අප භාග්යවතුන් වහන්සේ වදාළ පරිදි මේ ලොව ධර්මය ශ්රවණය කරන පුද්ගලයන් කාණ්ඩ තුනකි. එයින් එක් කාණ්ඩයක් මුල, මැද, අග පිරිසිදු, ඉතා ම වටිනා, මිහිරි ශ්රී සද්ධර්ම දේශනා අසන පිරිසයි. නමුත් මුල සිහි කරන්නෙත් නැති, මැද සිහි කරන්නෙත් නැති, අග සිහි කරන්නෙත් නෑ. ඒ කියන්නේ බණ අහනවා ම විතරයි.
තව කාණ්ඩයක් මේ මිහිරි ශ ී්ර සද්ධර්ම දේශනා අසමින්, ඒ මොහොතේ මෙනෙහි කරයි. නමුත් නැවත නැවතත් එම ධර්මය සිහි නොකරයි. තුන්වැනි කාණ්ඩය මිහිරි ශ්රී සද්ධර්මය අසමින්, හොඳීන් ඒ ගැන මෙනෙහි කරමින්, වචනයෙනුත් එය පුරුදු කරමින්, සිතින් නැවත නැවතත් මෙනෙහි කරයි.
මේ සසර මඟ නිසි ප්රතිඵල ලබන්න නම් මෙම පුද්ගල කාණ්ඩ තුනෙන් තුන්වැනි කාණ්ඩයට අයිති වෙන්න ම ඕනෑ. ධර්මය දේශනා කරන වෙලාවේ පමණක් එය අසා සිටිමින් මෙනෙහි කළාට බැහැ. ධර්මය ඇසුවාට පසුවත් ඔබේ ජීවිතය පුරා ම ධර්ම මනසිකාරය හදා ගන්න, ආශ්රවයන්ගෙන් (කෙලෙස්වලින්) හිත මුදා ගන්න පුරුදු විය යුතුයි.
අඩුම තරමේ මේ බුද්ධ ශාසනයේ සෝවාන් වෙන්නවත් පුළුවන් නම් කියලා ඔබට හිතුණා ද? අපේ අරමුණ විය යුත්තේ මාර්ගඵලයකට පැමිණීමයි. භාග්යවතුන් වහන්සේගේ පණිවිඩය නිවැරැදිව ක්රියාත්මක කළ, ඒ පණිවිඩයට අනුගත වූ කෙනකු බවට පත් වන්නේ එවිටයි. එසේ නම් ධර්ම දේශනා අසා දිව්ය ලෝකයේ යන්න වෑයම් කරනවාට වඩා වටින්නේ එකම මාර්ගඵලයක් හරි ලබා ගැනීමයි.
සම්මා දිට්ඨිය සෑම මොහොතක ම සීලයෙන් අනුග්රහ ලබන්නක් විය යුතුයි. අප තුළ තිබෙන්නේ ලෞකික සම්මා දිට්ඨියයි. ලෞකික සම්මා දිට්ඨිය ඇති නිසා අපි නිතර ධර්මය ශ්රවණය කරමු. නමුත් ලෞකික සම්මා දිට්ඨිය පමණක් තිබීම නිවනට ප්රමාණවත් නොවේ. අප ඇති කර ගත යුත්තේ ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වෙනවා යනු චතුරාර්ය සත්ය පිළිබඳ දැන ගැනීමයි. එනම් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධයේ ඥානං, දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ඥානං.
දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්ය පිළිබඳ දැන ගැනීමයි. එසේ නම් බෞද්ධ අපි වෑයම් කළ යුත්තේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවා ගැනීමටයි. භාග්යවතුන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි, ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට නම් සෑම මොහොතකම කරුණු පහකින් අනුග්රහය ලබා ගැනීම අවශ්ය බවයි. එයින් කරුණු තුනක් මෙලෙස විග්රහ කළ හැකියි. එහි පළමු වැන්න සීලානුග්ගහිතා. සෑම මොහොතකම සම්මා දිට්ඨියට සීලයෙන් අනුග්රහය ඇති කර ගන්න. සීලය නොමැතිව අපට කවදාකවත් නිවන් දකින්න බැහැ. සීලය කියන්නේ පරිපූර්ණ වූ නිවන නොවෙයි. සීලයෙන් පමණක් නිවන් දකින්නත් බැහැ. ඒ නිසා සීලයෙන් සෑම මොහොතක ම අනුග්රහය ඇති කර ගන්න. පන්සිල්, දස සිල්, අටසිල් ආරක්ෂා කරන පිරිසක් බවට පත් වෙන්න. සිල් රකින්න රකින්න සමාධිය ගොඩනැඟෙනවා.
දෙවැන්න සුතානුග්ගහිතා. ධර්මය ශ්රවණයෙන් සෑම මොහොතක ම අනුග්රහය ඇති කර ගන්න. ධර්මය ශ්රවණය කරන්නේ නැතිව සම්මා දිට්ඨිය ඇති කර ගන්න පුළුවන්කමක් නැහැ. ධර්මය ශ්රවණය කිරීම නිතර ම පුරුදු පුහුණු කරන්න අවශ්යයි. ධර්මය ශ්රවණය කරන්න, ශ්රවණය කරන්න ඔබ තුළ සුතමය ඥානය දියුණු වෙනවා.
