මෙලොව දුලභ වූ කාරණා අතරින් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළ වීම ද දුලභ කරුණකි. එවන් දුර්ලභ වූ ද, අසිරිමත් වූ ද, සුන්දර වූ ද සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගේ ඥාන විලාසය ද මනෝඥ වුවකි. භාග්යවතුන් වහන්සේ හැඳින්වීමේ දී අනන්ත ඥාන, මහා පඤ්ඤා ආදී පද භාවිත කරන්නේ ද උන්වහන්සේගේ අසිරිමත් ඥාන සම්භාරය නිසා ම ය.
“නත්ථි තස්ස භගවතෝ
අඤ්ඤාතං අධිට්ඨං
අවිදිතං අසච්චිකතං
අඵස්සිතං පඤ්ඤාය අතීතං
අනාගතං පච්චුප්පන්නං
උපදාය සබ්බේ ධම්මා සබ්බකාරෙන
බුද්ධස්ස භගවතෝ
ඤාණමුඛේ ආපාථං
ආගච්ඡන්ති “
ඒ භාග්යවතුන් වහන්සේ විසින් නොදන්නා ලද්දක්, නොදක්නා ලද්දක්, ඥානයෙන් නොපැමිණෙන ලද්දක්, ප්රත්යක්ෂ නොකරන ලද්දක්, ඥානයෙන් ස්පර්ශ නොකරන ලද්දක් නැත. අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූ ද සකල ධර්මයෝ සර්කාවාරයෙන් භාග්යවත් බුදුරජාණන් වහන්සේගේ ඥානය හමුවේ ප්රකට වන්නාහ.
තථාගතයන් වහන්සේට සෙසු අන් කිසිවකුට නොමැති ඥාන බල දහයක් ඇති බව“ මහා සීහනාද “සුත්රයෙහි සඳහන්ව ඇත.ඒ දසබල ඥාන මෙසේ ය.
ඨාන ඨාන ඥානය
තථාගතයන් වහන්සේ ඒ ඒ දෙය සිදුවීමේ දී හේතු ද නිවැරැදි ලෙස දන්නාහ. ඒ අයුරින් ම සිදු නොවීමේ හේතු ද දන්නාහ. ඒ සියල්ල ඇති සැටියෙන් දැකීම ඨාන ඨාන ඥානය යි. එය පළමුවන තථාගත ඥාන බලය යි.
සෝවාන් පුද්ගල තෙමේ කිසියම් සංස්කාරකයක් නිත්ය කියා ද, සැපය කියා ද, ආත්මය කියා ද වරදවා ගනු ලැබීම සිදුවීම නොහැක්කක් ම ය. නමුත් පෘතග්ජන පුද්ගලයා එය වරදවා ගැනීමට හේතු ඇත. සෝවාන් පුද්ගලයකු අතින් පංචානන්තරිය පාපකර්ම සිදු නොවන්නේ ම ය. එහෙත් පෘතග්ජනයා එය වරදවා ගැනීමට හේතු ඇත. මේ ආදී විය හැකි සහ නොහැකි කරුණු බුදුරජාණන් වහන්සේ දන්නා සේක. ඒ තථාගතයන් වහන්සේගේ ඨාන ඨාන ඥානය යි.
කම්ම විපාක ඥානය
අතීත, අනාගත, වර්තමාන යන කාලවලට අයත් ව කරන ඒ ඒ කර්මයන්ට ලැබෙන විපාක හේතු වශයෙන් ද ප්රත්ය වශයෙන් ද ඇති සැටියෙන් දැකීමේ ඥානය කම්ම විපාක ඥානය තථාගතයන් වහන්සේට ඇත. එය ද තථාගත ඥාන බලයකි.
කර්ම විපාක තත්ත්වය සර්වාකාරයෙන් දැන ගත හැක්කේ තථාගතයන් වහන්සේට පමණි. කර්ම බිහිවීමට කරුණු වශයෙන් හේතු සාධක හයකි. ඒවා නම් ලෝභ, දෝස, මෝහ, අලෝභ, අදෝස, අමෝහ වශයෙනි. කර්ම විපාක දැන්වීමේ දී මේවා කාල, ගති, උපධි, පයෝග වශයෙන් වර්ගීකරණය වේ. මෙසේ ප්රභේද සහිතව කර්මය දැනීම බුදුරජාණන් වහන්සේට පමණක් සිදු කළ හැකි අතර, එසේ යමෙක් අචින්ත්ය කර්ම විෂය සිතීමට යන්නේ නම් උන්මන්තක භාවයටත්, දුකටත් පත්වේ.
