ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
නිවස විශේෂාංගපරිසරයට දැනෙන සතිය

පරිසරයට දැනෙන සතිය

by damith
October 25, 2026 1:05 am 0 comment

උඩුඊරියගම ධම්මජීව හිමි

එදිනෙදා ජීවිතයේ වැඩ කරන කොට අපි කොහොමද සතිය ගැන දන්න දේ යොදවන්නේ කියලා අද ටිකක් වෙනස් විදිහට බලමු. සාමාන්‍යයෙන් කියන්නේ තමන් තනියම කරන වැඩවල දී සතිය පුහුණු වීම ආරම්භකයකුට සුදුසු බවයි. ඒ වෙලාවට තනියම නිසා බාහිරයෙන් එන බලපෑම අවමයි. ක්‍රියාවත් බොහොම සරල, දත් මදිනවා වගේ ක්‍රියාකාරකමක් නිසා වේගයෙන් කළ යුතු ක්‍රියාකාරකමක් නොවෙන නිසා හෙමින් කරන්න පුළුවන් බව අමතර වාසියක්.

ඒ වගේම සතිමත් වෙන අතරේ අසතිමත් වෙන වෙලාව වුණත් පාඩමක් විදිහට ජීවිතයට එකතු කර ගන්න පුළුවන්. අසතිය ගැන නොසැලී සිටීම, එවැනි අසතිමත් අවස්ථා මට වගේම අනිත් අයටත් සිදුවෙන බව වටහා ගැනීම සහ ඒ නිසා තමන්ගෙන් සිදුවෙන අසතිමත් වැඩ ගැන තමන්ට සමාව දෙන්න පුළුවන් ගතිය වගේම වෙන කෙනකුගෙන් සිදුවන එවන් ක්‍රියාවලට සමාව දිය හැකි වීම සතිය වඩන විට අසතිය දැන ගැනීමේ වාසි විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

තවත් ටිකක් විස්තර කර ගත්තොත් මා ළඟ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන එකිනෙකට පරස්පර දේවල් ප්‍රිය කරන සතුන් හය දෙනෙක් වගේ අනෙක් කෙනා ගැන නොසිතන, තමන් ගැන පමණක් හිතන ආයතන හයක් තියෙනවා. අනිත් අය ළඟත් ඒ විදිහට ම සතුන් හය දෙනෙක් ඉන්නවා. ඒ සත්තු හිතූ හිතූ විදිහට වැඩ කරනවා කියන කාරණය දැනගෙන, ඒ ගැන සලකා සමාජගත වැඩක් නැත්නම් පොදු කණ්ඩායම් වැඩක් කරන අතරතුරේ හෝ දෙතුන් දෙනකු කරන වැඩක දී සිදුවන අතපසු වීම් නොහොඳ නෝක්කාඩුවලට තමන්ටත්, අනුන්ටත් සමාව දෙන හැකියාව දියුණු වෙනවා.

සතිය පුරුදු කරන කෙනෙක් ඒ ගැන නොදන්නා කෙනෙක් එක්ක ඉන්න කොට සමහර වෙලාවට මාන්නයකින්, ආඩම්බරයකින් එයාට වඩා මම හොඳයි කියලා හිතන්න නැත්නම් ඒ කෙනා කරන වැඩ දිහා බලා සංවේදී භාවයක්, සහකම්පන පිළිබඳ සංවේදී බවක් ඇති කර ගන්න. එහෙමත් නැත්නම් ඒ කෙනාගේ ක්‍රියාකලාපයෙන් පාඩමක් ඉගෙන ගන්න ඉඩ තියෙනවා. නමුත් මේ සියල්ලට ම වඩා මම මේ කෙනාට ප්‍රියමනාප ලෙස හැසිරී ඒ කෙනාගේ හිත දිනා ගෙන කවදා හෝ “ඔයා කොහොමද මේ විදිහට ක්‍රියා කරන්නේ” කියලා අහන වෙලාවක් උදා කර ගන්න. ඒ වෙලාවට “සතිමත් වීම තමයි මගේ මේ හැසිරීමට නැත්නම් සතිය පුහුණු කිරීම නිසා මා තුළ මෙවැනි වෙනසක් ඇති වුණා කියලා කියන්න” ඒ අනුව අවස්ථාවක් ලබා ගෙන එයාටත් මේ සතිය කියන පාඩම කියා දෙන්න. එහෙම අවස්ථාවක් අරගෙන කියා දෙනවා කියන්නේ අකමැති කෙනකුට බලෙන් කියලා දෙන්න පොළඹවන්න හදන එකක් නොවේ.

ඒ නිසා අපි පොදුවේ වැඩ කරන වෙලාවේ දී කාගේ හරි සිත් ගන්නා සුලු විදිහට වැඩ කරගෙන යන්න කොහොමද සතිය උදව් වෙන්නේ කියලා බැලුවොත් ඒක අමුතුවෙන් පුහුණු වෙන එකක් කියලා කියනවාට වඩා ඉබේ වැඩෙන එකක් විදිහට තමයි කියන්න පුළුවන්. ටිකක් විස්තර කළොත් සතිය පුහුණු කරන වැඩපිළිවෙළ හිතට සම්බන්ධ වුණාට පස්සේ ඒ පුහුණුවෙන් අපට මේ වැඩේ කරලා දෙනවා. සතිමත් වීමෙන් අපට අවස්ථාව ලබා දෙනවා යමක් කරන්න කලින් ටිකක් හිතන්න. ඒ නිසා නපුරු වැඩවලින් නිකම්ම ඉවත් වෙන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ තේරිලා නොවෙයි. මේ සතියෙන් ගත කරන්න ගත කරන්න වෙන දෙයක්. අපි දැන හෝ නො දැන හෝ කිසියම් කෙනකුට හිත ‍‍රිදෙන වැඩ කෙරෙනවා නම් හෝ වචන කියැවෙනවා නම් ඒවා ඉබේම අඩු වෙනවා. ඉතින් ඒ අඩු වීම අපට නොදැනුණාට අපත් එක්ක ඉන්න සමාජයට සමහර විට ගහ කොළවලට සහ තිරිසන් සතුන්ට පවා තේරෙනවා. අන්න ඒ තේරුම් ගැනීම අපේ අයිතියක් කියා හිතන්න බැහැ. මොකද ඒ සතිය වැඩෙනකොට ලෝකයට ලැබෙන ගුණයක්, විපාකයක් විදිහට ලැබෙන ආනිසංසයක්. මේ වෙනස තේරුම් ගත්ත කෙනෙක් “ඔයා ඉස්සර නම් දේවල් ගැන, සිද්ධි ගැන, පුද්ගලයන් ගැන තැකීමක් නැතුව වැඩ කළා. නමුත් දැන් වෙනස් වෙලා. නැවතිලා අනිත් අය ගැන සැලකිල්ලෙන් වැඩ කරගෙන යන ගතියක් තියෙනවා. ඔයාගේ වැඩ කටයුතුත් හරි නිශ්ශබ්දයි” කියලා කියන්න ඉඩ තියෙනවා.

ඒ වගේ අහන වෙලාවක අපට හොඳ අවස්ථාවක් ලැබෙනවා අපේ වැඩපිළිවෙළ ගැන කියලා දෙන්න. අපි ගිහිල්ලා කෙනකුට බලහත්කාරයෙන් කියලා දෙනවාට වැඩිය මගේ ගුණයක් දැක කෙනෙක් විමසන විට කියලා දෙන එක වටිනවා. පළමු කාරණය බලෙන් කියලා දෙනවා නම් අහන කෙනාගේ හිතේ ප්‍රසන්න මනසක් නැහැ. එයාගේ මේ වැඩපිළිවෙළ ගැන පැහැදීමක් නැති වෙන්න පුළුවන්. සතිය ගැන කියා දීමට ප්‍රවිෂ්ඨයක් ගැනීම එයාගේ ආරාධනාවක් අනුව සිදුවෙන විට ඒ හිත යමක් ඇසීමට සූදානම් වෙලාවක්. ඉතින් එතකොට පුළුවන් පාසලේ නම් පන්තිය ම නැත්නම් ගෙදර හැමෝම එකතු වෙලා, නැත්නම් රැස්වූ පිරිසට කියා දෙන්න සතිය ක්‍රියාකාරකමක් විදිහට කරන්නේ කොහොමද කියලා. එදිනෙදා වැඩකට සම්බන්ධ කරලා ඉගෙන ගන්නේ කොහොමද කියලා.