සුතමය ඥානය යනු අහන්න, අහන්න අප තුළ වැඩෙන ප්රඥාවයි. චින්තාමය කියන්නේ ඒ අහන ධර්මය මනසින් නැවත නැවත මෙනෙහි කරන්න, මෙනෙහි කරන්න වැඩෙන ඥානයයි. භාවනාමය ඥානය කියන්නේ සිතින් සිතන දේ නැවත නැවත වඩන්න වඩන්න, භාවනා වශයෙන් පුරුදු කරන්න ඔබ තුළ ගොඩනැඟෙන ඥානයයි.
ධර්මය ශ්රවණය කිරීම හැකි තරම් සිදු කරන්න. සමහරු කියනවා, සිල් රකින්න ඕනෙ නෑ, ධර්මය ශ්රවණය කරන්න ඕනෙත් නෑ නිවන් දකින්න කියලා. නිවන් දකින්න නම් භාවනාව ම ඇති කියන පිරිසකුත් ඉන්නවා.
තුන්වැන්න සාකච්ඡානුග්ගහිතා. මෙයින් කියැවෙන්නේ ධර්මය නිතර නිතර සාකච්ඡා කරන්න අවශ්යයි කියන එකයි. ධර්මය සාකච්ඡා කරන්න, සාකච්ඡා කරන්න ඒ පිළිබඳ උපදින සැකය අතහැර ගන්න පුළුවන්කම ලැබෙනවා. සමථය කියන්නේ තාවකාලිකව හිත කෙලෙසුන්ගෙන් යටපත් කරන එකයි. විදර්ශනාවෙන් කරන්නේ නැවත කවදාකවත් සිතේ කෙලෙස් අකුසල් නූපදින තත්ත්වයට සම්පූර්ණයෙන් ම හිත කෙලෙසුන්ගෙන් මුදා ගැනීමයි. භාග්යවතුන් වහන්සේගේ මේ කාරණා උපමාවකින් පෙන්වා දෙනවා.
එක මනුස්සයකුට මිහිරි අඹ ඇටයක් ලැබෙනවා. ඒ දක්ෂ මනුස්සයා කළ යුත්තේ එම මිහිරි අඹ ඇටය සුදුසු තැනක පැළ කිරීමයි. එම අඹ ඇටය පැළ කිරීමට සුදුසු භූමියක් නොතිබ්බොත් එයින් නිසි පල ලබන්න බෑ. සුදුසු භූමියක පැළ කරන මේ අඹ ඇටයට නිතර වතුර දැම්මොත් පමණයි සරු පැළයක් ලැබෙන්නේ. මේ පැළේ ටිකෙන් ටික වැඩෙන කොට වටපිටාව පිරිසිදු කරන්න ම ඕනෑ. ටික දවසකින් මේ ගහට විවිධ කෘමි සතුන් එන්න පටන් ගන්නවා. ඒ සතුන් පලවා හරින්නත් ඕනෑ. ගහේ ඇති වන පිළිල ඉවත් කරන්නත් ඕනෑ. මේ සියලු දේ හරියට කළොත් පමණයි ඒ අඹ ගසෙන් සාර්ථක ඵලයක් නෙළා ගන්න පුළුවන් වෙන්නේ.
ඔබට මට ලැබෙන මේ මිහිරි ම අඹ ඇටය වගේ මිහිරි ම දෙය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට පත් වූ අපට එය දියුණු කර ගන්න නම් සීලය නැමති සුදුසු බිමක් අවශ්යයි. සීලය අපේ සීමාවයි.
පහාරාද සූත්රයේ දී භාග්යවතුන් වහන්සේ වදාළේ “පහාරාද ඔබ සිහි කරන්න සාමාන්ය අවස්ථාවක දී මහ මුහුදෙහි රළ වෙරළ ඉක්මවා එගොඩට එන්නෙ නැහැ. පහාරාද අන්න ඒ වගේ මේ ශාසනෙත් මගේ ශ්රාවකයෝ සීලය නැමති වෙරළ ඉක්මවා කවදාකවත් එහා පැත්තට යන්නේ නැහැ. ඔබේ ජීවිතයේ, මගේ ජීවිතයේ සීමාව තමයි සීලය කියන්නේ. එයින් එහා පැත්තට යන කෙනාට විමුක්තියක් ලැබෙන්නේ නැහැ. අපේ නිජ බිම වෙන්න ඕනෑ සීලය. එම නිජ බිමේ ඉන්න ඔබ ද, මා ද ධර්මය නැමති දියෙන් නිතර ම තෙත් වෙන්න අවශ්යයි. ධර්මය නැමති අමා දිය අපේ මේ ජීවිතයට නිතර ම ඉහගන්න අවශ්යයි. ඒ වෙනුවෙන් මිහිරි ශ්රී සද්ධර්මය අහන්න.
දිල්හානි ජයවර්ධන