ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස දහම් අසපුවඅත නොහැර යන පුණ්‍ය නිධානය

අත නොහැර යන පුණ්‍ය නිධානය

by Thanushika
November 24, 2026 12:30 am 0 comment

සම්බුදු දහමට අනුව සිතුවිල්ල කර්මය වේ. සිතින්, කයින්, වචනයෙන් කරන දේ කර්මයි. යහපත් කර්ම කළොත් යහපත් ප්‍රතිඵලත්, අයහපත් කර්ම කළොත් අයහපත් ප්‍රතිඵලත් ලැබේ.

බුදුරජාණන් වහන්සේගේ අසූ මහාශ්‍රාවක මහ රහතන් වහන්සේ අතරින් ඉතා ම ප්‍රසිද්ධ, සුවිශේෂී තෙරුන් වහන්සේ නමක් වන ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ ය. ඉතා කුඩා (මිටි) ස්වරූපයක් ගත්තේ ය. “ලකුණ්ටක” යන වචනයේ අර්ථය කුරු, මිටි හෝ කුඩා යන්නයි. ශරීරයෙන් කුඩා වුව ද, උන්වහන්සේට ඉතා මධුර, ගැඹුරු සහ අතිශයින් ම පැහැදිලි කටහඬක් තිබුණි. උන්වහන්සේ අතිශය ගැඹුරු ඥානයකින් යුත්, කෙලෙසුන් නසා, රහත් බවට පත් වූ උත්තමයෙකි. බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේ අතර “මනස්කාන්ත හඬින් දහම් දෙසීමේ අග්‍රස්ථානය” (ස්වර ප්‍රශංසා කරන අතින්) උන්වහන්සේට ලබා දෙන ලදහ. උන්වහන්සේගේ කුඩා ශරීර ස්වභාවය නිසා සමහර අලුත් භික්ෂුණීන් වහන්සේ උන්වහන්සේ දකින විට සාමාන්‍ය සාමණේර නමක් යැයි සිතා, “අනේ මේ පුංචි පුතා අපේ පාත්‍රය සෝදා දෙන්න, සිවුර සෝදා දෙන්න” යැයි කියමින් විහිළු කළ අවස්ථා තිබුණි. එහෙත් ලකුණට ක භද්දිය තෙරුන් කිසිදු කිපීමකින් හෝ කෝපයකින් හෝ තොරව, අතිශය නිහතමානී ව සිනාසෙමින් ඔවුන්ට උපකාර කළහ. පසුව උන්වහන්සේ මහ රහතන් වහන්සේ නමක් බව දැන ගත් විට එම භික්ෂුණීහු දැඩි ලෙස ලජ්ජාවට පත් වූහ.

ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේගේ සිරුර මිටි වීමට හේතු වූයේ අතීත අසංවර කර්මයක විපාකයක් බව බෞද්ධ ත්‍රිපිටක අටුවා සහ කතා සාහිත්‍යයේ සඳහන් වේ. ඒ හා සම්බන්ධ පුරාණ කතා පුවත මෙසේ ය. අතිශයින් ම ඈත අතීතයේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු කාලයක, උන්වහන්සේ වෙනුවෙන් ධාතුන් වහන්සේ තැන්පත් කර මහා සෑයක් ඉදි කිරීමට කටයුතු කළහ.

ප්‍රධාන වඩුවා ලෙස කටයුතු කළේ මතු ලකුණ්ටක භද්දිය තෙරුන් වීමට පින් මෝදු වෙමින් සිටි පුද්ගලයා ය. මිනිසුන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති අතිශය භක්තිය නිසා ඉතා විශාල පරිමාණයෙන් මහා සෑයක් ඉදිකිරීමට අදහස් කළහ. එහෙත් එම ප්‍රධාන වඩුවා අරපිරිමැස්ම මුල් කර ගනිමින්, “මේ තරම් විශාල සෑයක් කළොත් අනාගතයේ දී නඩත්තු කිරීමට, පුදපූජා පැවැත්වීමට ජනතාවට අපහසු වේ” යැයි සිතා, විශාල ලෙස සෑය සෑදීමට සැරසුණු පිරිස එයින් වැළැක්වීය. ඔහු මිනිසුන් ලවා එම සෑයේ ප්‍රමාණය සහ උස කුඩා කර සාදවා ගත්තේ ය. කර්ම විපාකය වශයෙන් බුදු කෙනකු වෙනුවෙන් ඉදිවන මහා පූජනීය ස්ථූපයක උස ප්‍රමාණය අඩු කර, එය කුඩා කිරීමට මැදිහත් වීම නිසා, එහි අකුසල විපාක ලෙස උන්වහන්සේ මතු උපන් ආත්මවල මිටි සිරුරක් හිමි අයකු බවට පත්වූහ.

පින යනු නිදානයකි. තැන්පතුවකි. මිනිසා විසින් සිදු කරන තැන්පත් ක්‍රම හතරක් වෙයි. ථාවර නිදාන, ජංගම නිදාන, අංගසම නිදාන හා අනුගාමික නිදාන යනු ඒ නිදාන හතරයි. මිනිසා රැස් කරන ගේ දොර වතුපිටි ඉඩකඩම් ථාවර නිදානයි. මිල මුදල්, ආභරණ, යාන වාහන ජංගම නිදානයි. ලබා ගන්නා දැනුම අංගසම නිදානයි. මිනිසා කරන පින භව සංසාරය පුරාවට ඔහු සමඟ සිටින ඔහුගේ සෙවණැල්ල මෙන් ගමන් ගන්නා බැවින් අනුගාමික නිදාන වේ.

අනෙක් නිදාන සියල්ල ඉතා හොඳින් කළ තැන්පත් නොවෙයි. ගංවතුරට, ගින්නට, සුළඟට, නියඟයට හසුව විනාශ වෙයි. සොර සතුරන්, රජුන් පැහැර ගනියි. මේ භවය අත් හරිද්දී මේ සියල්ල අතහැරෙයි. අතනොහැර රැගෙන යන නිදානය වන්නේ අනුගාමික නිදාන වූ පුණ්‍ය නිදානය පමණයි.

පින්කම් කරද්දි සිත පිරිසිදු වෙයි. සිතෙහි වූ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල චේතනා යටපත් වෙයි. අලෝභ, අද්වේෂ, අමෝහ යන කුසල චේතනා මතු වෙයි. ලෝභ, ද්වේෂ, මෝහ යනු අකුසල මූලයන් ය. පුද්ගල සන්තානයෙහි අකුසල් සිත් හට ගන්නේ ලෝභය, ද්වේෂය, හා මෝහය මුල් වීමෙනි, ලෝභය මුල්ව අකුසල් සිත් අටක්, ද්වේෂය මුල්ව අකුසල් සිත් දෙකක්, මෝහය මුල්ව අකුසල් සිත් දෙකක් පවතින බව දක්වයි. ඒ නිසා පහළවන අකුසල චෛතසික මාර්ගයෙන් ප්‍රාණඝාතාදි සියලු වරද සිදු කරයි. සිත පෙළා සිතෙහි වූ ලෝභ, ද්වේශ, මෝහ ඉවත දමා, අලෝභ, අද්වේෂ, අමෝහ රඳවා තබා ගැනීම පින්කම් තුළින් සිදු කරයි.

පුණ්‍ය නිදානයෙහි ප්‍රතිලාභ බොහෝ වෙයි. යම්කිසි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා දන් දෙනවා නම්, සිල් රකිනවා නම්, සිත දමනය කර ගෙන භාවනාවේ යෙදෙනවා නම්, දාගැබ් වහන්සේටත්, ගුණවත් සංඝයාටත්, ආගන්තුකයන්ටත්, යම් පුද්ගලයකුටත්, මව්පියන්ටත්, වැඩිමහලු සහෝදර සහෝදරියන්ටත් ගරු සත්කාර, සම්මාන දක්වනවා නම්, වඳිනවා නම්, පුදනවා නම් එය ඉතා හොඳීන් තැන්පත් කළ නිදානය වෙයි.

එම නිදානය, එසේ නැතහොත් තැන්පතුව තුළින් දෙවි මිනිසුන්ට තමන් කැමැති හැම සැප සම්පතක් ම ලබා දෙයි. යමෙක් යම් දෙයක් ප්‍රාර්ථනා කරයි නම්, ඒ සියල්ල ම මේ පුණ්‍ය නිදානයෙන් ලබා ගත හැකි යි. ලස්සන රූපයක් ලැබෙයි, මිහිරි ස්වරයක් ලැබෙයි. මනා අඟ පසඟෙන් යුතු සුන්දර සිරුරක් ලැබෙයි, ඉහළ සමාජ තත්ත්වයක් ඇතුව පිරිවර සම්පත් ලැබේ. ප්‍රාදේශීය රජකම් ලැබෙයි, අධිපති බව ලැබෙයි, ප්‍රිය මනාප වූ සක්විති සැප ලැබෙයි, දෙව්ලොව දිව්‍ය රාජ සම්පත් ලැබෙයි,

ලෞකික පින්කම් අතර උසස් ම පින්කම කඨින චීවර පින්කමයි. දිගු කාලයක් මුළුල්ලේ, විශාල පිරිසකගේ කායික හා මානසික ශක්තිය කඨින පින්කම තුළ පවතී. එහෙයින් ම ඉන් ලැබෙන පින මහපොළොව මෙන් අකම්පිත ය. මහාමේරු පර්වතය සේ සැලෙන්නේ නැත. දියමන්තියක් මෙන් ශක්තිමත් ය. එවන් ශක්තිමත් පින්කමක් කර ගත හැක්කේ වසරකට වරක් ය. එසේම එම පින්කම කර ගන්නට උපසම්පදා භික්ෂූන් සිටිය යුතු ය. උන්වහන්සේ වස් ශික්ෂා පදය සමාදන් ව එය ආරක්ෂා කර ගත යුතු ය. මහා පවාරණයෙන් පවාරණය විය යුතු ය. මේ කරුණු සම්පූර්ණ වූ විට එම භික්ෂුවට කඨින චීවරයක් පිළිගත හැකි ය. මේ අයුරින් වු මහා පින්කමක් වූ කඨින චීවර පුජාවට ශ්‍රද්ධා සිතින් සම්බන්ධ වීම දුර්ලභ ව ලැබු මිනිස් ආත්ම භවය අර්ථවත් කර ගැනීමකි.

You may also like

Leave a Comment