බුදුරජාණන් වහන්සේ විසින් ලොවට වදාළ සිවුසස් දහමට අනුව සත්වයා මැරි මැරී උපදිමින් භවයෙන් භවයට ගමන් කිරීම සංසාරය ලෙස පෙන්වා දේ. සසර සැරිසරන සත්වයකුට ඉන්ද්රියයන්ගේ විකල භාවයකින් තොර අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනුයේ පූර්ව ආත්ම භාවයන්හි දී තිදොර හික්මවාගෙන සිදු කළා වූ මහා පින්කම් නිසා ය. මෙසේ අනවරාග්ර වූ බව ගමනෙහි දිගින් දිගට ගමන් කිරීමට හේතු වනුයේ අප සිත මනාව සකස් නොකර ගැනීම නිසා ය.
සිතෙහි ස්වභාවය නම් ස්වභාවයෙන් ම පිරිසිදු භාවයෙන් යුක්තවීම වුව ද, ඇස, කන ආදී සදොරින් ගන්නා අරමුණු හේතුවෙන් සිත රාග, ද්වේෂ, මෝහාදී ධර්මතා ඇති වීමෙන් අපිරිසිදු බවට පත් වේ. එසේ පිරිසිදුව තිබූ සිත කෙලෙසන්නා වූ ධර්මයෝ ‘කෙලෙස්’ යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙවැනි කෙලෙස් අප සිතෙහි නිරතුරුව ම හටගනී. මිනිස් සිත සාමාන්‍යයෙන් අකුසලයට බර වී පවතින හෙයින්, මේ භවය අසුරක් ගසන තරම් සුළු මොහොතක්වත් හොඳයි කියා අගය කිරීමට නොහැකි බව පෙන්වා දේ. මෙසේ සිතේ ඇතිවන කෙලෙස් එක්දහස් පන්සියයක් පමණ වේ. ඒ අතුරින් ‘මදය’ යනු එක් ධර්මයකි.
මත්වීම (මදය) යනු පුද්ගලයාගේ සිත තුළ ඇති වන මානයට, උඩඟුකමට හෝ යම් කරුණක් නිසා සිත උමතු කර ගැනීමට හේතු වන මානසික ස්වභාවයකි. පෙළ දහමට අනුව මත්වීම් විසි හතක් පමණ ධර්මයෙහි ප්‍රකාශව ඇත. ඒ සියල්ල මෙහි ලිවීම නොකළ හැකි බැවින් යොබ්බන මද, ආරෝග්‍ය මද, ජීවිත මද තුන පමණක් හැඳීන්වීමට අදහස් කරමි.
යෞවන මදය
තරුණකමින් මත්වීම යෞවන මදය වේ. සාමාන්‍යයෙන් මත්බවට පත්කරන්නා වූ දේ පාවිච්චි කිරීමෙන් මත් වූ විට අවශ්‍ය ම හැඟීම් පවා පහළ නොවීම ස්වභාවය වේ. මේ කාලයෙහි පෙරට වඩා මතෙන් උමතු වී, අපරාධ සහ දුසිරිත්හි යෙදෙන්නන් අඩු නැත. ඒ නිසා මත්වීම ගැන වැඩි විස්තර කිරීම අවශ්‍ය නැත. මිනිස් ජීවිතයේ තරුණ අවදිය යෞවන මදයෙන් මත්වන අවස්ථා වේ. එහෙත් මැනවින් සිහි බුද්ධිය තිබෙන තරුණ තරුණියෝ තරුණ මදයෙන් මත් නොවෙති. තරුණ කාලය ජීවිතයේ ස්වර්ණ යුගය (රන්වැනි අවස්ථාව) බව තේරුම් ගෙන ඉතා පරෙස්සමින් සහ සිහිනුවණින් යුතුව කල් ගත කෙරෙති. ඇතැමෙක් තමන්ගේ නොසැලකීම