සංසාර ගමන ජාතියෙන් ජාතියට ඇදගෙන යන්නේ කෙලෙස් සහගත වූ සිතෙනි. යම් අවස්ථාවක දී සිත නිකෙලෙස් බවට (රහත් බවට) පත් වන්නේ නම්, එසේ නිකෙලෙස් සිතැ’ති රහතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් (චුතියෙන්) පසු සසර ගමන කෙළවර වන්නේ ය.
රහතුන් වහන්සේගේ චුතියත් සමඟ උන්වහන්සේට සසරින් මිදෙන්නට ඉඩ නොදී, අපමණ දුක්වලට භාජන කරමින් පැවතුණු සිත ද නැවත නොඉපදී එයින් ම සංසිඳෙන්නේ ය. මෙසේ චුතියෙන් පසු චිත්ත ප්‍රවෘත්තිය සංසිඳී යන නිසා සසර ගමන නතරවීම හා දුක් කෙළවර කිරීම ද සිදුවීම ස්වභාවික ය.
අරමුණු තේරුම් ගන්නේ සිතිනි. හොඳ නොහොඳ හැමට ප්‍රධාන වන්නේ සිත යි. අරමුණක් නොමැති ව සිත පහළ වන්නේ නැත. සත්ත්වයන් මිනිස්, තිරිසන් ආදී ජාතිවල උත්පත්තිවලට පමුණුවන්නේ සිතිනි. එහෙයින් ම භාග්‍යවතුන් වහන්සේ,
චිත්තෙන නීයතී ලෝකෝ
චිත්තෙන පරිකස්සති
චිත්තස්ස එකධම්මස්ස
සබ්බෙව වසමන්වගු
යනුවෙන් වදාළ සේක. ලෝවැසි සත්ත්වයා ඒ ඒ උත්පත්තිවලට පමුණුවනු ලබන්නේ සිතිනි. සිතින්
සත්ත්වයා ඒ ඒ උත්පත්තිවලට ඇද ලන්නේ ය. ලෝවැසි සියලු සත්ත්වයෝ ම චිත්ත වසඟයට ගියාහු ය යනු ගාථාවේ අදහසයි. ප්‍රකෘති සිත පිරිසිදු ය. බැහැරින් ලැබෙන්නා වූ සිත කෙලෙසන දහම් හේතු කොට ගෙන කිළුටු වන්නේ ය’ යි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ,
මහණෙනි, මේ ප්‍රකෘති සිත ඉතා පිරිසිදු ය. ඒ පිරිසිදු වූ ප්‍රකෘති සිත ආගන්තුක ව පැමිණෙන්නා වූ කෙලෙසෙන දහම්වලින් කිළුටු වන්නේ ය කියායි.
සාමාන්‍යයෙන් පුහුදුන් සිත කෙලෙසන ගතියෙන් යුතු ය. නැවත නැවත කෙලෙස් උපදවන්නෝ පෘථග්ජනයෝ (පුහුදුන්) නම් වෙතැ’ යි වචනාර්ථයෙහි ම ඒ අදහස ගැබ් වී තිබේ.
ස්වභාවික ව වැඩිපුර පාපයන්ට නැමෙන ගතිය පුහුදුන් සිතේ පවත්නා බැවින් ‘පුහුදුන් සිත
කිළුටු වනවා ය’ යන මෙකරුණ ඉතා පහසුවෙන් සිදුවිය හැකි ය.
ජලයේ ස්වභාවික ගතිය පහළට ගලා යාම මෙන් ම පුහුදුන් සිතේ ස්වභාවය ද පාපයට නැමීම වේ. ස්වභාවයෙන් පහතට ගලා යාම ජලයේ ස්වභාවික ගතිය වුව ද, තම තමන් කැමැති අතකට ජලය හරවා ගත හැකි ය. එසේම මිනිස් සිතේ සාමාන්‍ය ගතිය පාපයට බරවීම වුවත්, එම සිත යහමඟට යොමු කර ගත්විට ලෞකික මට්ටමෙන් උපරිම තත්ත්වය වූ මහා විද්‍යාඥ තත්ත්වය පවා උපදවා ගත හැකි ය. ලෝකෝත්තර මට්ටමෙන් ලොව්තුරු බුදු බව දක්වා දියුණු පවුණු කළ හැකි සිතක් මිනිසුන්ට ලැබී තිබේ. “මනුස්ස” යන නම පවා මේ සත්ත්ව වර්ගයාට ව්‍යවහාර කරන්නේ වෙන සත්ත්වයන්ට වඩා වැඩි (උසස්) මනසක් තිබෙන බැවිනි.
ඒ නිසා ඒ උසස් මනස විචාරශීලී ව යෙදවීමෙන් මෙලොව දියුණුව සහ පරලොව දියුණුවත්, අවසානයෙහි සංසාර දුකෙන් මිදී නිවන් සුවයෙන් සැනසෙන්නටත් හැකි වනු ඒකාන්ත ය. යමෙක් අවිචාරවත් ව සිත මෙහෙයන්නේ නම් සිත කිළුටු වී දෙලොවින් ම පරිහානියට පත්වනවා පමණක් නොව, තව තවත් සංසාර ගමන දීර්ඝ කර ගන්නේ ය. ඒ නිසා ම,
චිත්තේන සංකිලිට්ඨෙන
සංකිලිස්සන්ති මානවා
චිත්තෙ සුද්ධෙ විසුද්ධන්ති
ඉති වුත්තං මහෙසිනා
සිත කිළුටු වීම හේතු කොට ගෙන සත්ත්වයෝ කිළිටි වෙති. සිත පිරිසිදු වූ කල්හි සත්ත්වයෝ පිරිසිදු වන්නාහු ය. මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. එබැවින් තම තමන්ගේ සිත් පිරිසිදු කර ගැනීම තමන් කෙරෙහි හිතවත් සියල්ලන් විසින් කළ යුතු කාර්යය බව සිහි කළ මනා ය.
අනාදිමත් කාලයක් තිස්සේ සිතේ බැඳී තිබුණු කෙලෙස් කිළුටු සිතෙන් බැහැර කිරීම දුෂ්කර ක්‍රියාවකි. එසේ වුව ද එය නොකළ හැක්කක් නොවේ.
අනුපුබ්බේන මෙධාවී – ථොක ථොකං ඛණෙ ඛණෙ
කම්මාරො රජතස්සෙව – නිද්ධමෙ මලමත්තනො
රිදියෙහි බැඳී තිබෙන මළ ඉවත් කරන්නා වූ රන්කරුවා විටින්විට මඳීන් මද රිදියෙහි මළ ඉවත් කරන්නාක් මෙන්, නුවණැත්තා සිය සිතේ බැඳී තිබෙන්නා වූ කෙලෙස් මළ ටිකෙන් ටික මඳීන් මඳ ඉවත් කරන්නේ ය යන බුදුවදන පෙරටු කොට තබා ගෙන කෙලෙස් මළ ඉවත් කොට චිත්ත පාරිශුද්ධිය උපදවා ගත හැකි ය.