කුසහොත් දා පටන් ඉපිද, මිය යන තත්පරය වනතුරුත් දරුවකුගේ ජීවිතයට අර්ථය ම ගෙනෙනවා නම්, ඒ දරුවාට ජීවිතය දුන් මව්පිය දෙදෙනා ය. කිළුටක් නැති, කහටක් නැති ඒ ස්නේහයෙහි තරම වදන් කරන්නට නොහැකි ය. ඒ සා ගැඹුරු ය.
එදා සුද්ධෝදන පිය රජතුමා තමන්ට ඉතිරි වූ එකම බලාපොරොත්තුව, රාහුල කුමරු ද පැවිදි කර තිබෙනු දැක උපන් සංවේගයෙන් තථාගතයන් වහන්සේ ඉදිරියේ කඳුළු සැලුවේ දාරක ප්රේමයෙහි තරම පවසමිනි.
‘පුත්තපෙමං භන්තෙ ජවිං ජින්දති, ජව්ං ජෙත්වා කම්මං (චම්මං) ජින්දති, කම්මං (චම්මං) ජෙත්වා මංසං ජින්දති, මංසං ජෙත්වා න්හාරුං ජින්දති, න්හාරුං ජෙත්වා අට්ඨිං ජින්දති, අට්ඨිං ජෙත්වා අට්ඨම්ඤ්ජං ආහච්ච තිට්ඨිති’
‘ස්වාමීනි, පුත්ර ප්රේමය සිවිය සිඳියි. සිවිය සිඳ සම සඳියි. සම සිඳ මස සිඳියි. මස සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇට මිදුළුවල ගැටී සිටියි. (මහා ඛන්ධකය, රාහුල වත්ථු)
ජීවිතයට අර්ථ සදන, යහපත වැඩ සදන ඒ උතුම් මව්පිය දෙදෙනා ද ඉක්ම වූ තවත් කවුරු හෝ මේ මිහිමත වේ ද? පෘථග්ජන සිතකට එය නොවැටහේ ම ය.
අපේ බුදු හාමුදුරුවෝ දේශනා කොට වදාළේ දස මසක් කුස හොවා මෙලොවට බිහි කර, ලේ කිරි කර පෙවූ මෑණියන්ටත් වඩා, සිරුරේ දහදිය පොළොවට දියකර දරුවන් දැඩි කළ පියාණන්ටත් වඩා ජීවිතයට අර්ථය ගෙනෙනා කෙනෙක් තමන් තුළ ම ඉන්නා බව ය. ඒ මනාව පිහිටුවා ගත් තමන්ගේ ම සිත ය.
යහපත, අයහපත, කුසලය, අකුසලය පෙන්වා යා යුතු මඟ කියන්නට මව්පියන්ට හැකි ය. එහෙත් එහි කර තබා රැගෙන යන්නට නොහැකි ය. ගෙන යන එකම තැන තමන්ගේ සිත ය. ඒ බලවත් සිත, දුබල තැනකට රැගෙන මේ ජීවිතයත් අපායක් කොට, මරණයෙන් මතු අපාගත වන අසරණයෝ එදත් සිටියහ. අදත් සිටිති. අමා දම් බෙර වැයුණ සම්බුදුරදුන් ජීවමාන සමයේත් නොපිහිටවූ සිත නිසා කළ කම් පල දී දෙව්දතුන් අදත් නිරයේ පැසෙමින් සිටී. පවිටු මිතුරු ඇසුරින් දූෂිත වූ සිත පියා මරා රජවන්නට තරම් අපිරිසිදු වූ තැන අජාසත් රජු ඒ ආනන්තරීය පාපයේ බියකරු විපාක අදත් විඳිමින් සිටී. කළ කම්හි අරුමය එයයි.
එදා කසී භාරද්වාජ නම් බමුණාගේ වප් මඟුල් උලෙළ දා අප බුදුරදුන් එහි වැඩම කොට වදාළේ ඔහුට අනුකම්පාවෙනි. බුදුරදුන් පිඬු සිඟා එහි වැඩියේ යැයි සිතූ බමුණා,
“ශ්රමණයන් වහන්ස, මම සී සාමි. වෙහෙස මහන්සිව බිජුවට වපුරා අනුභව කරන්නෙමි. ඔබ ද එසේ අනුභව කරන්නේ නම් මැනවි’ යි කීවේ උපහාසයෙන් ය.
‘බමුණ මම ද සී සාමි. බිජුවට වපුරමි. ඔබ සේ ම සී සා, වපුරා අනුභව කරමි” බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේගේ ව්යායාමය බමුණාට පැහැදිලි කළහ.
බුදුරදුන් කෙරෙහි පැහැදුණු හෙතෙම, කිරිබත් පිරවූ රන් තලිය බුදුරදුන්ට පිළිගැන්වූහ.
