අවධානය වෙන අතක නොයවා සතිමත් වෙන එක සමහර වෙලාවට හරි අමාරු වැඩක්. මගේ පුංචි දරුවෝ මගේ අවධානය තදින් ම ඉල්ලන වෙලාවට මම සතිමත් වෙන්න හැදුවොත් ඒක හිතට හරිම වදයක් වෙනවා. ඒ වෙලාවට කරන්න තියෙන්නේ මගේ අවධානය ආයෙත් පාරක් දරුවන්ට යොමු කරලා, මම කරමින් තිබුණු වැඩේ ස්වයංක්‍රිය ව වෙන්න අරින එකයි කියලා හිතෙනවා.
මම කැමැතියි ඔබට කිව්ව “ස්වයංක්‍රියව වෙන්න අරිනවා” කියන වචනයට ආයෙමත් මට අවධාරණයෙන් කියන්න සිදු වෙනවා. සතිමත් වෙනවා කියන්නේ මනස එක තැනකට එල්ල කරන්න පුහුණුූ වෙන මඟක් විතරයි කියලා. ඔබත් එක්ක ඔබ තරග දුවන්න එපා. ඔබ අවධානය දෙන්න. තෝරා ගන්න දෙය සම්පූර්ණයෙන් ම ඒ ඒ අවස්ථාවට අනුව කළ යුත්තක්. දරුවන්ට ඔබ ඕනෑ නම් ඒගොල්ලන්ට අවධානය දෙන්න.
මෙතැන දී තියෙන එකම නිර්ණායකය නම්, දැඩි තත්ත්වාරෝපණයක් නොකළ යුතු බවයි.
මේකෙන් අදහස් වෙන්නෙ නෑ. ඔබ එළවළුවක් උයනවා නම් ඒකෙ පාටයි, සුවඳයි ගැන සම්පූර්ණයෙන් සතිමත් වෙලා දරුවන් අහන ප්‍රශ්න නොතකා හරින්න ඕනෑයි කියලා. එහෙම කරනවා නම් ඔබ කෑම ඉවීම දැඩි ව ග්‍රහණය කරගෙනයි ඉන්නේ.
ආ! ඒකයි එහෙනං මට තරහ යන්නෙ?
ඔව්. එහෙම වෙන්නෙ ඔබ ඇලී සිටීම නිසයි. ආයෙත් මම කියනවා. ඔබ තේරුම් ගන්න ඕනෑ උපේක්ෂාව හැම ක්‍රියාවක ම ගැබ් වී තිබිය යුතු බව. කෑම ඉවීම දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් නම්, කෑම ඉවීම වෙතින් සතිමත් බව ඉවත් කරලා ඔබේ අවධානය දරුවන්ට යෙදවීම ඔබට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. සමහර වෙලාවට ඔබට උයන්න පුළුවන් ඔබ කිව්වා වගේ ස්වයංක්‍රිය ලෙස, ඒ අතරේ දරුවාට උත්තර දෙමින්, තව වෙලාවකට දරුවාට තදබල අවශ්‍යතාවක් ආවොත් උයන වැඩේ නතර කරලා දරුවාට සම්පූර්ණ අවධානය යෙදවීම වඩා හොඳ බව පෙනෙයි. මේකට නියමිත නීති මාලාවක් නෑ.
ඔබ වෙනත් ඕනෑම දෙයකට තදින් ඇලීගෙන සිටින්නා මෙන් මේ මොහොත පිළිබඳ සතිමත් බවට තදින් ඇලීගෙන සිටින්නට පුළුවන්.
මේක හරිම සියුම් දෙයක්. ඒත් මුල ඉඳලා ම තේරුම් ගන්න ඕනෑ ඔබ, ඔබේ සතිමත් බවට තදින් බැඳිලා ඉන්න පුළුවන් බව!
හුඟක් ම වැඩ රාජකාරි වැඩි වුණා ම මට වෙන වැඩකට හිත යොමු කරන්න කොහෙත්ම බැරි වෙනවා. මට ඒ අවුල් ජාලයේ ම ඔහේ ජීවත් වෙන්න සිදු වෙනවා.
හොඳයි. සතිමත් බව යන්න ඇරියාට කමක් නෑ කියමුකො. ඒත් ඔය අවුල් ජාලය තුළ ජීවත් වෙන හැටි ගැනත් කතා කරන්න ඕනෑ. ඔබ කොහොමද ඒ අවුල් ජාලය අස්සේ කටයුතු කරන්නේ?
මම සමහර වෙලාවට ඒ අවුල් ජාලයේ පටලැවෙනවා. ඊළඟට ඒකෙ ගිලෙනවා.