සබ්බත්ථ ගාමිණී පටිපාදා ඥානය
තථාගතයන් වහන්සේ සියලු ම සත්ත්වයන් සුගති, දුර්ගති භාවයන්ට පැමිණෙන්නා වූ ද, මාර්ගඵලයන්ට පැමිණෙන්නා වූ ද පිළිවෙත් සියලු ආකාරයෙන් දන්නා සේක.
සසර සැරිසරන සත්ත්වයා සුගති දුර්ගති භවයන්ට පැමිණෙන්නේ ඔවුන් කළ කර්ම අනුව ය. එක් කර්මයකින් ලැබන විපාක එ්කාකාරී නොවේ. ගමක මිනිසුන් සැම දෙනා එක්ව සැමගේ ප්රයෝජනයට සතකු මැරූ කල්හි එහි යෙදුණු ප්රමාණයට විපාක වශයෙන් කෙනෙක් මහා නරකයේ, කුඩා නරකයේ, ප්රේත ලෝකයේ, තිරිසන් භවයේ ද ප්රතිසන්ධි සිත් පහළ වේ. දානාදී පින්කම්වල විපාකය ද මෙසේ ය. දන් දුන් විට නියැළුණු චේතනාව අනුව මිනිස් ලොව, දෙව්ලොව ආදියෙහි උපදී. මේ සියල්ල තථාගතයන් වහන්සේ දන්නා බැවින් එය තථාගත ඥාන බලයකි.
නානාධාතු පටිවේධ ඥානය
අනේකධාතු නානාධාතු ලෝකය නියමාකාරයෙන් දන්නා ඥානය නානාධාතු පටිවේධ ඥානය යි. සම්පුර්ණයෙන් නැති වන බැවින් ද, මදින් මද කොටස් වශයෙන් බිඳී පලුදු වන බැවින් ද, ස්කන්ධ, ධාතු ආයතනයෝ ලෝක නම් වෙති. තම තමන්ගේ ස්වභාවයෙන් පවතින සියල්ල ධාතු නම් වේ.
බොහෝ ධාතු ඇති බැවින් ද, ලක්ෂණ වශයෙන් අනේකප්රකාර වන බැවින් ද අනේකධාතු නානාධාතු වූ ලෝකය තථාගතයන් වහන්සේට ම ගෝචර වන්නකි.
නානාධිමුක්තික ඥානය
අධිමුක්ති යැයි හඳුන්වන්නේ පුද්ගලයාගේ විවිධ මානසික වු රුචි අරුචිකම් හා අදහස් ය. ඒවා පිළිබඳ ඇති සැටියෙන් දැකීමේ ඥානය නානාධිමුක්තික ඥානය ලෙස හඳුන්වයි. තථාගතයන් වහන්සේ තමන් ළඟට පැමිණෙන සෑම දෙනාගේ අදහස් නිවැරැදි ලෙස දැන ගනිති.
සත්ත්වයෝ වනාහි නොයෙක් අදහස් ඇත්තෝ ය. දුසිරිතෙහි නියැළෙන අදහස් ඇත්තෝ හිනාධිමුක්තිකයෝ ද සුචරිතයෙහි නියැළෙන අදහස් ප්රණීතධිමුක්තිකයෝ හෙවත් කල්යාණධිමුක්තිකයෝ මෙම අධිමුක්ති අනුව පුද්ගල එකතුවීම සිදුවේ. ලාමක අදහස් ඇති හිනාධිමුක්තිකයෝ හිනාධිමුක්තිකයන්ට සේ ම, යහපත් අදහස් ඇති ප්රණීතධිමුක්තිකයෝ ප්රණීතධිමුක්තිකයන්ටත් සංසන්දනය වන්නාහ. සම වන්නාහ. මෙම දැන ගැනීම භාග්යවතුන් වහන්සේ සතු බුද්ධ විෂයයට ම ගෝචර වන්නකි.
