භාවිත සිත (භාවිතං චිත්තං) යනු වැඩූ සිත යි. එනම් චිත්තය දියුණු කළ හැකි, වර්ධනය කළ හැකි දෙයක් ලෙස බුදු දහම අවධාරණය කරයි. ඒ සඳහා බුදු දහමේ පෙන්වා දෙන භාවනාව නමින් හඳුන්වන්නේ චිත්තය දියුණු කරන පිළිවෙළයි. ලෞකික ලෝකෝත්තර උභයාර්ථය සඳහා චිත්තාභිවර්ධනයේ ප්රයෝගිකතාව බුදු සමය අවධාරණය කරයි. භාවනාව සමථ භාවනා, විපස්සනා භාවනා යනුවෙන් දෙපරිදි වේ. මේ දෙයාකාරයෙන් ම හෝ එක් ආකාරයකින් හෝ සිත දියුණු කළ හැකි ය. එනම් සිත දියුණු කිරීමෙන් සත්යාවබෝධය ළඟාකර ගැනීමට චිත්ත භාවනාව උපයෝගී වේ.
වැඩු සිතෙහි ස්වභාවය ධම්ම පදයෙහි යමක වග්ගයේ විස්තර කෙරෙන්නේ මනාව සෙවිලි කරන ලද නිවෙස වර්ෂාවෙන් නො තෙමෙන්නා සේ, වැඩු සිතැත්තා, රාගාදී කෙලෙස් මළ දුරු කර භාවනාවෙන් තම සිත පුබුදුවා ගනී.
අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ පභස්සර වග්ගයේ දෙවැනි සූත්රයෙහි “පභස්සරමිදං භික්ඛවේ චිත්තං. තංච ඛෝ ආගන්තුකේහි උපක්කිලේසේහි විප්පමුත්තං තං සුත්වා අරිය සාවකෝ යථාභූතං පජානාති. තස්මා සුතවතෝ අරියසාවකස්ස චිත්ත භාවනා අත්ථි’ති වදාමි.”
මහණෙනි, මේ (භවාංග) සිත ප්රභාස්වර ය. ඒ ද වනාහි ආගන්තුක උපක්කිලෙසයන්ගෙන් මිදිණ. එය ශ්රැතවත් ආර්ය ශ්රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී. එයින් ශ්රැතවත් ආර්ය ශ්රාවකයාට චිත්ත භාවනාව ඇතැයි කියමි.
එම නිපාතයේ ම අදන්ත වග්ගයේ දෙවැනි සූත්රයේ දී “නාහං භික්ඛවේ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං දන්තං මහතො අත්ථාය සංවත්තන්ති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවේ දන්තං මහතො අත්ථාය සංවත්ථතී’ති.”
මහණෙනි, යමක් මෙසේ දැමුණේ, මහත් වූ අර්ථය පිණිස පවතින්නේ නම්, සිත බඳු අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නොදක්මි. මහණෙනි, දැමුණු සිත මහත් අර්ථය පිණිස පවතින්නේ ය. එමෙන් ම අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ අදන්ත වග්ගයේ චතුත්ත සූත්රයේ දක්වනුයේ
“නාහං භික්ඛවේ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං ගුත්තං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං. චිත්තං භික්ඛවේ ගුත්තං මහතෝ අත්ථාය සංවත්ථතී’ති.” මහණෙනි, යමක් මෙසේ ගෝපනය කරන ලද්දේ මහත් වූ අර්ථය පිණිස පවතින්නේ නම්, සිත බඳු අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ගෝපිත වූ සිත මහත් වූ අර්ථය පිණිස පවතින්නේ ය.
භාවිත සිතක ස්වරූපය සහ එමඟින් ලැබිය හැකි ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධිය මෙහිලා විස්තර කෙරේ. අභාවිත චිත්තයට ප්රතිපක්ෂ වූ සියලු කරුණු චිත්ත වර්ධනය හා අදාළ වන බැවින් මෙහිලා උක්ත කරුණු විස්තර නො කෙරේ. එහෙත් භාවිත සිතක් තුළින් ලැබිය හැකි සහ ලෞකික ලෝකෝත්තර සුඛය හා අභිඥාවන් හෙවත් අධිමානසික ශක්තීන් පිළිබඳ විස්තර කරනු ලැබේ. විසිරි පැවති (වික්ඛිත්තචිත්තං) සිතක් ඇත්තා තමන්ගේ සහ මෙරමාගේ හිත සුව පිණිසත්, උභයාර්ථය පිණිසත් හේතු වන දෑ නො දැන උතුම් දස කුසලාදී ධර්ම අවබෝධ නො කොට ගෙන ක්රියා කරන බව ද, නිරන්තරයෙන් ඉපිද නැසෙන සුලු සිත මෙබඳු යැයි උපමාවකුදු පෙන්වා දීමට අතිශය දුෂ්කර වේ. ඒ බව අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ මෙසේ දක්වා ඇත. “යාවඤ්චිදං භික්ඛවේ උපමාපි න සූකරා යාව ලහුපරිවත්තං චිත්තන්ති” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
“සබ්බපාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධානසාසනං”
සියලු පව් නො කිරීම, කුසල් ඉපිදවීම, සිය සිත පිරිසිදු කිරීම යන මෙය සියලු බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය යි. මෙහි මතුපිටින් ගම්ය වන අදහස සරල ලෙස සැලකුව ද, එහි ගැඹුරු අර්ථයක් ඇති බව ප්රකට වේ. නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා ත්රී ශික්ෂාවෙන් ශික්ෂණය ලැබිය යුතු බව මෙමඟින් පෙන්වා දෙයි. යථෝක්ත ගාථාවෙන් ප්රකට වන්නේ ද මේ සියලු කාර්යයන් සඳහා චිත්ත පාරිශුද්ධත්වය ඇති කර ගත යුතු බව යි. චෛතසික හෙවත් සිතුවිලි පහළවන්නේ ද සිත තුළ ම ය. කුසල නමින් බුදුදහමෙහි හැඳීන්වෙන්නේ කෙලෙස් නසන ශක්තිය යි. පහත්, අධම, පාප ධර්මයන් සොලවන බැවින් ද, විනාශ කරන බැවින් ද, කුසල නම් වන බව අටුවාවෙහි විස්තර කරයි.