ඔව්. සතිමත් බව ශක්තිමත් මදි නම් ඔබ ලේසියෙන් ම අවුල් ජාලය තුළට ඇදී යන්න පුළුවන්. මම මේ කියන සතිමත් බව ඔබේ ම මනස තුළ තියෙන සතිමත් බවයි. ඒ අවුල් ජාලය පිළිබඳ ඔබේ සිතුවිලි සහ හැඟීම් ගැන ඔබ දැනුවත් නැති වුණොත් ඔබ ඒ අවස්ථාව සමඟ අන්‍යෝන්‍යව ක්‍රියා කරන්නත්, ප්‍රතික්‍රියා කරන්නත්, ලේසියෙන් ම පෙළඹෙන්න පුළුවන්. මොනවා වුණාද කියල හිතන්නත් කලින් ඔබ ඒ අවුල් ජාලය අස්සේ හොඳට ම පටලැවිලා අවුල දෙගුණ තෙගුණ කරලා තියෙයි.
අවුල් ජාලය දැක්ක වහා ම ඔබේ හැඟීම් ගැන සතිමත් වුණොත් ඒ අවස්ථාවේ දී ක්‍රියා කරන හැටි ඔබට තෝරා ගන්න පුළුවන්.
බාහිර වියවුල ගැන පමණක් දැනුවත් වෙනවා වෙනුවට, මඳක් නතර වී කෙළින් ම ඔබ තුළ බලන්න, එතැන ඇත්තේ මොනවා දැයි දකින්න.
ඒ වුණාට ඒ වැඩේ ලේසි නෑ නේ.
ඔව්. ලේසි නෑ තමයි. ඒත් ඔබට කොතැනින් හරි පටන්ගන්න වෙනවා. ඔබේ සිත නිහඬ ව නැති තාක් කල් ඔබ බාහිර ලෝකයේ තියෙන මහා අවුල් ජාලයක් එක්ක පැටලෙමින් පෙරළි පෙරළී යනවා.
කෙළින් ම ඔබ තුළ බලනවා කියන්නේ ඔබේ ම හදවත වෙත, ගොස් ඇතුළත සමතුලිතතාවක් සහ නිහඬ බවක්, ඇති කර ගැනීමයි.
පිටත ඇති වියවුල මැදහත් සිතින් යුතු ව ඔබට, බැලිය හැක්කේ මේ ඇතුළත සමතුලිතතාව තුළින් පමණයි.
මේක සිදු වුණා ම ඔබට වියවුල වියවුලක් හැටියට, ඒ ඒ අවස්ථාව අනුව සිදු වෙන දෙයක් හැටියට පෙනෙයි. වියවුලට පිටිපස්සේ තියෙන හේතුව ඔබට පෙනෙයි. එතකොට ඊට අනුකූල ව ක්‍රියා කරන්න පුළුවන්. කෙටියෙන් කියතොත් ඔබ වියවුලේ හරි මැදට ම විනිවිද ගියා ම අවස්ථාවට ඉතා ම සුදුසු ආකාරයට ඒක විසඳන්න ඔබ නිරායාසයෙන් ම යෙදෙනවා. මේකට තමයි ප්‍රතිවේධය අන්තර්දෘෂ්ටිය හෙවත් ප්‍රඥාව කියන්නේ.
මහ වියවුල් සහිත ගැටුමක දී අපි නිකං ඉන්න ඕනෑ කියලද ඔය කියන්නේ?
නෑ. මම ආයෙත් කියනවා. මේකෙ කිසිම දරදඬු නීතියක් නෑ. එක අවස්ථාවක දී ඔබට කෙළින් ම කාරණයේ මැද්දට ම යන විදිහෙ දැඩි ක්‍රමයක් අනුගමනය කරන්න සිදු වෙයි. ඔබ ක්‍රියා කරන්නේ සතිමත් ව නම්, ඒක තමයි නිවැරැදි ක්‍රියාව. තවත් අවස්ථාවක දී තව තවත් අවුල් ඇති වෙන එක වළක්වන්න ඔබට නිශ්ශබ්දව ඉන්න සිදු වෙයි. ඔබ ටිකක් නතර වෙලා බැලුවොත් ඒ ඒ අවස්ථාවේ කළ යුතු දේ ඔබට පෙනෙයි. ඔබ වියවුලයි, ඔබේ සිතයි කියන දෙක ම දිහා උපේක්ෂාවෙන් බැලුවොත් කරන්න ඕනෑ මොකක්ද කියලා ඔබට පෙනෙයි. එතකොට වියවුල නිසා ඔබ සිත් කරදර කර ගන්නේ නෑ.
එහෙම බලන්න නතර වුණොත් අපි කොහොමද අනික් ඒවාට නිවැරැදි විදිහට ප්‍රතික්‍රියා කරන්නේ? අපි කරන්න ඕනෑ මොකක්ද කියලා හිතන්න වෙලාවක් නැති වෙයිනේ.