නිසා ස්වර්ණමය අවස්ථාව වනසාගෙන දෙලොවින් ම පිරිහී තව තවත් සසර දුකට භාජන වෙති. යෞවන මදයෙන් මත්වූවෝ මා පියාදී වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා නො පිළිගනිති. ඔවුන්ට ගරු සරු නොමැති ව කල් ගෙවති. විළිබියෙන් තොරව, තැන නො තැන පිළිබඳ තැකීමක් පවා නොමැති ව මිනිස් හැදියාව ඉක්මවා තිරිසනුන් මෙන් ක්‍රියා කරති. විහාර, පන්සල් ඇසුරෙන් තොර වී, පාපමිත්‍රයන් හා එක්ව නොසරුප් වැඩවල යෙදෙමින් අනාථ වෙති. දහමක් නොදැනීම හෝ බෞද්ධ පරම්පරාවේ දිගු කලක් පැවැතුණු සිරිත් ඉවත දමා පිරිහෙන වැඩවල යෙදී වෙසෙති. මෙකී ගති ඇති තරුණ පිරිස් විසින් නිතොර සිහි කළ යුත්තේ
“සබ්බං යොබ්බනං ජරාපරියොසානං” මගේ මේ තරුණ ජිවිතය පවතින්නේ ජරාව ළංවන තුරු පමණකි කියා ය. ජරා යනු දිරීම යි. යමක් දිරුවේ නම් එය ප්‍රයෝජනවත් වැඩකට යෙදිය නොහැකි ය. දිරාපත් වූ මිනිස් දිවිය අකර්මන්‍ය ය. වැදගත් වැඩ සඳහා යොදවන්නට නොපිළිවන් ය. ඇස් පෙනුම, කන් ඇසුම හා ශරීර ශක්තිය ඉතා අබලන් වේ. සිහි බුද්ධිය සහ නුවණ දුබල වන්නේ ය. මේ ආදී වශයෙන් දිරාපත් වූ විට තරුණ කාලය මැනවින් ගත නොකළා වූ අයට බලවත් පසුතැවිල්ලක් ඇතිවීම නිසැක ය. එවිට ඔහු නොකළ හොඳ ගැනත්, කළ නොහොඳ ගැනත් පසුතැවිල්ලෙන් යුතුව වාසය කොට මරුමුවට පිවිස පරලෝ වශයෙන් අපාගත වන්නේ ය. එසේ වුවහොත් තමන්ට ම තමන් හතුරු වී ජීවත්වීම බව පැහැදිලි ය.
ආරෝග්‍ය මදය
රෝගපීඩාවන්ගෙන් තොරව නිරෝගී සම්පන්නව ජීවත් වන්නා වූ සමහරුන් තුළ මේ ආරෝග්‍ය මදය පහළ වන්නේ ය. නොයෙක් දෙනා රෝග බහුලව වෙසෙතත් මට එබඳු ලෙඩ දුක් නොමැතැයි සිතා මත්ව සුචරිතයෙන් තොරවී, දුසිරිත්හි ගැලී වාසය කරති.
තමන් විසින් සසර දී කරන ලද කුසලකර්ම ශක්තියෙන් ලැබී තිබෙන නිරෝගිත්වය වැරැදි ලෙස පාවිච්චි කොට, මෙලොවත් පිරිහී, පරලොව ද අපාගතවීමට පාර සකස් කර ගන්නේ ය. තම සිත අපිරිසිදු වීම පමණක් නොව, සංසාර දුක තවත් දිග්ගස්සා ගන්නේ ය. යමෙක් “ව්‍යාධි ධම්මොම්හි ව්යාධිං අනතීතොති” මම ලෙඩවන ස්වභාව ඇත්තේ වී යැයි සිතා ලෙඩ දුක් ළං වනවාට කලින් නිරෝගීව වෙසෙන කාලය තුළ මනා ජීවිතයක් ගතකරමි යැයි ඉටාගෙන ජීවත් වුවොත් එය මහා සැනසුමෙකි.
