ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් අව අටවක පෝ දා 2026 නොවැම්බර් 01 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් අව අටවක පෝ දා 2026 නොවැම්බර් 01 ඉරිදා
නිවස බෞද්ධ දර්ශනයසම්බුදු ගුණ නිතර සිහිකර බොහෝ අනුසස් ලබමු

සම්බුදු ගුණ නිතර සිහිකර බොහෝ අනුසස් ලබමු

by Thanushika
November 1, 2026 12:41 am 0 comment

බුදුගුණ අනන්තයි. සත්‍යයි. විද්‍යමානයි. මහානුභාව සම්පන්නයි. යමෙක් බුදුගුණ කෙරෙහි පැහැදීමෙන්, නිතර බුදුගුණ සිහි කිරීමෙන් බොහෝ අනුසස් ලබයි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්නේ ද එපමණකින් ඔහු බොහෝ කලක් දුගතියට නොයයි. සුගතියෙන් සුගතියට යමින් පාරමී සපුරා අමා නිවනට පැමිණේ්. එතරම් ගුණ සමුදායකින් යුතු තථාගතයන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ නව ආකාරයකට කැටිකොට වන්දනා කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එමඟ යමින් අපි ද මෙසේ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරමු.

අරහං, කියන මේ ගුණ පදයේ කෙටි තේරුමක් තියෙනවා. අරහං කියන්නේ සුදුසුකමයි. සුදුසුකම කිව්වා ම ඒකේ තිබෙනවා තේරුම් රැසක්. ඒ කියන්නේ කුමක් නිසා ද සුදුසුකම් ඇති වුණේ? වාසනා සහිත සකලක්ලේශ කෙරෙන් දුරු වූ හෙයින් ද, පූජාවන්ට සුදුසුයි. ඒ වගේම රාගාදී කෙලෙස් සතුරන් සතර මඟ නැණින් නැසූ නිසා පූජාවන්ට සුදුසුයි. එසේම සංසාර චක්‍රයාගේ අවිද්‍යාදී කෙලෙස් අර සිඳළු නිසා පූජාවන්ට සුදුසුයි. රහසින් වත් පව් නොකළ පිරිසිදු සන්තාන ඇති නිසා පූජාවන්ට සුදුසුයි.

යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන්, නුවණින් බැස ගෙන චතුරාර්ය සත්‍ය ධර්මය සෝවාන් මඟ නුවණින් දැන ගන්නා ලද්දේ නම් ඒ සත්පුරුෂයා ඒ සෝවාන් ආර්යයන් වහන්සේ සතර දිගින් හමන සැඩ මාරුතයෙන් හොලවන්න බැරි ඉන්ද්‍රඛීලයක් මෙන් මාර දිව්‍ය පුත්‍රයාටවත් සොලවන්න බැරි ස්ථිර ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් වෙනවා.

අරහං බුදු ගුණය

සො භගවා ඉතිපි අරහං
අරහං වත සො භගවා
තං භගවන්තං අරහන්තං
සරණං ගච්ඡාමී
තං භගවන්තං අරහන්තං
සිරසා නමාමි

ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සලායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, ජාති, ජරා, ව්‍යාධි මරණයන් ඉක්ම වූ හෙයින් ද, ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ යසස, කීර්තිය, ධනය, බලය, ශීල, සමාධි, ප්‍රඥා, ධ්‍යානාදී කිසි දෙයකින් මානයෙන් උඩඟු නොවූ හෙයින් ද, දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ආදීන්ගේ ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ හෙයින් ද, රහසින්වත් පවක් අති පාරිශුද්ධ චිත්ත සන්තානයෙන් සිදු නොකළ හෙයින් ද, ඇසින් රූප දැක, කනින් ශබ්ද අසා, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රස දැන, ශරීරයෙන් ස්පර්ශ ලබා, මනසින් අරමුණු ගෙන නොඇලුණු සේක. නොගැටුණු සේක. මුළා නොවුණු සේක. ආසාව දුරු කළ සේක, නැවත නූපදින පරිදි කෙලෙස් 1500ක් දුරු කළ සේක.

මාගේ ස්වාමී වූ බුදු පියාණන් වහන්සේගේ……..ඒ අරහං බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නීරෝගි වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

සම්මා සම්බුද්ධ

සො භගවා ඉතිපි සම්මා සම්බුද්ධො
සම්මා සම්බුද්ධො වත සො භගවා
තං භගවන්තං සම්මා සම්බුද්ධං
සරණං ගච්ඡාමි
තං භගවන්තං සම්මා සම්බුද්ධං
සිරසා නමාමි

ස්වාමීනි ! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයට ම අයත් ධර්මයන් තමන් වහන්සේගේ නුවණින් ම අවබෝධ කර ගත් සේක.

රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන පංච උපාදානස්කන්ධය දුක්ඛ සත්‍ය ම බව පිරිසිඳ අවබෝධ කර ගත් සේක.

එම දුක උපදවන්නා වූ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධ තණ්හාවෙන් සමුදය සත්‍ය වශයෙන් අවබෝධ කර ගත් සේක.

අවිද්‍යාව, තණ්හාව නොපවත්නා වූ නිර්වාණ ධාතුව නිරෝධ සත්‍ය වශයෙන් අවබෝධ කර ගත් සේක.

නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා පිළිපැදිය යුතු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය හෙවත් මාර්ග සත්‍ය වශයෙන් අවබෝධ කර ගත් සේක.

සංඛාර, විකාර, ලක්ඛණ, ප්‍රඥප්ති, නිබ්බාන යන පස් වැදෑරුම් නෙය්‍ය ධර්මයන්, ගුරු උපදේස, රහිතව ම තමන් වහන්සේ විසින් ම අවබෝධ කර ගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදු පියාණන් වහන්ස! ඔබ වහන්සේගේ සම්මා සම්බුද්ධ බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නීරෝගි වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

විජ්ජාචරණ සම්පන්න

සො භගවා ඉතිපි
විජ්ජාචරණ සම්පන්නො
විජ්ජාචරණ සම්පන්නො
වත සො භගවා

තං භගවන්තං විජ්ජාචරණ
සම්පන්නංතං සරණං ගච්ඡාමි
තං භගවන්තං විජ්ජාචරණ
සම්පන්නං සිරසා නමාමි.

මාගේ ස්වාමි වූ බුදු පියාණන් වහන්සේ! අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කරන්නා වූ විදර්ශනා ඥානයන්ගෙන් ද, තමන් වහන්සේගේ කයින් අන් කයක් මවාපාන්නා වූ මනෝමය ඍද්ධි විධ ඥානයෙන් ද, අසම සම වූ, අනන්ත අපරිමාණ වූ ඍද්ධි ප්‍රාතිහාර්යයන් පාන්නා වූ ඍද්ධි ප්‍රාතිහාර්ය ඥානයෙන් ද, මේ ලෝක ධාතුවේ පවතින ඕනෑම කටහඬක් ඒ මොහොතේ ම අසා දැන ගත හැකි නුවණ ඇති දිව්‍ය ශ්‍රෝත ඥානයෙන් ද, අනුන්ගේ සිත් දන්නා වූ නුවණ ඇති පරචිත්ත විජානන ඥානයෙන් ද, පෙර ආත්මය ගැන දන්නා වූ පුබ්බේ නිවාසානුස්මෘති ඥානයෙන් ද, සත්ත්වයන් මැරි මැරී ගොස් උපදින තැන දැන ගන්නා වූ දිබ්බ චක්ඛු ඥානයෙන් ද, කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යාශ්‍රව ආදි ආශ්‍රව ක්ෂය කරන ආශ්‍රව ක්ෂය කරන ඥානයෙන් ද, ප්‍රාතිමෝක්ෂ ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, පමණ දැන ආහාර වැළඳීම, කුසලාකුසල කර්ම කෙරෙහි ඇති ශ්‍රද්ධාව, හිරි ඔතප්, බහුශ්‍රැත භාවය, වීර්ය, සිහිය, ප්‍රඥාව, ධ්‍යාන සතර යන පසළොස්චරණ ධර්මයන්ගෙන් ද සමන්නාගත වන හෙයින් ඔබවහන්සේ විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

මාගේ ස්වාමි වූ බුදු පියාණන් වහන්ස! ඔබ වහන්සේගේ ඒ විජ්ජාචරණ සම්පන්න බුදුගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නීරෝගි වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

සුගත

සො භගවා ඉතිපි සුගතො
සුගතො වත සො භගවා
තං භගවන්තං සුගතං
සරණං ගච්ඡාමී
තං භගවන්තං සුගතං සිරසා නමාමි.

මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්ස,! ඔබ වහන්සේ දීපංකර බුද්ධ ශ්‍රී පාද මූලයේ පටන් විජය ශ්‍රී ජය ශ්‍රී බෝ මැඬ දක්වා ම ශාන්ත ගමනින් පැමිණි හෙයින් ද, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වන හෙයින් ද, මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වන හෙයින් ද,

කාමසුඛල්ලිකානුයෝගය, අත්තකිලමතානුයෝගය යන අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත් හෙයින් ද, සත්‍ය වූ ද, සාරවත් වූ ද, අර්ථවත් වූ ද, මුල, මැද, අග යහපත් වූ අසූ හාරදහසක් ධර්මස්කන්ධය දේශනා කළ හෙයින් මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්සේ සුගත නම් වන සේක.

මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්ස! ඔබ වහන්සේගේ ඒ සුගතෝ බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නීරෝගි වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

ලෝකවිදු

සො භගවා ඉතිපි ලෝකවිදු
ලෝකවිදු වත සො භගවා
තං භගවන්තං ලෝකවිදුං
සරණං ගච්ඡාමි
තං භගවන්තං ලෝකවිදුං
සිරසා නමාමි

මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්සේ! ලෝකය, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධ ගාමිණී ප්‍රතිපදා මාර්ගය ද, සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යන ලෝකාත්‍රයන් ද, අපාය භූමි සතර, කාම භූමි සත, රූප භූමි 16, අරූප භූමි සතර යන තිස් එක් භූමි තලයන් සහ අවශේෂ ලෝක ධාතූන් සම්මුති, පරමාර්ථ වශයෙන් අවබෝධ කර ගත් හෙයින් මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ ලෝකවිදු නම් වන සේක.

මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්ස! ඔබවහන්සේගේ ඒ ලෝකවිදු බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නීරෝගි වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

අනුත්තරෝ පුරිසධම්මසාරථී

සො භගවා ඉතිපි
අනුත්තරො පුරිසධම්මසාරථි
අනුත්තරො පුරිසධම්මසාරථි
වත සො භගවා

තං භගවන්තං අනුත්තරං
පුරිසධම්ම සාරථිං සරණං ගච්ඡාමි
තං භගවන්තං අනුත්තරං
පුරිසධම්ම සාරථිං සිරසා නමාමි

මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්ස! ඔබවහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය, ආජීව පාරිශුද්ධ ශීලය, ප්‍රත්‍ය සංනිශි‍්‍රත ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය ආදී චතුර්විධ ශීලයන්ගෙන් ද ශීල විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, චිත්ත විසුද්ධිය, කංඛා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග උදාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය ආදී සප්ත විසුද්ධියෙන් ද, ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් ද, ලොව කිසිවකුටත් දමනය කළ නොහැකි වූ චණ්ඩ වූ, පරුෂ වූ, ජෛනයන්, ජටිලයන්, තීර්ථකයන, දෙවියන්, බඹුන්, මිනිසුන්, ප්‍රාතිහාර්ය ඥානයෙන්, උපාය මාර්ගයෙන්, මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් දමනය කළ හෙයින් අනුත්තරෝ පුරිසධම්මසාරථි නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්ස! ඔබවහන්සේගේ ඒ අනුත්තරෝ පුරිසධම්මසාරථී බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නීරෝගි වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

සත්තා දේව මනුස්සානං

සො භගවා ඉතිපි සත්ථා
දේව මනුස්සානං
සත්ථා දේව මනුස්සානං
වත සො භගවා

තං භගවන්තං සත්ථාරං
දේව මනුස්සානං සරණං ගච්ඡාමි
තං භගවන්තං සත්ථාරං
දේව මනුස්සානං සිරසා නමාමි

මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්ස! ඔබවහන්සේ දෙවි මිනිසුන්ගේ මෙලොව පරලොව යහපත සඳහා චතුරාර්ය සත්‍ය දේශනා කළ හෙයින් ද, ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි යන කෙලෙස් දුරු කිරීම පිණිස ද, දාන, ශීල, භාවනා කුසල විපාක සඳහා ද, පස් පව්, දස අකුසල, පංච නීවරණ දුරු කිරීම සඳහා ද, ජාති, ජරා, ව්‍යාධි, මරණ ඉක්මවීම සඳහා ද, දෙවි මිනිසුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම සඳහා ධර්මය දේශනා කළ හෙයින් සත්ථා දේව මනුස්සානං වන සේක.

මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්ස! ඔබවහන්සේගේ ඒ සත්ථා දේව මනුස්සානං බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නීරෝගි වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

බුද්ධ

සො භගවා ඉතිපි බුද්ධො
බුද්ධො වත සො භගවා
තං භගවන්තං බුද්ධං සරණං ගච්ඡාමි
තං භගවන්තං බුද්ධං සිරසා නමාමි

මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්ස! ඔබවහන්සේ දුක ය, දුක ඇතිවීම ය, දුක නිවීම ය, දුක නිවීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන ආදී වශයෙන් දොළොස් ආකාරයකින් ද, පිළන, සංඛත, සංතාප, විපරිනාම යන දුක්ඛාර්ථ සතරකින් ද, ආයුහව, නිදාන, සංයෝග පළිබෝධ යන සමුදයාර්ථ සතරින් ද, නිස්සරණ, විවේක, අසංඛත, අමත යන නිරෝධාර්ථ සතරින් ද, නිය්‍යායන, හේතු, දස්සන, ආධිපත්‍ය යන මාර්ගාර්ථ සතර යන චතුරාර්ය සත්‍ය ධර්මයන් දොළොස් ආකාරයකින් අවබෝධ කර, දේශනා කළ හෙයින් ද, අත්ථ පටිසම්භිදෙ, ධම්ම පටිසම්භිදෙ, නිරුක්ති පටිසම්භිදෙ, පටිහාන පටිසම්භිදෙ යන චතු විශාරද ඥානයෙන් ද, ඉන්ද්‍රිය පරෝ පරියත්තෙ ඥානය, යමක පටිහාරියේ ඥානය, මහා කරුණා සමාපත්ති ඥානය, සබ්බඤ්ඤ ඥානය, අනාවරණ ඥානය යන ෂට් අසාධාරණ ඥානයන්ගෙන් ද, නව අරහාදී බුදුගුණ බලයෙන් ද, දසබල ඥාන බලයෙන් ද, සූවිසි ප්‍රත්‍ය ඥාන බලයෙන් ද, තෙසැත්තෑ ඥානයෙන් ද, සත් සත්තෑ ඥානයෙන් ද, අනන්ත අප්‍රමාණ වූ ඥානයන්ගෙන් සමන්නාගත වන හෙයින් බුද්ධ නම් වන සේක.

මාගේ අමා මෑණී බුදුපියාණන් වහන්ස! ඔබවහන්සේගේ ඒ බුද්ධො බුදුගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නීරෝගි වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

භගවා

සො භගවා ඉතිපි භගවා
භගවා වත සො භගවා
තං භගවන්තං
භගවන්තං සරණං ගච්ඡාමි
තං භගවන්තං
භගවන්තං සිරසා නමාමී

මාගේ අමා මෑණි බුදුපියාණන් වහන්සේ! ඔබ වහන්සේ ඓශ්චර්යය භාග්‍ය, කාම භාග්‍ය, යස භාග්‍ය, ශ්‍රී භාග්‍ය, ධර්ම භාග්‍ය, ප්‍රයත්න භාග්‍ය යන භාග්‍යයන්ගෙන් ද, ක්ලේශ මාර, අභිසංස්කාර මාර, ස්කන්ධ මාර, දේවපුත්‍ර මාර, මච්චු මාර යන මාරයන් පරාජය කළ හෙයින් ද, ස්කන්ධ ධාතු, ආයතන, සත්‍ය, ඉන්ද්‍රිය, පටිච්ච සමුප්පාද ධර්ම, දස අකුසල ධර්ම, දස කුසල ධර්ම, දස සංයෝජන ධර්ම, දස පාරමිතා, දස සංඥා සහ පංච නීවරණ ධර්ම මනා කොට අවබෝධ කළ හෙයින් ද, සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, පංච බල, පංච ඉන්ද්‍රිය, සප්ත බොජ්ඣංග ආර්ය අෂ්ටාංගික මාර්ග යන සත් තිස් බෝධි පාක්ෂික ධර්මයන් අවබෝධ කළ හෙයින් ද, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා, දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව, ත්‍රිවිධ චර්යා සහ පංච මහා දානයන්ගෙන් ද, භාජනය කළ යුතු ගුණ භාජනය කළ හෙයින් ද, විභාග කළ යුතු සියලු ධර්මයන් විභාග කළ හෙයින් ද, මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්සේ භගවා නම් වන සේක.

මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්ස! ඔබවහන්සේගේ ඒ භගවා බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මම නිදුක් වෙම්වා! නීරෝගී වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්සේගේ නවඅරහාදී බුදු ගුණ බලය සත්‍යයි. ඒ සත්‍යානුභාව බලයෙන් මම නිදුක් වෙම්වා! නීරෝගි වෙම්වා! සුවපත් වෙම්වා! දුකින් මිදෙම්වා! නිවන් දකිම්වා!

ඒ අසීමිත ගුණස්කන්ධයට දොහොත් මුදුනත තබා මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා!

You may also like

Leave a Comment