සියලු සත්ත්වයන් කෙරෙහි සම සේ කරුණාව දැක්වීම බුද්ධ කරුණාවේ විශේෂත්වය යි. කාම, රූප, අරූප යන භවත්රයට අයත් අපා, දෙපා, සිවුපා, බහුපා ආදී සියලු ම සත්ත්වයෝ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට හසුවූහ. තවද කරණීයමෙත්ත සූත්රයෙහි දැක්වෙන පරිදි,
යෙ කේචි පාණ භූතත්ථි
තසා වා ථාවරා වා අනවසේසා
දීඝා වා යේ මහන්තාවා
මජ්ක්ධිමාරස්ස කාණුකථුලා
දිට්ඨාවා යේව අද්දිට්ඨා
යේච දුරේ වසන්ති අවිදූරේ
භූතා වා සම්භවේසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
බියට පත් සත්ත්වයෝ, බිය නැති සත්ත්වයෝ (කෙලෙස් ප්රහීන කළ) දිග ශරීර ඇති සත්ත්වයෝ, මහත ශරීර ඇති, මධ්යම ප්රමාණයේ සියුම් ශරීර ඇති, ස්ථූල ශරීර ඇති, ඇසට පෙනෙන සත්තු, ඇසට නො පෙනෙන සත්තු, දුර සහ ළඟ සිටින සත්තු, ඉපදී සිටින සහ උපදින්නට අපේක්ෂාවෙන් සිටින ආදී ලෙස මේ සියලු ම සත්ත්වයන් වෙත අප බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ගලා ගිය අතර, අපට ද එසේ මෙත් වඩන ලෙස අවවාද කළහ.
පෘථග්ජන මිනිසුන් වූ අපේ කරුණාව කිසි කලෙකත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට සමාන කළ නොහැකි ය. ස්වභාවයෙන් ම අපේ කරුණාව යොමු වන්නේ මමත්වය මුල්කරගෙන ය. මගේ ඥාතියා, මගේ හිතවතා ආදී වශයෙන් මගේ යන හැඟීම මුල් කරගෙන අපේ කරුණාව විවිධ මට්ටම්වලින් දැක්වෙන බව සත්යයකි. මගේ ආගම, මගේ ජාතිය වශයෙන් ද සැලකෙනු ඇත. එවිට එම කරුණාවේ සමානත්වයක් දක්නට නො ලැබේ. මේ අනුව මගේ කරුණාව මහා කරුණාවක් නොවේ. එහි අඩුපාඩු අසාධාරණකම් රාශියකි.
බුදුරජාණන් වහන්සේ ලෝකය දෙස බලන්නේ අප බලන ආකාරයෙන් නොවේ. වෙනම දෘෂ්ටිකෝණයකිනි.
බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයා විඳීන සංසාරගත දුක අනුව මහා කරුණාවෙන් ඔවුන් දෙස බැලූහ. “ආදිත්තො ලෝක සන්නිවාසෝ පස්සන්තානං” ලෝකවාසී සත්ත්වයා මේ සංසාරික දුක්වලින් ඇවිලෙමින්, දැවෙමින් ගතකරන ජීවිත ඇතිව සිටින බව ජාති, ජරා, ව්යාධි, මරණ ආදී දුක්වලින් නිරන්තරයෙන් දැවෙන බව දුටහ.
