ක්‍රි. පූ. 7 වැනි සියවස තරම් ඈත අතීතයකට උරුමකම් කියන රංගිරි දඹුල්ල රාජමහා විහාරය මෙරට විශාලතම ලෙන් විහාර සංකීර්ණයයි. විධිමත් ලෙස සංරක්ෂණය කර තිබීම එහි සුවිශේෂත්වයයි. දෙස් විදෙස් සැදැහැවතුන්ගේ සිත් අමන්දානන්දයට පත් කළ දඹුලු විහාරයීය ලෙන් සිතුවම් ලෝ ප්‍රකට ය. මහරජ දිය උල්පත දඹුලු විහාරයේ වටිනාකම තවත් ඔපවත් කරයි. දෙවැනි ලෙනෙහි පිහිටි මෙම දිය උල්පත දඹයෙන් හෙවත් පර්වතයෙන් වෑහෙන නිසා ඒ අරුතින් දඹුල්ල යන නාමය මෙම විහාරයට ලැබී ඇතැයි ජනප්රවාදයේ එයි.
විහාර කර්මාන්තයෙහි මූලාරම්භය වන විටත් මෙම ජල බිඳු වෑහීම සිදුවූ බව පැහැදිලි වන්නේ වියන් සිතුවම් නිර්මාණයේ දී ජල බිඳු රූරා බසින තීරුව වෙන් කොට දක්වා තිබීමෙනි. සිතුවම් ශිල්පියා එම තීරුවේ ජල මාර්ගයක් සංකේතවත් කර තිබෙන්නේ මත්ස්‍ය රූප සිතුවමින් නිර්මාණශීලී ලෙස එක් කරමිනි.
කිසිදා නොසිඳෙන මෙම දිය උල්පත දඹුලු ගල මුදුනෙහි වූ පොකුණකින් ගලා එන්නකි. පර්වතයෙහි වූ පැල්මක් ඔස්සේ ජල කාන්දු වීම සිදු වන බව ප්‍රචලිත ය. පර්වතය මුදුනෙහි එවැනි පොකුණු සතරකි. එයින් එකක් හැර අනෙක් පොකුණු ස්වභාවික ව නිර්මාණය වූ ඒවා ය.
ජල පාත්‍රය පිහිටි මහරජ ලෙනට ඉහළින් වටකුරු හැඩැති පතුළට කේතු ආකාර ආවාට දෙකක් කොටා තිබේ. මෙම ආවාට දෙක මුළුමනින් ම ජලයෙන් පිරී ගිය විට එහි ධාරිතාව ලීටර් 500ක් පමණ වේ. තෙවැනි ලෙනට ඉහළින් ඇති ආවාටය අඩු ජල ධාරිතාවක් සහිත වූවකි. පර්වතය මත පිහිටි විශාල පොකුණකි.
පියස්සෙන් ජල බිඳු පතිත වන්නේ කුමන ජල මූලාශ්‍රයක් අතරින් ද යන්න සොයා බැලීමට ජේ. කේ. ධර්මසිරි මහතා විසින් ඔස්ට්‍රියාවේ වියනාහි ජාත්‍යන්තර පරමාණුබල ඒජන්සියේ ද, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ද, කොළඹ විශ්වවිද්‍යාලයේ විකිරණශීලී සමස්ථානික මධ්‍යස්ථානයේ ද සහාය ඇතිව 1985 වසරේ දී අධ්‍යයනයක් සිදු කොට ඇත. එයින් අනාවරණය වී ඇත්තේ මතුපිට තෘණවලින් වැසී ඇති ගල්කෙමෙන් එම ජලය සැපයෙන බවයි. ජලයට ට්‍රයිටියම් අංශු මාත්‍ර ලෙස එන්නත් කොට මෙම පරීක්ෂණය සිදු කොට ඇති අතර, ඒ අනුව ගල්කෙමෙහි සිට ජලය ගමන් කිරීමට සතියක පමණ කාලයක් ගත වන බව ද අනාවරණය කර ගෙන තිබේ. 1985 දෙසැම්බර් මස 9 වැනි දින ට්‍රයිටියම් රසායනිකය ජලයට මුසු කර කරන ලද පරීක්ෂා කිරීම්වල දී මාස දෙකකටත් අධික කාලයක් තුළ ජල බිඳු වැටෙන ස්ථානයෙන් ලබා ගත් සාම්පලවල එම රසායනිකය අන්තර්ගත ව තිබිණි.
