ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
නිවස විශේෂාංගපුරපෑලවිය සඳ

පුරපෑලවිය සඳ

by Thanushika
October 25, 2026 12:26 am 0 comment

දානියෙල් මහතා පිටත්වූ පසු ත්‍රීවීලරයක් ගෙන්වාගත් ධම්මාලංකාර හිමියන් වැඩම කළේ කොහිදැයි සාමණේරයන් කිසිවක් නොදනී. සුදු බබා ද ඒ සමඟ ම පිටත්ව ගිය බැවින් හිතට දැනෙන්නේ සහනයකි. තාමත් කන් පෙත්ත අතගා බැලූ විට නියෙන් තද කළ තැන පුපුරු ගා රිදෙන්නේ ය.

සිරිමල් මාමාගෙ ගොමස්කඩ ටික සෝදා දමන්නට සිතා ඔහුගේ කාමරයට ගියත් එහි ඔහු නැත. ඇඳෙහි හා ඒ අවට විසිර තිබූ සරම් කඩමලු කිහිපයක් හා කමිසයක් ද, තුවායක් ද, කිළිටි යැයි හඳුනාගත් සාමණේරයන් එ්වා පෙඟෙන්නට දැමීය. ඒවා බෙහෙත් තෙල් ගඳින් හොඳටෝම ගඳගැසී කිළිටිව තිබේ.

සෝදන කුඩුවල පෙගෙන්නට දැමූ පමණින් ඇඳුම් සේදීමක් නැත. විනාඩි විස්සක් පමණ කාලයක් එසේ ම තබා පසුව සේදීම ආරම්භ කළ යුතු ය. ඒ බව තමාට කියා දුන්නේ ඉතා කුඩා කාලයේ ම තාත්තා වෙනුවට ආ බාප්පා විසිනි. හරියට කහට පැල්ලමක් හෝ නොගිය විටක වයර පහර කිහිපයක් පිට හරහා තදින් ම ලැබුණා සාමණේරයන්ට හොඳ හැටි මතක ය.

“දමිත, මමත් උදව් වෙන්නද?”

නන්ද හාමුදුරුවන් ළඟට ම වැඩමකොට කතා කරන තෙක් සාමණේරයන් දුටුවේ නැත. ඒ රෙදි සේදීමේ යෙදී සිටි නිසාවෙනි.

“මට පුළුවන් නන්ද හාමුදුරුවනේ. තව චුට්ටයි…” සාමණේරයන් පවසන්නේ සිනාසීගෙන ය. ඒ සිනාව අව්‍යාජ ය. අවිහිංසක ය.

ඇඳුම්වල කුණු ටිකෙන් ටික වතුරෙන් සේදී පිරිසිදු වෙයි. නමුත් එසේ සෝදා මිනිසුන් පිරිසිදු කළ නොහැකි ය. තරමක් හෝ පිරිසිදු කළ හැක්කේ මිනිසුන්ගේ කය පමණි. සිත පිරිසිදු කිරීමට සේදීමකින් කිසිසේත් ම නොහැකි ය.

“ඔන්න, දමිතට අලුත් සහෝදරයෙක් ලැබෙන්නයි යන්නෙ….”

සේදූ රෙදි වැලේ දමමින් සිටි සාමණේරයෝ ආපසු හැරී බැලුවේ කියූ දේ කුමක්දැයි හරියට නොතේරුණ නිසා ය.

“අම්මා ඇවිල්ල ද නන්ද හාමුදුරුවනේ…”

දමිතගේ ඇස් දෙක දිලිසෙයි.

ගෙදර දී නම් නංගී කෙනෙක් හෝ මල්ලි කෙනෙක් හෝ එක්කන් එනවා යැයි අම්මා කී විට තමන් කොයිතරම් සතුටින් සිටියත් ඔවුන් පැමිණීමෙන් පසු සිදුවූයේ බාප්පාගෙන් තමන්ට ලැබුණු දුක්ගැහැට තව තවත් වැඩිවීම්ම පමණි. නංගී හෝ මල්ලී හෝ බඩගින්නේ හැඬුවත් වරදකරු වී ගුටි කෑවේ තමන් ම ය.

අම්මා සිහි වූ සාමණේරයන්ගේ ඇස්වල කඳුළු ය. ආදරයක උණුසුමක් ලැබුණේ අම්මා ළඟ ම පමණකි.

සාමණේරයන්ගේ බලාපොරොත්තුවෙන් දිලිසෙන නෙත් දෙක දුටු නන්ද හිමියන්ට දැනුණේ මහත් දුකකි.

“අනේ නෑ දමිත, දමිතට පැවිදි සහෝදරයෙක් ලැබෙන්නයි යන්නෙ…..” හිමියන් එසේ වදාළේ සාමණේරයන්ගේ හිස ද අතගාමිනි.

මොහොතකට පෙර නැඟ ආ සියලු පැරණි සිතිවිලි උපේක්ෂාවෙන් යටපත් කොට දැමූ සාමණේරයෝ ඒ කවුදැයි අසති.

“වෙන කවුද ඉතින් දමිත… සුදු බබා මිස. සුදු බබා මහණ කරන්න නැකැත් බලන්නනෙ ඔය ධම්මාලංකාර හාමුදුරුවො වැඩම කළේ….”

දානියෙල් මහතා පැමිණ ඉගෙන ගන්නා සාමණේරයන් වහන්සේ නමකට කැපකරු පියකු වීමට කැමැත්ත පළ කළ බැව් දන්නේ ලොකු ස්වාමීන් වහන්සේත්, ධම්මාලංකාර හාමුදුරුවෝත් පමණි. දැනට පිරිවෙනක ඉගෙන ගන්නා සාමණේර කෙනකුට සිටින්නේ දමිත සාමණේරයන් පමණි. දානියෙල් මහතා යනු හොඳ ඉල්ලමකි. බරසාර ලොකු අත්තකි. ලැබුණොතින් ඇලඩින්ගේ පහනේ භූතයා ලැබුණා හා සමාන ය. ඒ ලැබීමත් කොහෙවත් ඉන්නා නිකමකුට ලබා දී බැරි ය. හිමියන්ගේ කැමැත්ත ලැබෙන ඕනෑම දෙයක් තමන්ට නැති නම් තමන්ගේ කෙනකුට ම ලැබෙනවාට ය.

පැවිදි වීමේ කිසිදු සූදානමක් නොතිබූ සුදු බබා පැවිදි කරවීමට හිමියන් උනන්දු වන්නේ ඒ ඉල්ලම ගැරීමට බලාපොරොත්තුව ය. වෙතොත් වන්නේ සුදු බබාටත් තමාටත් යන දෙන්නාට ම යහපතකි යැයි ධම්මාලංකාර හිමියෝ සිතති.

වේලාපත්කඩය අතට ගත් ගුනේරිස් මොන මොනවාදෝ ලිය ලිය හදයි. පෙනෙනා විදියට මොනවාදෝ එකතු කරනවා සහ අඩු කරනවා වැනි ය. ඒ අතරතුර වරක් දෙවරක් උපැස් යුවළ පහත්කොට සුදු බබා දෙසත් උකුසු ඇස යොමනු පෙනේ.

“අපේ හාමුදුරුවනේ,…… මේ වේලාපත්කඩේ නම් ශ්‍රමණ යෝගයක් නම් යෙදිලා නෑ… දේහ ලක්ෂණවලත් එහෙම යෙදුමක් නෑ…”

“මොකක් උන්නැහේ, හොඳට බලන්න…. ඩිංගක් හොඳට බලන්න…”

මතු සම්බන්ධයි

You may also like

Leave a Comment