මානෙල්වත්ත විහාරය පිහිටි අක්කර හතළිහක පමණ වූ භූමි භාගය 1962 දී හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා, එම මැතිනිය ඇතුළු පවුලේ අය සඟ සතු කොට පූජා කළේ ජාත්‍යන්තර වශයෙන් බුදුදහම ප්‍රචාරය සඳහා ආයතනයක් ආරම්භ කිරීමේ සැදැහැති අරමුණෙනි. මෙය තේරුම් ගත් එවකට මානෙල්වත්ත විහාරයේ විහාරාධිපති ව වැඩ විසූ කණ්ඩක්කුලමේ ධම්මකිත්ති නාහිමියන් විසින් බෝදාගම චන්දිම නාහිමියන්ට මෙම භාරදූර කාර්යය ඉටු කිරීමේ වගකීම පවරන ලදි.
ඒ අනුව දෙස් විදෙස් ධර්ම ප්රචාරක කටයුතු පිළිබඳ හසල දැනුමක් ඇති බෝදාගම චන්දිම නාහිමියන් වර්ෂ 2003 දී පමණ කෑලෑවට ගොස් තිබූ මෙම භූමි භාගය එළිපෙහෙළි කර නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ගොඩනැඟීම ඇරඹීය. එදා සිට අද දක්වා ම තායිවානය, චීනය වැනි විදේශීය රටවල සිටින බෞද්ධ පින්වතුන්ගේ, මෙන් ම විදේශිකයන්ගේ ද ආධාර මතත්, යම් යම් අවස්ථාවල දී ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වය මතත් දියුණු වෙමින් පවතී.
ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, දර්ශනපති, දර්ශනශූරී උපාධි පිරිනැමීම මෙම ආයතනය මඟින් සිදු කෙරේ.
දැනට මෙම ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය, මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පිඨය, පරිගණක සහ තොරතුරු තාක්ෂණික පීඨය, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය ආදිය ක්‍රියාත්මක වන අතර, පැරැණිම පීඨ වන්නේ බෞද්ධ අධ්‍යයන පීඨය සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයයි. මෙහි අධ්‍යයන කටයුතු සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන් ම සිදු කෙරෙන අතර, දේශීය මෙන්ම මියන්මාරය, වියට්නාමය, භූතානය, නේපාලය, බංගලාදේශය, ඉන්දියාව වැනි ආසියාතික රටවල සහ යුරෝපා රටවල සිසු සිසුවියෝ ද අධ්‍යයන කටයුතු සිදු කරති.
මෙහි අධ්‍යයන කටයුතු සඳහා බඳවා ගැනීමේ මූලික සුදුසුකම වන්නේ රජයේ නිර්නායකවලට අනුව උසස් පෙළ සමත් වීමයි. විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලකුණු නොමැති ඕනෑම අයකුට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය සමඟ එක්විය හැකි ය. ඊට අමතරව උසස් පෙළට සමාන ප්‍රාචීන, ප්‍රාරම්භ විභාග සමත් පිරිසට ද, විදේශිකයකු නම් මෙරට උසස් පෙළට සමාන එරට ඇති විභාගයක් සමත් බවට වන සහතිකයක් සතු අයකුට ද මෙම ආයතනයේ උසස් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ අවස්ථාව හිමි වේ. පශ්චාත් උපාධිය සඳහා බඳවා ගැනීමේදීත් රජයේ නිර්නායකවලට අනුව ප්‍රථම උපාධියක් තිබිය යුතු ය.
වසර නවයකට පමණ පෙර ආරම්භ වූ මෙම ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨයෙන් වසර තුනක ශාස්ත්‍රවේදී උපාධියත්, වසර හතරක විශේෂ උපාධියත් පිරිනැමීම සිදු වේ. 2017 වසරේ දී මෙම පීඨයේ පළමු කණ්ඩායම ලෙස සිසු සිසුවියන් හතළිස් දෙනකු පමණ ඇතුළත් වූ අතර, අද වන විට එම සිසු සිසුවියෝ දෙසිය අසූවක් පමණ අධ්‍යාපනය හදාරති. පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ ද සැලකිය යුතු පිරිසක් අධ්‍යාපනය හදාරති. මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පිඨයේ පුරාවිද්‍යාව, මානව විද්‍යාව සහ ජනමාධ්‍ය සම්බන්ධ උපාධි ප්රදානය කෙරෙන අතර, පරිගණක විද්‍යාව සම්බන්ධ උපාධි පාඨමාලා ද හැදෑරීමේ අවස්ථාව තිබේ. සමස්තයක් ලෙස 700කට අධික සිසුන් පිරිසක් අද වන විට මෙම ආයතනයේ අධ්‍යාපන කටයුතු සිදු කරති.
අධ්‍යයන කටයුතු සිදු කරන ශිෂ්‍ය ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් දෙවසරකට පමණ වරක් මෙහි උපාධි ප්රදානෝත්සවය පැවැත්වෙන අතර, පසුගිය අගෝස්තු මස සිසුන් එකසිය අනූඅටකට උපාධි ප්රදානය කිරීමට අවස්ථාව ලැබිණි.
සිසු සිසුවියන්ට අවශ්‍ය සියලු පහසුකම් නිර්මාණය කරමින් පවතින මෙම ආයතනයේ දැනට කාන්තා නේවාසික පහසුකම්, වොලිබෝල්, නෙට්බෝල්, බාස්කට් බෝල් යන ක්‍රීඩා පහසුකම් පවතී. ක්‍රිකට් පිටියක් සකස් වෙමින් පවතින අතර, කාන්තා නේවාසික පහසුකම් තවදුරටත් දියුණු කරමින් පවතී. සංවර්ධනය වෙමින් පවතින පුස්තකාලය සතුව පොත් පහළොස් දහසකට අධික ප්‍රමාණයක් ඇති අතර, නවීන තාක්ෂණ පහසුකම් සහිත නව පුස්තකාලයක් ද ඉදිවෙමින් ඇත.
භාරතයේ නාලන්දා විශ්වවිද්‍යාලය මෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ද දියුණු කිරීම ඒකායන අරමුණු කොට ගත් මෙහි ථෙරවාද, මහායාන, වජ්රයාන සම්ප්රදායන්වලට අයත් දාර්ශනික ඉගැන්වීම් මෙන්ම සංස්කෘතීන් ද උගන්වන්නේ භාෂා ඥානයෙන් සහ ධර්ම ඥානයෙන් පරිපූර්ණ වූ පිරිසක් බිහි කිරීමටයි. මේ වෙනුවෙන් නවීන තාක්ෂණික දැනුම ද එක් කරන්නේ එම පිරිස තවත් ශක්තිමත් ව බල ගැන්වීමටයි.
දිල්හානි ජයවර්ධන