දිගු කලෙක සිට පැවතෙන චාරිත්‍රයක් ලෙස පියස්සෙන් ගලා එන ජලය වෑහෙන ස්ථානයෙහි පාත්‍ර තැබීම හඳුනාගත හැකි ය. එම ජලය බුද්ධ පූජාව තැබීම වැනි පූජනීය කටයුතු සඳහා පමණක් ම භාවිතයට ගැනේ. දැනට මෙම ස්ථානයේ පිත්තල පාත්‍රයක් තබා ඇත. ඊට පෙර මැටි සහ තඹ පාත්‍ර හයක් ජලය රැස් කිරීම සඳහා භාවිත කර ඇති අතර, මහරජ විහාරයෙහි තැනින් තැන ඒවා දැකගත හැකි ය. එම පාත්‍ර සෙන්ටි මීටර් 50ත් 80ත් ප්‍රමාණයේ විෂ්කම්භවලින් සහ සෙන්ටි මීටර් 40ත් 50ත් අතර උසින් යුතු ය. මේ අතරින් වර්ෂ සඳහන් පාත්‍ර දෙක ම ක්‍රි. ව. 1886 දී පූජා කරන ලද ඒවා ය. මැටි පාත්‍ර අතර මහනුවර යුගයට අයත් යැයි සිතිය හැකි ඒවා ද වේ.
දැඩි නියං කාලවල දී ද මෙම පාත්‍රයට ජල බිඳු වෑහීම නතර නොවේ. සැදැහැවතුන් පවසන්නේ එය හාස්කමක් බවයි. මේ නිසා ම දඹුලු විහාරය වැඳ පුදා ගන්නට පැමිණෙන බැතිමත්හු මෙම ස්ථානය ද නැරඹීමට අමතක නොකරති.
අතීතයේ සිට වන්දනාකරුවන්ගේ ද, සංචාරකයන්ගේ ද ආකර්ෂණයට ලක් වූ මෙම සුවිශේෂී ස්ථානය දඹුලු විහාර හා බැඳුණු ජනකවි සාහිත්‍යයට ද මෙසේ එක්ව ඇත.
ඉහළ මළුව පාමුල මළුව මළු දෙක
ඉහළ ගල මුදුනේ පොකුණේ දිය දැක
බල බලා යන්ට සැමට ම සිතට දුක
ගල පලා වැටෙහි දිය බින්දු එක දෙක
මෙකලම පරසිදු පහන් විහාරය දඹුල්ලේ පිවිතුරු නිම කරලා
දුටු දුටුවන් සිත කඳුළු පුරන්නෙය ගලෙන් බැඳපු බුදුරුව දැකලා
දහ අට රියනකි උස පුරවරණය යහන් ගලේ මුනි සැතපීලා
වස් නැත දෙවියනි සින්දුව කීමට වැටෙයි ගලේ දිය බුබුළු ලොලා
භූ විද්‍යාත්මක සංසිද්ධියක් වුව ද අපූර්ව ආකාරයට සංස්කෘතිකාංගයකට අනුවර්තනය වූ මෙම දිය බිඳුව රංගිරි දඹුල්ල රාජමහා විහාරයට ම අනන්‍ය වූ විහාරාංගයකි.
(විශේෂ ස්තූතිය
රංගිරි දඹුලු රාජමහා විහාරයේ විහාරාධිපති, ආචාර්ය ගොඩගම මංගල නාහිමි සහ පුරාවිද්‍යාඥ, ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු මහතාට)
දිල්හානි ජයවර්ධන