මේක තමයි විස්තර කරන්න ඉතා ම අමාරු කොටස, අපි බුද්ධිය යොදා වැඩ කරන්න කොයි තරම් පුරුදු වෙලාද කියනවා නම්, ඕනෑම අවස්ථාවක දී සංකල්පනය කිරීමෙන් ( Conceptualising) තොර ව ක්‍රියා කරන්න අපට කොහෙත්ම බෑ. මේකයි වැඩේ. අපි මේ කතා කරන්නේ ප්‍රඥාව ගැනයි. ඉතින් මේක විරුද්ධාභාසයක්. ප්‍රඥාව හටගන්නෙ නෑ සංකල්පනය සම්පූර්ණයෙන් ම නතර වෙනකල් වියවුල් සහිත අවස්ථාවක දී ප්‍රඥාව හටගන්නේ අපි ඒ වියවුල ගැන සංකල්පනය කිරීම නතර කළොත් විතරයි. අපේ හිත ගැන සතිමත් වුණා ම, සාමාන්‍යයෙන් හිතට හුරු පුරුදු කටයුත්ත වන සංකල්පනය කිරීම ඇත්තට ම නවතිනවා. සතිමත් බව සෑහෙන්න ශක්තිමත් වුණා ම, මනසේ සම්පූර්ණ නිහඬ බවක් ඇති වුණා ම, ඔන්න ප්‍රඥාව නිරායාසයෙන් ම උපදිනවා. ඒ ඒ අවස්ථාවේ කියන තත්ත්වයේ දී ක්‍රියා කරන අන්දම ගැන.
මට තව ප්‍රශ්නයක් තිබෙනවා. දුෂ්කර තත්ත්වයක් මැද්දෙදි ආවේගශීලී වීම නතර කර ගන්න මට පුළුවන්. ඒත් මම දන්නෙ නෑ එතැනින් පස්සේ කොහාටද යන්නේ කියලා. මම බුද්ධ ධර්මය ඉගෙන ගන්න නිසා, බෞද්ධ පිළිවෙත් අනුව ජීවත් වෙන නිසා මට හිතෙනවා. මම මීට වඩා මෛත්‍රියෙන් ප්‍රතික්‍රියා කරන්න ඕනෑ කියලා, ඒත් මට මෛත්‍රී සහගත බවක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එතකොට කරන දේ. තේරෙන්නේ නැති නිසා මගේ පුරුදු නොරිස්සුම, නැත්නම් තරහව ඇති වෙනවා.
මේ අහන්න, ඒක ඔබේ දියුණුවේ එක අවධියක් විතරයි. ඔබ මේ තරම් දුරකට ඇවිත් තියෙනවා. තවත් දුර යන්න ඔබට පුළුවන්. ප්‍රතික්‍රියා කරන මොහොත මැද දී ම ඔබේ සිත තුළ තිබෙන ක්‍රියාවලිය දිහා බලන්න. ඉතින් ඔබ ඒ ක්‍රියාවලිය ඒ විදියට නවතන්න සමත් වුණා කියන්නේ ඔබ සාර්ථකයි.
ඔබ ආයෙත් පාරක් බුද්ධියෙන් හිතන්න පටන් ගත්විට තමා නැවත ඔබ කරදරේ වැටෙන්නේ. ප්‍රායෝගික බෞද්ධයෙක් හැටියට ඔබ මෛත්‍රී සහගත වෙන්න ඕනෑ කියල මතයක් ඔබට තිබෙනවා නම්, ඒ කියන්නේ ඔබ තමා ගැන ප්‍රතිරූපයක් මවාගෙනයි තියෙන්නේ. ඔබේ මනසට ඒ සිතුවිල්ල එන්න දුන් ගමන් ම ඔබේ නිදහස නැතුව යනවා. ඒ මොහොතේ ඔබේ මනස පිරිලා තියෙන්නේ මම ප්‍රායෝගික බෞද්ධයෙක් කියලා ඔබ ම මවාගත් ප්‍රතිරූපය සැබෑ කර ගැනීමේ ආසාවෙන්.
මනස නිදහස් නැත්නම් සැබෑ මෛත්‍රිය හටගැනීමට අවස්ථාවක් නැහැ.
ඒක සරලයි. ඔබ තමා ගැන කලින් ම ඇති කරගෙන තිබෙන සංකල්පවලින් නිදහස් වුණාට පස්සේ විතරයි නිරායාසයෙන් මෛත්‍රිය උපදින්නේ. ඔබ සංකල්පවලින් නිදහස් වුණා ම ඔබ නිරායාසයෙන් මෛත්‍රියෙන් මෙන් ම නිර්මාණාත්මකවත් කටයුතු කරනවා.
රාණී සේනාරත්න රාජපක්ෂ