ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
නිවස වෙහෙර විහාරකේශ ධාතූන් වහන්සේ වැඩ සිටින ගිරිහඬු සෑ වරුණ

කේශ ධාතූන් වහන්සේ වැඩ සිටින ගිරිහඬු සෑ වරුණ

by Thanushika
October 3, 2026 12:30 am 0 comment

ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 45ක් පමණ උතුරින් පිහිටා ඇති ගිරිහඬු සෑයට මාර්ග දෙකකින් ළඟාවිය හැකි ය. නිලාවේලි වෙරළ තීරය ඔස්සේ වැටී ඇති මාර්ගය එයින් එකක් වන අතර, එම මාර්ගයේ ගමන් කරන්නේ නම් කුච්චවේලිවලින් වමට හැරී නැවතත් ප්‍රධාන හන්දියෙන් දකුණට හැරී ගමන් කළ යුතු ය. අනෙක් මාර්ගය වන්නේ රට මැදින් වැටී ඇති මාර්ගයයි. මේ ගමන් මඟ ද ගිරිහඬු සෑය ආසන්නයේ දී ඉහත දැක්වූ මාර්ගයට සම්බන්ධ වේ. මීට අමතරව කුච්චවේලි පසු කරන්නකුට තිරියායෙන් වමට හැරී ගමන් කිරීමෙන් ද, කුච්චවේලි පසු කර පුල්මුඩේ දෙසට ගමන් කරන්නකුට තිරියායෙන් වමට හැරී පැමිණීමෙන් ද ගිරිහඬු සෑයට ළඟා විය හැකි ය.

ගැල් පුරා වෙළෙඳ බඩු රැගෙන ගිය තපස්සු භල්ලුක නම් වෙළෙඳ දෙබෑයන් විසින් කිරිපලු වනයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේට විලඳ සහ මී පිඬු පිළිගැන්වූ බවත්, පසුව ඔවුන් බුදුරදුන්ගෙන් “අපට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් දෙන්න” යැයි ඉල්ලීමක් කළ බවත්, එම අවස්ථාවේ දී මොවුන් දෙදෙනා ගැන දිවැසින් බැලූ බුදුරජාණන් වහන්සේ සිරස පිරිමැද කෙස් රොදක් ගෙන දුන් බවත්, එය රන් මංජුසාවක තැන්පත් කළ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. එතැන් සිට මොවුන් වෙළෙඳාම සඳහා දේශ දේශාන්තරවල ගමන් කරන සෑම අවස්ථාවක දී ම බුදුරදුන්ගේ කේශ ධාතු සහිත රන් මංජුසාව රැගෙන යාම ද සිරිතක් කර ගෙන තිබූ බව සඳහන් ය.

අතීතයේ ප්‍රධාන තොටුපොළක් වූ ත්‍රිකුණාමලය, තිරියාය ගල් වරායට වෙළෙඳාම සඳහා තපස්සු භල්ලුක වෙළෙඳුන් පැමිණි බවත්, පසුව ඒ අසල පිහිටි ගිරිකණ්ඩ පර්වතය නමින් හැඳීන් වූ කඳු මුදුනට ගොස් කේශ ධාතූන් තැන්පත් කර තිබු රන් මංජුසාව එහි ගල් පර්වතයක් මත තබා වෙළෙඳාම් කටයුතුවල යෙදුණු බවත්, ආපසු යනවිට එම මංජුසාව රැගෙන යෑමට උත්සාහ කරද්දී එය ආපසු ගත නොහැකි ලෙස එම ගලට ම සවිව තිබු බවත්, ඒ නිසා එය නිධන් කොට එම ස්ථානයේ දාගැබක් තැනවූ බවත් පුරාවෘත්තවල සඳහන් වේ.

පුරාතනයේ මෙම කන්ද ගිරිහඬු ගිරිකඩ, ගිරිකණ්‌ඩ පර්වතය ලෙස ද හඳුන්වා ඇත. පසුව ගල් ගොඩකින් මෙම මංජුසාව වසා දමා වෙළෙඳාමේ යෙදුණු බවත්, ආපසු යාමට පෙර එම ගඩොල් ගොඩ ක්‍රමවත් ව අසුරා මංජුසාව වැසෙන සේ කුඩා චෛත්‍යයක් ඉදි කළ බවත් ක්‍රි. ව. 733 රජ කළ අග්‍රබෝධි සිලාමේඝ රජ දවසේ ලියන ලද තිරියාය සෙල්ලිපියේ සඳහන් වේ.

තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් මෙලෙස ඉදිකළ ගිරිහඬු සෑය, බුදුරදුන්ගේ කේශ ධාතු තැන්පත් කර ඉදිකළ ලොව ප්‍රථම චෛත්‍ය ලෙස ද ඉතිහාසගත වේ.

ගිරිහඬු සෑය වෙත ගමන් කිරීමට බිම් මට්ටමේ සිට කඳු මුදුනට ඇති ශෛලමය පඩිපෙළකින් මුලින්ම ගමන් කළ යුතු අතර, මේ ශෛලමය පියගැට පෙළ ද රජ සමයේ ම ඉදි කර ඇත. තවත් ටික දුරක් යනවිට හමුවන්නේ සෙල්ලිපිය නම් වූ පුවරුවකි. එය ගල් තලයක් මතුපිට කොටුකර තිබෙනු දක්නට පුළුවන. අඩි විස්සක් පමණ දිග මේ සෙල්ලිපිය ලියා ඇත්තේ අග්‍රබෝධි සිලාමේඝ නම් රජ සමයේ දී බවත්, තපස්සු භල්ලූක විසින් ගිරිහඬු සෑය ඉදි කර වසර 1200ක් ගතවු පසුව මෙම සෙල්ලිපිය ලියා ඇති බවත් සඳහන් වේ. මෙම සෙල්ලිපිය ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂරවලිනි. පේළි එකොළහකින් යුතු මෙහි ශ්ලෝක එකොළහක් ඇති බවත්, ඒ ශ්ලෝක ගිරිහඬු සෑය වන්දනා කරන ගීත එකොළහක් බවත් පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති.

නැඟෙනහිර පළාතේ පිහිටි උසම කඳුවැටිය මත වූ මේ සෑයේ පාමුලට ම පැමිණි පසු දක්නට ලැබෙන්නේ සුවිශාල වැලි මළුවකි. එමෙන්ම දකුණු පැත්තේ ගඩොල් චෛත්‍යයක් සහ වම් පැත්තේ කුඩා බෝධියක් ද දැක ගත හැකි ය.

වැලි මළුවට ඉදිරියෙන් ඇත්තේ වටදාගෙයයි. සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු මේ ශෛලමය වටදාගෙය මධ්‍යයෙහි ගිරිහඬු සෑය විරාජමාන වේ. සෑය වටේ අලංකාර බුදු පිළිම වහන්සේ හතරක් තැන්පත් කර ඇති අතර, සමාධි ඉරියව්වෙන් යුත් මේ බුදු පිළිම වහන්සේ ඉදිරිපිට මල් ආසන තබා ඇත. ගිරිහඬු සෑය වටා දක්නට ඇති යෝධ ගල් කණු ඉපැරණි හෙළ ශ්‍රී විභූතිය මැනවින් විදහාපායි.

ඇල්දිය උල්පත, ලංකා පොකුණ, වාසල් දොරටු මළුවේ ප්‍රාකාරය, උතුරු පියගැට පෙළ සහ වටදාගෙය මේ පරිශ්‍රයේ දක්‌නට ලැබෙන විශිෂ්ට නිර්මාණ අතර ප්‍රධාන තැනක්‌ ගනී. වටදාගෙයට නැඟෙනහිර පියගැට පෙළට දකුණින් වැලි මළුවේ තනි ගලකින් සැදුම්ලත් පොකුණකි. වටදාගෙයට දකුණින් සහ බටහිරින් ඔත් පිළිම ගෙයක සහ හිටි පිළිම ගෙයක නටබුන් හමුවේ.

මෙකී පිළිම ගෙය අසල උතුරු දෙසින් බහිරව රූප දෙකක් ද‌ හමුවේ.

මෙම ඓතිහාසික පුදබිම කාලාන්තරයක් වනයෙන් වැසී තිබූ අතර, එහි භාරකාර හිමිනම වූ ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද හිමියන් 1929 දී පමණ යළි මෙම පුදබිම එළිපෙහෙළි කර දියුණු තත්ත්වයට ගෙන තිබේ.

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment