අභිරමන්ති භන්තේ භික්ඛු ඉමස්මිං ධම්ම විනයෙති? අභිරමන්ති ඛො පහාරද භික්ඛු ඉමස්මිං ධම්ම විනයෙ, කතිපන භන්තේ අච්චරියා අබ්භූතා ධම්ම ඉමස්මිං ධම්ම විනයෙ, කතිපන භන්තෙ අච්චරියා අබ්භූතා ධම්මා ඉමස්මිං ධම්ම විනයෙ යෙ දිසවා දිසවා භික්ඛු අභිරමෙන්ති. ඉමස්මිංධම්ම විනයෙති. අට්ඨ ඛො පහාරද අච්චරියා අබ්භූතා ධම්මා ඉමස්මිං ධම්ම විනයෙ යේ දිස්වා දිස්වා භික්ඛු අභිරමන්ති. ඉමස්මිං ධම්ම විනයති.
තුන්ලෝකාග්ර සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහාරද අසුරේන්ද්රයා අමතා වදාළ පහාරද සුත්රාන්ත දේශනාවේ මාතෘකාවක් මේ ඉදිරිපත් වුණේ. බුද්ධත්වයෙන් අවුරුදු දොළහක් ගිය තැන පන්සියයක් සඟ පිරිස සමඟ වේරඤ්ජා නුවර වේරඤ්ජක බ්රහ්මණතුමාගේ ආරාධනාවෙන් වස් එළැඹි සිටි භාග්‍යවතුන් වහන්සේ වෙතයි පහාරද අසුරේන්ද්රයා පැමිණියේ. ලොව්තුරා බුදුවන දවසේ පටන් ම භාග්‍යවතුන් වහන්සේ දැකීම සඳහා මේ පහාරද අසුරේන්ද්රයා නිතර කතා කරමින් සිටියා. ඔහොම කතා කරමින් සිටියා. අද යනවා, හෙට යනවා, අනිද්දා යනවා, ඔහොම කතා කරමින් ඉන්න අතර අවුරුදු දොළහක් ම ගතවුණා. දොළොස් වැනි වසරේ තමයි මේ අවස්ථාව ලැබුණේ.
අසුර භවනේ වේපත්ති, පහාරද, රාහු නමින් ප්‍රධාන අසුරේන්ද්රයෝ තුන්දෙනෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක් මේ. පහාරද අසුර භවනෙහි සිටින අසුරයෝ ඒ ආත්ම භාවයෙහි මාර්ගඵල නොලබන්නන් වෙනවා. ඒ අයට කියනවා අච්ඡන්දික පුද්ගලයෝ කියලා. අසුර භවනෙහි සිටින අසුරයෝ ත්‍රිහේතුක වුණත් ඒ ජීවිතයෙහි මඟඵල නිවන් ලබන්නේත් නැහැ. උතුරු කුරු දිවයින් වාසී මනුෂ්‍යයෝත්, ඒ ජීවිතයෙහි මඟඵල නිවන් ලබන්නේ නැහැ. ඒ වගේ ම වසවර්ති දිව්‍ය ලෝකයෙහි සිටින මාරපාක්ෂික දෙවියන් ද ඒ ජීවිතයෙහි මඟඵල නිවන් ලබන්නේ නැහැ. ඒ අයට කියනවා අච්ඡන්දික අභව්‍ය පුද්ගලයෝ කියලා. හැබැයි මහා පින් ඇති අය යම් හෙයකින් අනාගතයට හේතු සම්පන්න වෙනවා.
