ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
නිවස බෞද්ධ දර්ශනයරමණීය වන ගොමුවක නිරාමිස සෞන්දර්යය

රමණීය වන ගොමුවක නිරාමිස සෞන්දර්යය

by Test User
October 25, 2026 12:30 am 0 comment

බෝසත් උපතේ සිට උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කොටගෙන පරිනිර්වාණය දක්වා වූ සම්බුදුරදුන්ගේ නික්ලේශී වූ දිවිමඟ සාකල්‍යයෙන් ම බැඳී පැවතියේ රමණීය වන උයන් ගොමු, තෝතැනි, වන ලැහැබ්, ගංගා හා ගිරිකඳුරු ආශි‍්‍රතව ය. මුල් කාලයේ එකලාවද සිය ශ්‍රාවකයන් සමඟ ද වන සෙනසුන් ගිරිලෙන ඇසුරු කරමින් විසි වසක් ම බවුන් වඩමින්, දහම් දෙසමින් වැඩ විසූ බුදුරජාණන් වහන්සේ සිය උතුම් ජීවිතයේ ඉතිරි කාලය ගත කළේ ද රජ සිටුවරුන් ඇතුළු දායකයන් පිදූ වන උයන් සහිත ආරාමවල ය. මෙලෙස පන්සාළිස් වසක් දෙව් මිනිසුන් ඇතුළු සකල සත්ත්ව වර්ගයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුතු ව ආරම්භ කළ උත්තුංග ධර්ම චාරිකාව නිමවා තමන් වහන්සේගේ දිවිමඟ තිර ලෙස ම පරිසරය හා ප්‍රතිබද්ධව පවත්නා බව සනාථ කරමින් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වූයේ ද වන උයනක සල් රුක් සෙවණක දී ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ අන්තර්ගතය, විමුක්ති රසය හා දැවටී පැවතියේ සෞන්දර්යාස්වාදය ම ය. සම්බුද්ධත්වයට පත්වීමට මොහොතකට පෙර සිද්ධාර්ථ තවුසාණන් ව සිටියදී නේරංජරා නදිය අවට පරිසරය දුටු අයුරු බුදුරජාණන් වහන්සේ පසු කලෙක මෙසේ මෙනෙහි කළ සේක.

“උරුවේලාවෙහි සේනානි නියම්ගම සිත්කළු භූමි භාගයෙන් සැදුණේ වෙයි. සිත් පහන් කරවන වන ලැහැබ් හා සුදු වැලිතලාවන්ගෙන් එපෙදෙස ගැවසී ගත්තේ ය. නිවීසැනසිිල්ලේ ගලා බස්නා දිය දහරාවලින් පිරි නේරංජරා නදිය මනරම් ය. භූමි භාගය අතිශයින් ම රමණීය ය. වන ලැහැබ ප්‍රසාදජනක ය. මහා තොටුපොළ සහිත වූ සුදු වැලිතලා මතින් ගලා බස්නා නදිය සිත් ගන්නාසුළු ය. හාත්පස සොදුරු ගම ද පිහිටා ඇත. වීර්යය වඩන කුල පුත්‍රයකුට මීට වඩා සොඳුරු තැනක් නැත්තේ ම ය.”

බුදුරජාණන් වහන්සේ විසින් තුන්ලෝකවාසීන්ගේ හිතසුව උදෙසා දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මය උපමා කරන ලද්දේ ද සුපුෂ්පිත මලින් පිරි මනරම් වන රොදකට ය.

පුහුදුන් සමාජය හා ගැටෙමින්, පොරබදමින් අත්විඳින දිවිමඟින් බැහැරව ආර්ය මාර්ගයට සුවපහසුව එළවන හුදෙකලා වනාන්තරවල විසීම නිවන් මඟ වඩන පැවිදි උතුමන්ට පි‍්‍රය බව බුදු මුවින් ම වදාරන ලද්දේ ය.

“මහා වනාන්තර අතිශයින් රමණීය වුව ද කම් සැප සොයන ජනයා ඒ වනයට නො ඇලෙන්නේ ය. එනමුදු වීතරාගී වූ රහතන් වහන්සේට මහ වනය අතිශයින් ම පි‍්‍රය වේ. එසේ වුයේ උන්වහන්සේ කම් සැප නොසොයන බැවිනි.”

ආර්යයන් වහන්සේ හුදෙකලා ව බවුන් වැඩීම කෙරෙහි ඇලී මිනිස් වාසයෙන් ඈත වනගහන මැද ලෙන්වල, කුටිවල වැඩ විසුවේ කෙසේද යන්න බුදුරජාණන් වහන්සේ ම පෙන්වා දුන් ආකාරය මජ්ක්‍ධිම නිකායේ භයභේරව සූත්‍රයෙහි සඳහන් වෙයි. “ඈත පිහිටා ඇති මහ වනාන්තරවල කුටිවල වැඩ වසමින් හුදෙකලාව භාවනා කිරීම දුෂ්කරයි නේද? සමාධියක් නො ලැබූ බවුන් දම් වඩන්නන්ගේ මනස වනාන්තරය විසින් ගිල ගනු ලබනවා නොවේද?” යනුවෙන් වරක් ජානුස්සෝණි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් විමසූ කල්හි උන්වහන්සේගෙන් ඉතා පැහැදිලි පිළිතුරක් බමුණාට ලැබුණි.