ඉන්ද්රියපරෝපරියත්ත ඥානය
පෘතග්ජන ස්වභාවය ඉක්මවා නිර්වාණ මාර්ගයට පැමිණෙන සත්ත්වයා තුළ සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ධර්ම වැඩෙත්. පුද්ගලයා තුළ මෙම ඉන්ද්රියයන්ගේ වැඩී ඇති ප්රමාණය අඩු වැඩි බව දැනීමේ හැකියාව ඉන්ද්රියපරෝපරියත්ත ඥානය යි.
පුද්ගලයා ඉහත කී සද්ධාදී ඉන්ද්රියයන් මෝරා ඇති බව හෝ නැති බව හෝ නො දනියි. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්ත්වයන්ට ඔවුන්ගේ ඉන්ද්රිය තත්ත්වයන් සලකා දහම් දෙසති.
සෑම සත්ත්වයෙක් පිළිබඳව සලකන විට ආසය (අදහස්), අනුසය (නැවත නැවත උපදිනා කෙලෙස්), චරිත (පුද්ගල චරිත ස්වභාව), අධිමුක්ති (රුචිය), අල්ප රජස් (කෙලෙස් අඩු), මහාරජස් (කෙලෙස් වැඩි), තීක්ෂනේන්ද්රීය (තියුණු ඉන්ද්රිය ඇති), මෘද්දින්ද්රිය (මෘදු වු ඉන්ද්රිය ඇති), ස්වකාර (තියුණු ශ්රද්ධා ඉන්ද්රිය ඇති), ද්වකාර (නො දියුණු ශ්රද්ධා ඉන්ද්රිය ඇති), පුද්ගලයන් මනාකොට දන්නා හෙයින් මෙය තථාගත බලයක් සේ කියැවේ.
ඣානාදී සංකීලෙස ඥානය
ධ්යාන පිළිබඳව, සිත කෙලෙස්වලින් නිදහස් කර ගන්නා ක්රම පිළිබඳ ව, සමාධිය පිළිබඳ ව, ඒවායෙහි ඇති විවිධතා ගැන හා ඒවායින් පිරිහෙන ආකාරය පිළිබඳ ව ද සිත පිරිසිදු කර ගන්නා අයුරු හා ඒ ඒ සමාපත්තිවලින් නැඟී සිටීම පිළිබඳ ව ද තථාගතයන් වහන්සේ පුර්ණ අවබෝධයක් ඇති සේක. එය ඣානාදී සංකී ලෙස ඥානය යි.
ධ්යාන භාවනා කරන්නා වූ ඇතැම්හු එය පිළිබද නිසි දැනීමක් නොමැති බැවින් ධ්යානයක් ලැබුව ද එසේ ධ්යානයක් ලැබූ බව නො දනිති. තමන් වඩන කර්මස්ථානය නිවැරැදි කර්මස්ථානයක් වුව ද එසේ නො වන බව සිතති. ඇතැමෙක් ධ්යාන නොලබා ධ්යාන ලැබුවේ යැයි ද සිතති. සමහර විට භාවනාවේ යෙදී සිටියදී නින්දට වැටෙති. ඇතැම්හු එය ධ්යාන ලැබීමක් සේ සිතති. බුදුරජාණන් වහන්සේ සෑම සත්ත්වයාගේ ම ධ්යනාදී ය පිළිබඳ ව නියම තත්ත්වයෙන් දන්නා බැවින් මෙය තථාගත ඥාන බලයකි.
පුබ්බේනිවාසානුස්සති ඥානය
තමන් වහන්සේගේ අතීත භව දක්නා නුවණ පුබ්බෙනිවාසානුස්සති ඥානය යි.
තමන් වහන්සේ අතීතයෙහි මෙබඳු නාම ගෝත්රයක් ඇතිව, මෙපමණ ආයු ඇතිව, අසවලා ව උපන්නෙමි. ඉන් චුත ව අසවල් තැන උපන්නෙමි, යනාදී වශයෙන් අනේක කල්ප කෝටි ගණනක් භවයන් දන්නා සේක.
