මල්වතු සහ අස්ගිරි යන උභය මහා විහාරයීය ශ්රීමත් මහ නායක මාහිමිපාණන් වහන්සේ ප්රමුඛ ගිහි භාරකාර දියවඩන නිලමේතුමන් වෙත පැවරී ඇති පරම පූජනීය වගකීම දළදා වහන්සේ ආරක්ෂා කිරීමයි. තත් ඓතිහාසික කාර්යභාරය මනාව සිද්ධ කරමින් විදේශීය ආක්රමණ මෙන් ම යටත්විජිත පාලන සමයේ එල්ල වූ අභියෝග හා 1818 නිදහස් අරගල කාලසීමාව තුළ දී ද එවකට වැඩසිටි මහ නාහිමිවරුන් වහන්සේ ජීවිත පරිත්යාගයෙන් යුතු ව දන්ත ධාතුන් වහන්සේ රහසිගත ස්ථාන කරා වැඩම කරවමින් රැක ගත්හ.
උභය මහාවිහාරයේ ශ්රීමත් මහ නායක මාහිමිපාණන් වහන්සේ ප්රමුඛ දියවඩන නිලමේවරයාගේ මෙම ඓතිහාසික කාර්යභාරය සම්පූර්ණයෙන් ම ක්රියාත්මක කරනුයේ,
1.ජීවමාන බුදුරදුන් හා සමාන වූ දන්ත ධාතුන් වහන්සේගේ දිගුකාලීන ආරක්ෂාව සහ පාරිශුද්ධත්වය උපරිමයෙන් තහවුරු කිරීම
2.චිරාගත තේවා චාරිත්ර හා
වත්පිළිවෙත්හි ගෞරවනීය අඛණ්ඩතාව පවත්වා ගැනීම
3.දළදා වහන්සේ උදෙසා පූජා කරන ලද පූජෝපකරණයන් ඇතුළු වස්තු අනාගත පරපුරේ වන්දනාමානය සහ ඓතිහාසික සුරක්ෂිතතාව උදෙසා සංරක්ෂණය කිරීම යන අරමුණු පෙරදැරි කර ගෙන බවට දළදා ඉතිහාසය හා සබැඳි මෑතකාලීන වර්තා තුළින් සනාථ වේ. එපමණක් නොව, 1998 ජනවාරි මස 25 වැනි දා එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් ශ්රී දළදා මාලිගාවට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් පසුව ද, උභය මහා විහාරීය මහා නායක හිමිපාණන් වහන්සේ වහා මැදිහත් වී ධාතුන් වහන්සේගේ නිරුපද්රිතභාව තහවුරු කරමින් ශ්රී දංෂ්ට්රා ධාතු මන්දිරය ලෝකවාසී සමස්ත බෞද්ධ මහජනතාවගේ සිත්සතන් බුද්ධාලම්භන පී්රතියෙන් පහන් වන ආකාරයට ශ්රී දළදා මාලිගාව ප්රතිසංස්කරණය කිරීමට කටයුතු කළහ.
ශ්රී දළදා මාලිගාව යනු ජීවමාන සිද්ධස්ථානයකි. දිනපතා ශ්රී දළදා වහන්සේ උදෙසා තේවා වත්පිළිවෙත් හා රාජකීය පූජෝපහාර අඛණ්ඩව ඉටු කෙරෙන අසමසම සිද්ධස්ථානයකි.
සෙංකඩගලපුර වැඩවසන දළදා වහන්සේ මෙන්ම වැඩහිඳින දළදා මාලිගාව සම්බන්ධයෙන් 19 වැනි සියවසේ වාසය කළ වෛද්ය ජෝන් ඩේව් විසින් රචිත ‘දිවයිනේ චාරිකා’ පිළිබඳ ග්රන්ථයෙහි “දළදා මාලිගාව වූ කලි රාජ්ය පිළිබඳව වූ පූජනීය ම ස්ථානය බවත්, බුදුරජාණන් වහන්සේගේ වාම ශ්රී දළදා වහන්සේ වැඩ වෙසෙන අති උතුම් පූජනීය ස්ථානය බවත් සඳහන් කරයි.
එහි රජ කළ නරපතීහු බුදුරජාණන් වහන්සේගේ වාම ශ්රී රදනක දන්ත ධාතුන් වහන්සේට මුළු රාජ්යය ම පූජා කොට ඇත.