එහෙයින් මේ පහාරද අසුරේන්ද්රයා දොළොස් වැනි වසරේ තමන්ගේ විශාල අසුර සේනාවක් පිරිවරාගෙන මහා දවාලේ සර්වඥයන් වහන්සේ වැඩ ඉන්න තැනට ආවා. සර්වඥයන් වහන්සේ වැඩ සිටියේ වේරඤ්ජ නගරයෙන් පිටත, නළේරු පුචිමන්ද කියලා ස්ථානයයි. මේ දේවස්ථානය දීර්ඝ කාලයක් නළේරූ කියලා යක්ෂයකුට පුද පූජා පැවැත් වූ තැනක්, පසු කාලයක බුද්ධ ප්රමුඛ සංඝරත්නයට එතැන විහාරස්ථානයක් බවට පත්වුණා. පුචිමන්ද කියන්නේ කොහොඹ ගහනේ, කොහොඹ ගහක් ආශි‍්‍රතවයි මේ දේවස්ථානය පිහිටා තිබුණේ. ඒ නිසා නළේරු පුචිමන්ද නමින් හැඳින්වෙනවා.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි පහාරද අසුරේන්ද්රයා තමන්ගේ සිතේ අසා දැන ගත යුතු ප්‍රශ්න රාශියක් දරාගෙන ආවා. බුද්ධ තේජස නිසා මෙතුමා වැඳ නමස්කාරයෙන් එකත් පසක හිටගත්තා. නමුත් කිසිම දෙයක් කියාගත නොහැකිව යටිකුරු හෙලාළු නෙත් ඇතිව බිම බලාගෙන සිටියා. ඉතින් සර්වඥයන් වහන්සේ දන්නවා තමන් වහන්සේ පළමුව කතා කළ යුතු මිසක් මේ පහාරද අසුරේන්ද්රයා කතා නොකරන බව. දන්නවා. ඒ දැන ගෙන උන්වහන්සේ ම ප්‍රශ්න ඇසුවා.
අභිරමන්ති ඛො පහාරද අසුරා මහා සමුදේද?
මේකයි ඇසූ ප්රශ්නය. පහාරද ය අසුරයෝ මහා සාගරයෙහි සිත් අලවා වාසය කරනවාද?
මෙයින් පහාරද අසුරේන්ද්රයාට ලොකු අවදිවීමක් වුණා. තමන් නිතර හැසිරෙන, යන එන ස්ථානය ගැන ම ඇසීම නිසයි. කාට නමුත් කතාවක් දිගට ම පවත්වා ගන්න නම් දන්න දෙයක, එසේමයි කියන්න පිළිතුරු දිය යුතු දෙයක් ගැන ම අහන්නට ඕනෑ. ඉතින් පහාරද අසුරේන්ද්රයාගෙන් සර්වඥයන් වහන්සේ ඇසුවේ ඔහු දන්න දෙයක් ගැනයි. නිතර හැසිරෙන තැනක් බැවින් මහා සාගරය ගැන සියල්ල ඔහු දන්නවා. ඒ දන්නා තැන ගැන ඇසූ නිසා කිසිම පැටලීමක් නැති ව පිළිතුරු දෙන්න පුළුවනි.
ස්වාමීනි, එසේය මහා සාගරයෙහි අසුරයෝ සිත් අලවා වාසය කරනවා
කියලා පිළිතුරු දුන්නා. ඉතින් කතාව ආරම්භ වුණා. සර්වඥයන් වහන්සේට අවශ්‍ය වුණේ මේ අසුරයන්ට මාර්ගඵල ලබා දීම නොවෙයි. ඒ අසුරයන්ට අනාගත සුබසිද්ධිය සඳහා ධර්මාවබෝධයක් ලබා දීමයි. අසුරයන්ට එම ජීවිතයෙහි මාර්ගඵල නොලැබෙන බව මැනවින් දන්නවා. එවැනි අවස්ථාවල අනාගත හේතු සම්පත් වනු පිණිස මහත් කරුණාවෙන් ධර්මානුශාසනා පවත්වනවා. දැන් මෙතැන විශාල ලක්ෂ සංඛ්‍යාත අසුර පිරිසක් ඉන්නවා. ඒ අයට අනාගත හේතු සම්පත්තිය තියෙනවා. මේ බණ ටික දේශනා කිරීම. දැන් ඉතින් පහාරද අසුරේන්ද්රයාගෙන් සර්වඥයන් නැවත ඇසුවා,