එක්තරා ප්රමාණයකින් අතීත ජාති දැකීමේ සමත් පුද්ගලයන් ඇතත් ඔවුන්ගේ ඇතැමෙක් වර්තමාන භවයට සමීප වූ හෝ අතීත භවය හෝ භව කිහිපයක් දකිති. ඇතැම් බාහිර තවුසෝ සතළිස් කපක් අතීත භව දකිති. ඉන් එහා දැකීමේ හැකියාවක් නැත. ඔවුන්ට වඩා නුවණ ඇති තථාගතයන් වහන්සේගේ ඇතැම් ශ්රාවකයෝ කල්ප සියයක් දක්වා අතීත භාවයන් ද මහා ශ්රාවකයෝ කල්ප ලක්ෂයක් අතීතය ද, අග්ර ශ්රාවකයන් වහන්සේ ඒකාසංඛ්ය කල්ප ලක්ෂයක අතීතය ද දකිති. පසේ බුදුරජාණන් වහන්සේ අසංඛ්ය දෙකක් හා ලක්ෂයක් අතීතය දකිති. බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ගණන් භව උත්පත්ති දන්නා වූ නුවණින් යුතු වෙති.
දිබ්බචක්ඛු ඥානය
ඒ ඒ භවයෙන් චුතව ඔවුන් කළ පින් පව් අනුව සත්ත්වයා සුගති, දුර්ගති දෙකෙහි උපදනා ආකාරය තථාගතයන් වහන්සේ දක්නාහ. එය තථාගත ඥාන බලයකි. එකිනෙකට මුහුණලා පිහිටි ගෙවල් දෙකක් සමීපයෙහි බලා සිටින්නකුට ගෙයින් ගෙට යන එන පිරිස් මනාව පෙනෙන්නාක් මෙන් ලෝකයෙහි සුගති දුගතිවලින් චුතව කර්මානුරූපව උපදනා සත්ත්වයෝ තථාගතයන් වහන්සේට දර්ශනය වෙති.
මෙම ඥානය ශ්රාවකයන්ට ද සාධාරණ ඥානයකි. වර්තමාන භවයේ චුතිය පමණක් දකින අනාගත උත්පත්ති නො දකින පුද්ගලයන් සත්ත්වයා මරණින් කෙළවර වන්නේ ය යන උච්ඡෙද දෘෂ්ටියට පත් වන බවත්, අතීත භවයේ චුතිය නොදැන වර්තමාන උත්පත්තිය පමණක් දක්නා සත්ත්වයෝ ශාස්වත දෘෂ්ටිය ගන්නා බවත් විශුද්ධි මාර්ගයෙහි දක්වා ඇත. එහෙත් සාමාන්ය මිනිස් හැකියාවන් ඉක්මවා ගිය ඉතා ම පිරිසිදු වූ දිව්ය නේත්ර ඥානයක් තථාගතයන් වහන්සේට ඇත. එය ඥාන බලයක් ද වේ.
ආසවක්ඛය ඥානය
තථාගතයන් වහන්සේ කාමා දී ආශ්රව ක්ෂය වීමෙන් ආශ්රව රහිත වූ අරහත්ඵල සමාධිය, අරහත් ඵල ප්රඥාව මෙම භවයේ දී ම සිය ඥානයෙන් අවබෝධ කොට ගෙන වාසය කරති. එය තථාගත බලයක් ද වේ. සියලු කෙලෙසුන් නසා උතුම් වූ සම්මා සම්බෝධිය පසක් කර ගත් බුදුරජාණන් වහන්සේ එතෙක් ලොවට විවර නොවූ ආසවක්ඛය ඥානය ලෝක සත්ත්වයාට සසරින් එතෙරවීම පිණිස පැහැදිලි කළ සේක.
මෙම තථාගත ඥාන බල දහය ශ්රාවකයන් තුළින් සම්පුර්ණයෙන් දැක ගත නොහැකි ය. ශ්රාවකයන්ට ඇත්තේ එම කාරණා පිළිබඳ සීමිත ඥානයකි. එහෙත් තථාගතයන් වහන්සේගේ මේ ඥාන බලය අසීමිත ය. උන්වහන්සේ ඒ පිළිබඳ ව අධිපති වන සේක. “බලෙසු වාසීභාවං පත්තෝ”යැයි උන්වහන්සේට පවසන්නේ එබැවිනි.
ගිංතොට සුගතනන්ද හිමි