එනම් ආර්යයන් වහන්සේ පිරිසිදු චරිතයකින් යුතුව, කාම රාග අරමුණුවල නො ඇලී මෙත් සිතින් යුතුව නිදිමත හා අලස බව දුරුකොට සංසිඳුණු සිතින් සිහිය, සමාධිය, ප්‍රඥාව උපදවාගෙන වන ගහන මැද වාසය කරන බව ය.

දිය ඇලි, කඩා හැලෙන ගිරිශිඛර මත සියොතුන් නාද කරන වන ගැබකට පිවිස බවුන් වඩන තාලපුට රහතන් වහන්සේ ලද අත්දැකීම සිතින් මෙනෙහි කරමින් නිරාමිස පී‍්‍රතිය හා හුදෙකලා චිත්ත විවේකය විඳි අයුරු පවසන්නේ මෙපරිද්දෙනි.

“වැසි වට කල්හි සිව් අඟල් පමණ වූ නිල් තණ ගොබ ඇදී රම්‍ය තණ තලා බිහි වෙයි. සුපිපි මලින් ගැවසී ගත් විසල් රුක් මුදුන් වලාකුළු හා සම්බන්ධ වෙයි. එකල්හි මහා පර්වත මත වැතිරුණ ගසක් පරිද්දෙන් තණ තලාවෙහි වැතිරෙන්නෙමි. එය මුදු මොළොක් සයනයක් ලෙසින් මට අතිශය සුවදායී වන්නේ ය.”

සප්පක තෙරුන් වහන්සේ තමන් නෙත ගැටුණ පරිසරයේ පවත්නා සුන්දරත්වය ප්‍රකාශ කරන්නේ මෙලෙසිනි.

“ ඒ කෙකිණියගේ අත් තටු සුදු නෙළුමේ පාටින් යුක්තයි. කළු වලාකුළට බියව ඇය තැති ගත්තා. ඉන්න තැනක් සොයාගෙන ඈ ඉගිලී යන වේලාවට මේ ‘අජකරණී’ නදිය මගේ සිත ඇඳ ගන්නවා.

කෙකිණියගේ අත්තටු සුදු නෙළුමේ පාටින් යුක්තයි. කළු වලාකුළට බිය වෙලා ඇය තැති ගත්තා. ඇයට සැඟවෙන්න තැනක් නෑ. සැඟවෙන්න තැනක් සොයමින් ඇය පලා යන කලට ‘අජකරණී’ නදිය මගේ සිත් ඇදගන්නවා.

ගෙම්බන් නාද කරන්නේ ගාම්භීර විදිහට. ඒ ගොල්ල සර්පයන්ගෙන් බේරිලා ඉන්න නිසා වෙන්න ඇති. මේ කාලයේ කඳු ගංගා වෙන් වෙලා තියෙන කාලයක් නොවේ. ‘අජකරණී’ නදිය කියන්නේ කෙම්බිමක්. හැම අතින් ම ලස්සනයි. රමණීයයි.”

බුද්ධකාලීන යුගයේ වැඩ විසූ රහතන් වහන්සේ වන පෙත්, උයන්වල බවුන් වඩමින් ලද නිරාමිස සෞන්දර්ය වින්දනය අරභයා පළ කළ උදාන ගීත ලොව කවර නම් සාහිත්‍යයකින් දැකිය හැකි වේ ද? නෙත් සිත් පහන් කරවන පාරිසරික සෞන්දර්ය, තෙර තෙරණියන් වහන්සේ සිය ජීවිත විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉවහල් කොටගත් ආකාරය වටහා ගැනීමට ථේර ථේරී ගාථාවලින් ද ලැබෙන එළිය අපමණ ය.

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සෞන්දර්ය සංකල්පය වූ කලි ආර්ය ශ්‍රාවකයාගේ පරම නිෂ්ටාව වන නිර්වාණාවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා ම යොමු වූවක් වෙයි. ලෝක සත්ත්වයා හා අනවරතයෙන් බැඳී පවතින සමාජ විද්‍යාත්මක ක්‍රියාවලියක් වන සෞන්දර්යාත්මක ඇගයීම, පුහුදුන් සමාජය අත්විඳින කාමාශක්ත සංකල්පයන්ගෙන් බැහැර කොට ආර්ය මාර්ගයට සුවපහසුව එළවන නිෂ්කාමී ආස්වාදනයක් බවට පත් කිරීම ලෝක සාහිත්‍ය විෂයයෙහිලා වුව ද ආශ්චර්යවත් සංසිද්ධියක් නො වන්නේ ද?

You may also like

Leave a Comment