ආදිත්තපරියාය සූත්රයේ දී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. “සබ්බං භික්ඛවේ ආදිත්තං” මහණෙනි, සියල්ලම දැවෙනවා. මේ දැවෙන සියල්ල බුදුරජාණන් වහන්සේ කොටස් 42කට බෙදා දක්වති. ඇස – ඇසට පෙනෙන රූපය, විඤ්ඤාණය – ස්පර්ශය නිසා ඇතිවන සැප, දුක්, මැදහත් විඳීම් වේ. මේවා ඉන්ද්රිය හයට ඇතුළත් ය. මේ සියල්ල ඇවිලෙන්නේ ගිනි එකොළහකිනි. රාග, දෝෂ, මෝහ, ව්යාධි, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන මෙම එකොළොස් ගින්නකින් ලෝකවාසී සත්ත්වයා සියලු ආකාරයෙන් දැවෙන බව වදාළහ. මෙම එකොළොස් ගින්නෙන් මුළු ලෝකය ම දැවෙයි. වෙනසක් නැත. රජ, සිටු, මැති, ඇමැති, පොහොසත්, දුප්පත්, ගිහි, පැවිදි, කුලීන, කුලහීන, අල්පේශාක්ය, මහේශාක්ය ආදී කිසිම භේදයක් මේ දැවෙන පිච්චෙන ස්වභාවයට අදාළ නොවේ. එදත්, අදත් හෙටත්, කවදත් මේ තත්ත්වය කිසිදු වෙනසක් නොවේ. මෙය සදාතනික සත්යයකි.
බුදුරජාණන් වහන්සේ මේ හැම දෙනා දෙස ම බැලුවේ එකම මහා කරුණාවෙනි. වෙනසක් නැත. දිනක් මැදියම් රාත්රියේ දී බුදුන් කරා එළැඹි එක්තරා දෙවියෙක් ඉහත දක්වන ලද සත්ත්වයා දැවෙන ගිනි එකොළහ ඇතුළත් “ආදිත්ත සූත්රය” බුදුරජාණන් වහන්සේ හමුවේ ප්රකාශ කළ විට එම ප්රකාශය උන්වහන්සේ අනුමත කළහ.
ඊළඟට සත්ත්වයා පංචස්කන්ධයත්, පංච උපාදානස්කන්ධයත් පවත්වාගෙන යාම සඳහාත් දක්වන නිරන්තර උත්සාහය දකිති. සැප සම්පත් ලබන්න, මේ සියල්ල ආරක්ෂා කර ගන්න දරන උත්සාහය මහා කරුණාවෙන් දකින බුදුරජාණන් වහන්සේ උපේක්ෂා සහගතව ලෝකවාසී සියලු සත්ත්වයන්ට කරුණාව දක්වති.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ දකින්නේ ලෝකවාසීන් එකම ගමන් මඟකට වැටී, එකම අරමුණක් වෙත ගමන් කරන පිරිසක් ලෙස ය. අප සැම දෙනාගේ ම මේ ගමන් මඟ වැටී තිබෙන්නේ මරණය කරා ය. ඛනික, සම්මුති, සමුච්චේද වශයෙන් කිසිදු භේදයක් නොමැතිව සියලු ම දෙනා මරණයට පත්වෙති. මේ හැමදෙනා කෙරෙහි ම බුදු හිමියෝ මහා කරුණාවෙන් බලා වදාරති.
සියල්ල අතහැර යන පිරිසක් ලෙස බුදුරජාණන් වහන්සේ මේ ලෝකය දකිති. එහි ද කිසිදු භේදයක් නැත. මගේ යන සියල්ල අතහැර හැම කෙනෙක් ම පරලොව යන ආකාරය උන්වහන්සේ මහා කරුණාවෙන් බලා සිටිති.
මේ ලෝකයේ ඇතැම් දෙනා පස්, පව්, දස අකුසල්වල යෙදෙන, නොමඟ යන පිරිසකි. ලෝභ, දෝෂ, මෝහ, ඊර්ෂ්යා, ක්රෝධ වැනි අසත් ගුණ නිරායාසයෙන් ම මිනිස් සිත් තුළ පහළ වෙන බව බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දැක, ඒ හැම දෙනාට ම දහම් දේශනා කළහ. බුදුරජාණන් වහන්සේ තුළ තිබූ මේ මහා කරුණා ගුණය අප ජීවිතවලට ද ආලෝකයක් කර ගනිමු.