සතිමත් කෙනා, නැත්නම් සතිමත් වෙන්න උත්සාහ කරන කෙනා තුළ ක්‍රමයෙන් දියුණු වෙන ගුණාංග අතර අරපිරිමැස්ම ඉහළ ගුණාංගයක්. අපේ තිබූ පැරණි සම්ප්‍රදායානුකූල ක්‍රමය තමයි තියෙන දේ බොහොම ආරක්ෂාවෙන්, අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම. බෞද්ධයෝ අහලා තියෙනවා, විශාකා මහා උපාසිකාව වළං සෝදපු හැටි ගැන කියන කතාව. එවකට තිබුණු ඉන්දියානු සම්ප්‍රදායට අනුව විවාහ කර ගැනීමට සුදුසු, නුසුදුසු බව බැලීම සඳහා පිරිමි පාර්ශ්වය ශිල්ප දැක්වීමත්, කාන්තා පාර්ශ්වය ගේ දොර වැඩ, අරපිරිමැස්ම වගේ ගුණ පෙන්වීමත් භාවිත කර තිබුණා. විශාකාව විවාහ කර ගැනීමට පැමිණි විට වළං සේදීම එක පරීක්ෂණයක් වුණා. ඇය ගඟ ළඟට ගිහින් එක භාජනයකට වතුර ගෙන එක එක වළඳ ඒ වතුරෙන් සෝදා බොහොම අරපිරිමැස්මෙන් වතුර පාවිච්චි කළා මිස ගඟ තියෙන නිසා ගඟ අපිරිසිදු වෙන ලෙසට ගඟට බැහලා වළං සේදුවේ නැහැ. ඒ වගේ අපේ මුතුන් මිත්තෝ ස්වභාව ධර්මයට අයිති හැමදේම වතුර, ගින්දර පවා අරපිරිමැස්මෙන් පරිහරණය කළා. ඉතින් ඒ වගේ අපට පුළුවන් දේවල්වල භාවිතය අඩු කරන්න. මේ වැඩපිළිවෙළටත් සතිමත් බව උපකාර වෙනවා.

ඒකේ ලජ්ජා වෙන්න දෙයක් ඇත්තේ නැහැ. විශේෂයෙන්ම අපි වගේ මේ ලංකාව වගේ රටවල ඉන්න අයට මේවා හුරු දේවල් නැවත භාවිතයට ගැනීම. එහෙම නැත්නම් ඒ විසි කරපු දේ ප්‍රයෝජනයට ගැනීම. බටහිර රටවලත්, ගේ දොර උපකරණ, බයිසිකල් වැනි දේ පාවිච්චි කර අවසන් වූ විට සතියකට වරක් පාර අයිනේ ගොඩ ගසා තියෙනවා. තමන්ට අවශ්‍ය උපකරණය ගෙන යාමට ඕනෑම කෙනකුට අවසර තියෙනවා. මේ ආකාරයට නැවත නැවත පාවිච්චිය පරිසරය රැක ගැනීමටත් උදව් උපකාර වෙනවා.

මීළඟ ලිපියෙන් සතිමත්බව පුරුදු කිරීම ගැන තව දුරටත් කතා කරමු.

You may also like

Leave a Comment