන්න කියන පණිවිඩය දෙමින් අදට නවතිනවා.