“බමුණ, ඔබට යමක් කියා දී ලැබුණු ත්යාගයක් බඳු මේ දානය මම නොපිළිගනිමි. අනන්ත සසරෙහි දන් පුදා දාන පාරමිතාව පිරූ තථාගතයන් වහන්සේ නමකට එය සුදුසු නොවේ. සර්වඥයන් වහන්සේට ආහාරය වෙනුවෙන් ජීවන වෘත්තියක් අවැසි නැත. අන්යයන්ගේ යහපත උදෙසා ධර්ම දේශනා කොට ලබන ලද දෙය උන්වහන්සේ පරිහරණය නොකරති. ආජීව පාරිශුද්ධිය බුදුවරයන් වහන්සේගේ ජීවන වෘත්තියයි.’ පවසමින් බුදුරජාණන් වහන්සේ බමුණාගේ දානය ප්රතික්ෂේප කළහ.
බමුණාගේ එම දානය පිළිගැන්විය යුතු වෙනත් සුදුස්සකු ද නොවීය. බුදුරදුන් දේශනා කොට වදාළේ දෙවියන් සහිත, මාරයන් සහිත, බ්රහ්මයන් සහිත ලෝකයෙහි ද, තථාගත ශ්රාවකයන් වහන්සේ අතර ද මේ දානය වළඳා දිරවිය හැකි කෙනකු නොවන බව ය.
සම්බුදුරදුන්ගේ උපදෙස් පරිදි, බමුණා ඒ කිරිබත් තලිය නිල් තණ නැති, ජලජ සතුන් නැති දියකඩකට දැමුවේ ය. කිරිබත දියෙහි වැටෙනවාත් සමඟ ම ගිනියම් යකඩයක් දියෙහි ලූ කලෙක මෙන්, දුම් දමමින්, අස්වාභාවික හඬක් නැඟුණි. බියපත් වූ බමුණා බුදුරදුන් හමුවේ ඇසූ දහම් අවබෝධ කොට සම්බුදු සසුනේ පැවිදි බව ලැබීය. උන්වහන්සේ නොබෝ කලෙකින් ක්ෂීණාශ්රවයන් වහන්සේ නමක් බවට පත්වූහ.
අහංකාර පරවශ වුව ද, මාන්නයෙන් උඩඟුකමින් හිස උදුම්මා ගත්ත ද, තමන් ගැන මහත් ඉහළින් සිතා සිටිය ද අවසානයේ අමා දහම් හමුවේ දැමුණු සිත, පිහිටුවා ගත් සිත කසීභාරද්වාජට අර්ථය සාදා දුන්නේ දෙලොවට ම ය.
අනුන් පෙළන, අඥානකමින් හිස උදුම්මාගත්, තමන් හරි යැයි සිතන කසී භාරද්වාජ වැන්නෝ අද ද හමුවේ. ශ්රී සද්ධර්මය අදටත් ජීවමාන ය. එහෙත් භාරද්වාජ මෙන් ඔවුහු සිත යහපතෙහි පිහිටුවා ගන්නට අසමත් ය.
සිඟාලෝවාද සූත්රය, මහා මංගල සූත්රය, කරණීයමෙත්ත සූත්රය, ව්යග්ඝපජ්ජ සූත්රය අපට උගන්වන්නේ ජීවිතයේ ලෞකික ලෝකෝත්තර දියුණුවට සිත පුරුදු කරන ආකාරයයි. ප්රාණඝාතයෙන්, සොරකමින්, කාමය වරදවා හැසිරීමෙන්, බොරුවෙන්, මත්ද්රව්ය භාවිතයෙන් වැළකුණු සමාජය සාමකාමීයි. සම්බුදු දහම මඟ පෙන්වන්නේ එවැනි සමාජයකටයි.
අනුන්ගේ දුකේ දී උණුවන හදවත, අනුන්ගේ දියුණුවේ දී සතුටුවන සිත උදාරයි. සම්බුදු දහම මඟ පෙන්වන්නේ එවැනි තැනකට සිත හදන්නටයි.
ඇස, කන, නාසය, දිව, ශරීරයෙහි අනියත දකිමින් මම ය, මගේ ය, මගේ ආත්මය ය යන මිථ්යාවෙන් මිදෙන්නට, කෙලෙස් ගින්නෙන් දැවෙන සිත් නිවන්නට මඟ කියන්නේ තථාගත ධර්මයයි. ඒ අමා ධර්මය ප්රඥාවන්තයන්ටයි. මිථ්යා දෘෂ්ටියෙන් අන්ධ වූ අඥානවන්තයන්ට නොවේ මැයි.
ගොහොරු මඩ බිමක විකසිත නෙළුමෙන් විහිදෙන සුගන්ධය සුමිහිරි ය. අනුවණයන් අතර ධර්මයෙහි අප්රමාදී වූ නුවණැත්තෝ ද එබඳු ය. ඔවුන් සිත සුගන්ධ ය. සුමිහිරි ය. නෙළුමක් සේ ම ය.
රමණී සුබසිංහ