ජීවිත මදය
මරණය අමතක කරන්නෝ ජීවිත මදයෙන් මත්වෙති. යමෙක් නොයෙක් දෙන මැරෙනවා දකිමින්, එහෙත් මා දැන් ම මැරෙන්නේ නැත කියා සිතමින් ජීවිත මදයෙන් මත් වී නොකටයුතු වූ පාපාදී වැරැදිවල යෙදෙති. කළ යුතු ව තිබෙන්නා වූ තමන්ටත්, අනුන්ටත් හිතකර වූ පින්කම් ආදී සුසිරිත්වලින් තොර වෙති. යමෙක් මරණය නිති මෙනෙහි කරනවා නම් ඔහු තුළ ජීවිත මදය පහළ වන්නේ නැත. “මරණධම්මොම්හි මරණං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං” යන බුද්ධාවවාදය අනුව මම මරණය ස්වභාව කොට ඇති කෙනෙක්මි. මරණය ඉක්මවාලිය හැක්කෙක් නො වෙමි යන හැඟීමෙන් කල් ගෙවිය යුතු ය. ඒ මරණය මා කරා කවදා, කොහොම, කොතැනක දී පැමිණේ දැයි කිව නොහැකි ය. මා නොසිතූ දවසක, නොසිතූ විදියකින්, නොසිතූ තැනක දී මරණය මා කරා පැමිණෙනු ඒකාන්ත ය. එබැවින් බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි, “අජේජව කිච්චං ආතප්පං කොජඤ්ඤා මරණං සුවෙ” අද ම කළ මනා වැඩ කළ යුතු ය. හෙටට නොතැබිය යුතු ය. හෙට මා කරා මරණය පැමිණේ දැයි දන්නේ කවරෙක් ද? යනු මැනවින් සිතා බැලිය යුතු ය. මෙසේ සිතා බලන්නවුන් ජීවිත මදයෙන් මත් නොවී, බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි,
අප්පමායු මනුස්සානං – හීලෙය්යනං සුපොරිසො
චරෙය්‍යාදිත්ත සීසො ව – නත්ථි මච්චුස්ස නාගමො
මිනිසුන්ගේ ආයුෂ ඉතා ටික ය. එය මහත් වශයෙන් ගණන් ගත යුතු නැත. හිසට ගිනි ඇවිලී තිබේ නම්, ඒ හිසේ ඇවිලෙන්නා වූ ගින්න නිවා ගැනීම පිණිස යම් තරම් ඉක්මනට ක්‍රියා කළ යුතු වේ නම්, එතරම් ඉක්මනින් පිරිය යුතු ගුණ දහම් පරිපූර්ණ කළ යුතු ය යන බුද්ධ වචනය ගරු තන්හි තබාගෙන ක්‍රියා කළ යුතු ය.
ඒ සඳහා අත්‍යවශ්‍ය ම දෙයක් නම් අප්රමාදී බවයි. ප්‍රමාදය නම් පස්කම් සුවයෙහි ඇලී ගැලී වෙසෙමින් ගුණදහම් පිණිස කිසි සැලකිල්ලක්, ඕනෑකමක් නොමැතිව විසීමයි. ප්‍රමාද ස්වභාව තිබෙන පුද්ගලයා තව තවත් සසර දිග්ගස්සා ගැනුමට ක්‍රියා කරනවා මිස, මනා සිහි බුද්ධියෙන් යුතුව ගුණ දහම් වගා කර ගැනීම පිණිස උනන්දු නොවන්නේ ය. “පමාදො මච්චුනො පදං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ, සංසාරය දිග්ගැස්සීමට මඟ ප්‍රමාදය බවයි. ප්‍රමාදයට විරුද්ධ ධර්මය අප්‍රමාදය යි.
අප්‍රමාදය නම් කුසල් දහම්හි නොපමා බවයි. “අප්පමාදො අමතපදං” යන වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්නුම් කොට වදාළේ නිවන් සුවය පිණිස මාර්ගය බවයි. බුදුරජාණන් වහන්සේගේ අවසාන අවවාදය ද, “වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” සංස්කාර සියල්ල ම විනාශවන ස්වභාවයෙන් යුතු ය. එබැවින් සවිඤ්ඤාණක වූ ද, අවිඤ්ඤාණක වූ ද, සංස්කාරයන්හි නොඇලී, මනා සිහි සැලැකිලි උපදවාගෙන නිවන්මඟ පිළිපදින්නැයි වදාළ සේක. පස්කම් සුවයෙහි ම යෙදී බැ¼දී ක්‍රියා කරන්නා වූ කුසලාදී ගුණ දහම් විෂයයෙහි සිහිසැලකිලි නොමැති අයට නූපන් අකුසල් ඉපදවීමටත්, උපන් කුසල් පිරිහීමටත්, ප්‍රමාදය හා සමාන වෙන දහමක් නොමැත යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එසේම “පමත්තස්සහි චත්තාරො අපායා සකගෙහ සදිසා” යන විසින් ප්‍රමාදශීලී පුද්ගලයාට සතර අපාය සිය නිවෙස බඳු යැයි සඳහන් වන බැවින්, ප්‍රමාදශීලි පුද්ගලයාට අයිති වන වාසස්ථානය සතර අපාය බව සඳහන්ව ඇත.
මෙකී ප්‍රමාදය සිත කිළිටි කරනවා පමණක් නොව, දෙලොවින් ම පිරිහීමට ද නිවනින් ඈත්වීමට ද හේතු වන්නේ ය. එනිසා සිත තුළ හට ගන්නා වූ මෙවැනි ළාමක අකුසල දහම් හඳුනාගෙන තම සිත මැනවින් සකස් කර ගැනීම තුළින් දෙලොව ම ජය ගෙන නිවන් සුවයෙන් සැනසීමට ද මඟ සැලසේ.