සෙංකඩගලපුර රජවරු පමණක් නොව ලක්දිව සෙසු රාජධානීන් හි රජකම් කළ රජවරු ද දළදා වහන්සේට ලංකා රාජ්යයෙන් ම පූජා කළෝ ය ගම් බිම්, රන් රිදී, මුතු, මාණික් ආදී අගනා වස්තුවෙන් ද දළදා වහන්සේ පිදූහ. රාජධානි වෙනස් වූ සෑම අවස්ථාවක ම රමණීය දළදා මාලිගා කරවා උත්තම දළදා වහන්සේ ඒවායේ තැන්පත් කරවා අනේකවිධ පුද සත්කාර කළහ.
දඹදෙණි යුගයේ තුන් වැනි විජයබාහු රජු කොත්මලේ පව්වෙහි සඟවා තිබූ දළදා වහන්සේ පිළිබඳ භික්ෂුන් වහන්සේගෙන් අසා දැන වහා මහ පෙරහරින් එහි ගොස් දළදා වහන්සේ ලබා ගෙන ආරක්ෂිත ස්ථානයක් සේ සලකා කෑගලු දිස්ත්රික්කයේ කොළඹ – නුවර මාර්ගාසන්නයේ බෙලිගල පව්වෙහි මනහර දළදා පහයක් කරවා දළදා වහන්සේ විෂයයෙහි අනේකවිධ පුද පූජා පවත්වා ආරක්ෂා කළහ. එතුමා තම රාජධානිය වූ දඹදෙණියෙහි ද ශ්රී විජයසුන්දරාරාමය නමින් තවත් දළදා මාලිගාවක් කරවා පූජා කළහ.
ඔහු පුත් දෙවැනි පරාක්රමබාහු රජු ද එවැනි ම පූජා රැසක් සිදු කර ඇත. දෙවැනි පරාක්රමබාහු රජු මහා මාණික්යකින් දන්ත ධාතුන් වහන්සේට ආධාරකයක් කරවා ඉන් පසු නැවතත් විචිත්ර වූ මාණික්යයන්ගෙන් ඊට ආධාර වූ මනහර ආධාර කොට රන් පන් දහසකින් බබළන දෙවැනි කරඬුවක් කර වූ බවත්, පසුව රිදී පන්දහසකින් තුන් වැනි කරඬුවක් ද කරවා ඇති බවත් වංශ කතාවල විස්තර වේ.
තවද පළමු වැනි බුවනෙකබාහු රජු රිදී හත්දහසකින් කරඬුවක් සාදවා පූජා කර වූ බවත්, කෝට්ටේ හය වැනි පරාක්රමබාහු රජු නවරත්නයෙන් මනා කොට බඳනා ලද රන් කරඬු තුනක් පිදූ බවත් සඳහන් වේ.
තව ද දළදා ඉතිහාසය පිළිබඳ කරුණුූ විමසීමේ දී පැහැදිලි වන්නේ මහනුවර යුගයේ දෙවැනි විමලධර්මසූරිය රජු රිදී විසිපන්දහසකින් මනහර කරඬුවක් කොට නවරත්නයන් ඔබ්බවා රත්න චෛත්යයකට සමව පූජා කර ඇති බවත්, ශ්රී වීර පරාක්රම නරේන්ද්රසිංහ රජු මැණික් හත්සියයක් බඳවා රියන් එකහමාරකුත් භාගයක ප්රමාණයේ කරඬුවක් කරවා පිදූ බවත්, ශ්රී විජයරාජසිංහ රජු පූජා කළ නා නා පූජා භාණ්ඩ අතර, ශ්රී දංෂ්ට්රා ධාතුන් වහන්සේට වැඩ සිටීමට රියන් එකහමාරක් වූ රන් මුවා කරඬුවක් කරවා, මහඟු මිණිමුතු බඳවා නිමවන්නට මතු මියපරලොව ගියෙන් කීර්ති ශ්රී රාජසිංහ රජු එය නිමවා පූජා කරන්නට යෙදුණු බවත් ය. කීර්ති ශ්රී රාජසිංහ රජු සිය රාජකීය ආභරණ ඇතුළු බොහෝ පූජා දළදා වහන්සේ උදෙසා පූජා කර ඇති අතර, වර්තමාන පෙරහර කරඬුව ද එතුමන් විසින් පූජා කරන ලද්දකි.
මෙසේ ඒ ඒ රජවරුන් දවස දළදා වහන්සේ විෂයයෙහි කළ ආකාරයෙන් රාජ්ය 1816 දී ‘අස්ගිරි කරඬුව‘ නමින් ප්රකට කරඬුව ඇහැළේපොළ මහාධිකාරම්තුමා විසින් පූජා කර ඇත.
මීට අමතරව දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන තේවා කටයුතු හා දෛනික පුද පූජා මනාව පවත්වා ගෙන යෑමේ උදාර අරමුණ පෙරදැරිව මල්වතු අස්ගිරි උභය මහා විහාරයෙහි මහනායක ස්වාමීන් වහන්සේ විසින් ද, සැදැහැති දේශීය විදේශීය බෞද්ධ දානපතීන් ද සහභාගි කරවා ගෙන දළදා වහන්සේ වෙත පූජා කරන ලද පූජා භාණ්ඩ රැසක් දළදා මාලිගාව සතුව පවතියි.
ශ්රී දළදා මාලිගාව වෙත සිදුකරන බොහෝ පුද පුජා දළදා වහන්සේගේ ආරක්ෂාවත්, දළදා වහන්සේ සුරක්ෂිතව වැඩ හිඳුවීමත් අපේක්ෂා කොට සිදු කරන ලද පූජාවන් ය.
එවැනි පූජා අතර සිදුකරන ලද සුවිශේෂී පූජාවක් ලෙස ඉංගී්රසි ආණ්ඩුව යොදා තිබූ යකඩ දොරටුව වෙනුවට ගන්ධකුටියේ වැඩසිටින දළදා වහන්සේ විෂයයෙහි වෙඩි නොවදින වීදුරු ආවරණයක් ජපානයේ “එහෙජි” පන්සලේ “පූජ්ය ඉම්පෝ නිවා” හිමියන්ගේ පරිත්යාගයක් වශයෙන් එවකට සවිකිරීම හැඳින්විය හැකි ය.
එසේම, මල්වතු මහා විහාරයේ අපවත් වී වදාළ රඹුක්වැල්ලේ විපස්යාභිධාන මහනායක මාහිමිපාණන් වහන්සේ පූජා කළ රන් පවුම් එක් දහස් පන්සියයකින් නිර්මිත 2002 ජූනි මස 22 වැනි දින පූජා කළ ස්වර්ණමය පුෂ්ප පූජාසනය අදටත් ගන්ධකුටියේ තැන්පත් කොට තිබේ.
මේ ආකාරයෙන් දළදා විෂයයෙහි සැදැහැති දානපතියන් විසින් ඒ ඒ අවස්ථාවල දී විවිධ පූජා වස්තු පූජා කරන ලද අවස්ථාවල දී පෞරාණික පූජා භාණ්ඩ ඒවායේ පෞරාණිකත්වය හා සුවිශේෂී වූ උරුමය සුරක්ෂිත වන පරිදි ශ්රී දළදා මාලිගාවේ තැන්පත් කර තැබීම ද චිරාගත සම්ප්රදායකි.
1853 අපේ්රල් මස 07 වැනි දින යටත්විජිත භාර ඒජන්තවරයා යැවූ අංක 152 රාජ ආඥා පත්රයෙන් එම වසරේ දී මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමීන් වහන්සේ දෙනමට හා එවකට දියවඩන නිලමේවරයාට ද දළදා වහන්සේගේ හා දළදා මාලිගාවේ පූර්ණ ආරක්ෂාව හා භාරකාරීත්වය පවරා දීමෙන් අනතුරුව වර්තමානය දක්වා වැඩසිටි මහනායක මාහිමිපාණන් වහන්සේ සහ ගිහි භාරකාරවරුන් වූ දියවඩන නිලමේවරුන් දළදා වහන්සේගේ විෂයයෙහි පුද පූජා පෙරදැරි කර ගත් චාරිත්ර විධි ඒ ආකාරයෙන් ම ඉෂ්ට සිද්ධ කිරීමට කටයුතු කර ඇත.
එකී චිරාගත සත්චාරිත්ර අනුව ම දිවමන් බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කෙරෙන මහානීය පූජාවක් ලෙස සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ බඳු වූ ශී්ර දන්ත ධාතුන් වහන්සේ සුරක්ෂිත ව වැඩ හිඳුවීම පිණිස අභිනවයෙන් ස්වර්ණමය කරඬුවක් පූජා කිරීමට මෑත දින දී සැදැහැති දානපතියකු විසින් කටයුතු කරන ලදී. ස්වකීය නම හෝ සඳහන් නොකරන ලෙස ආයාචනා කරමින් තථාගතයන් වහන්සේ කෙරෙහි ඉමහත් ශ්රද්ධාවෙන් පූජා කරන ලද අභිනව ස්වර්ණමය කරඬුවෙහි ශ්රී දළදා වහන්සේ මේ වන විට සුරක්ෂිතව වඩා හිඳුවීමට කටයුතු කර ඇත.
කේ. මීගහකුඹුර