ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
නිවස සතියේ පුවතතේරුම් ගැනීම සහ අත්හැරීම

තේරුම් ගැනීම සහ අත්හැරීම

by Thanushika
October 3, 2026 12:30 am 0 comment

ජීවිතය දුක, බලාපොරොත්තු, බිඳවැටීම්, ආසා හා බිය සමඟ ගැටෙන දිගු ගමනකි. එහි බොහෝ දෙනා සොයන්නේ සදාකාලික සතුටකි. එහෙත් බුදු දහම පෙන්වා දෙන්නේ ලෝකයේ කිසිවක් ස්ථිර නොවන බවත්, සදාකාලික සතුටක් බාහිර දේවලින් නොලැබෙන බවත් ය.

නිවන යනු බාහිර ලෝකයෙන් ලබන සතුටක් නොව, අභ්‍යන්තර නිදහසක් බව බුදු දහම අවධාරණය කරයි. එම නිදහස වෙත ගෙන යන මූලික මාර්ග දෙකකි. “තේරුම් ගැනීම” සහ “අත්හැරීම” චතුරාර්ය සත්‍ය ධර්මය එනම් දුක ඇති බව තේරුම් ගැනීම, දුකට හේතුව තුළ තණ්හාව බව අවබෝධ කර ගැනීම, එය නැති කළ හැකි බව පිළිගැනීම සහ ඒ සඳහා මාර්ගයක් අනුගමනය කිරීම යන කරුණු මනුෂ්‍යයාගේ මානසික විමුක්තියට මඟ පාදයි.

මනෝ විද්‍යාවට අනුව බොහෝ පීඩා ඇලීම්, අතීත මතක, අනාගත බිය හා අධික ආසා නිසා ඇතිවේ.

“තේරුම් ගැනීම” ප්‍රඥාවයි. එය හුදෙක් පොතේ දැනුමක් නොව, ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයකි. අප බොහෝ විට දුකට පත්වන්නේ දේවල් ස්ථිර යැයි සිතීම නිසා ය. අප ආදරය කරන පුද්ගලයන් සදාකාලික ව අප සමඟ සිටින බව, තරුණකම නොවෙනස් ව පවතින බව, සම්පත් අපට ආරක්ෂාව ලබා දෙන බව අපි සිතමු. සත්‍ය නම් සියල්ල වෙනස්වන බවයි. බුදු දහමේ “අනිත්‍ය” යන සංකල්පය මෙය පැහැදිලි කරයි.

ප්‍රේම සම්බන්ධතාවක් බිඳ වැටුණු විට, ඔහු හෝ ඇය හෝ දැඩි මානසික පීඩාවකට ලක්විය හැකි ය. එයට හේතුව ආදරය නොවේ. “මේ පුද්ගලයා මගේ ය” යන ඇලීමයි. බුදු දහම පෙන්වා දෙන්නේ ඇලීම ඇති තැන දුක ද ඇතිවන බවයි. එබැවින් යථාර්ථය තේරුම් ගැනීම යනු ජීවිතය වෙනස් වන සුළු බව පිළිගැනීමයි.

අත්හැරීම යනු බොහෝ දෙනා වැරැදි ලෙස තේරුම් ගන්නා සංකල්පයකි. සමහරු සිතන්නේ අත්හැරීම යනු ආදරය නොකිරීම, සබඳතාවලින් ඉවත්වීම හෝ ජීවිතයෙන් පලායාම හෝ බවයි. නමුත් බුදු දහම පෙන්වා දෙන්නේ අතහැරීම යනු ඇලීම්වලින් නිදහස් වීම බවයි. කෙනකුට මලක් ආදරයෙන් රැක බලා ගත හැකි ය. නමුත් එය කවදා හෝ මැලවී යන බව පිළිගැනීමට ද හැකි විය යුතු ය. එයයි සැබෑ අත්හැරීම.

මනුෂ්‍යයාගේ බොහෝ ගැටලු ආරම්භ වන්නේ “මම” යන හැඟීමෙන් ය. “මගේ ජීවිතය”, “මගේ දේපළ”, “මගේ තත්ත්වය”, “මගේ කීර්තිය” යන සංකල්ප මත අපගේ අනන්‍යතාව ගොඩනඟා ගනිමු. එහෙත් බුදු දහමේ “අනාත්ම” ධර්මය පෙන්වා දෙන්නේ ස්ථිර “මම” කෙනකු නොමැති බවයි. “මම” යන සංකල්පයට අධික ලෙස ඇලීම මනුෂ්‍යයා තුළ බිය, ඊර්ෂ්‍යාව, තරගකාරී බව හා අසතුට ඇති කරයි.

තේරුම් ගැනීම හා අත්හැරීම ප්‍රායෝගික ජීවිතයට ද අතිශය වැදගත් වේ. උදාහරණයක් ලෙස, කෙනකුට තම රැකියාව අහිමි වූ විට ඔහු දැඩි මානසික අවපීඩනයකට පත්විය හැකි ය. නමුත් ජීවිතය ස්ථිර නොවන බවත්, තනතුරු හා සම්පත් තාවකාලික බවත් තේරුම් ගත් පුද්ගලයා එම අත්දැකීමෙන් ඉක්මනින් යථා තත්ත්වයට පත්විය හැකි ය. මෙය මානසික ප්‍රතිරෝධ ශක්තියක් ලෙස මනෝ විද්‍යාව හඳුන්වයි.

බුදු දහමේ භාවනා හා සතිමත්භාවය පුද්ගලයා තුළ මෙම මානසික ශක්තිය වර්ධනය කරයි.

භාවනාව යනු තේරුම් ගැනීම සහ අත්හැරීම පුහුණු කරන ක්‍රමයකි. අපේ සිතුවිලි, කෝපය, බිය, ආසා නිරීක්ෂණය කරමින් ඒවාට ඇලී නොසිටීම භාවනාව තුළින් පුහුණු වේ. කෝපයක් ඇති වූ විට “මට කෝපයක් ඇතිවී ඇත” යැයි සතිමත් ව දැන ගැනීම, එයට වහල් නොවීම යනු අත්හැරීමේ ආරම්භයයි.

අද සමාජයේ බොහෝ දෙනා ජීවත් වන්නේ අධික තරගකාරීත්වය, ආතතිය හා අසීමිත බලාපොරොත්තු අතර ය. සමාජ මාධ්‍ය හරහා අනෙක් අයගේ ජීවිත සමඟ තම ජීවිතය සැසඳීම නිසා බොහෝ දෙනා අසතුටට පත්වෙති. මනෝ විද්‍යාව පෙන්වා දෙන්නේ මෙය මානසික ගැටලු වැඩි කිරීමට හේතු වන බවයි. බුදු දහම පෙන්වා දෙන්නේ සතුට ලැබෙන්නේ බාහිර සම්පත්වලින් නොව, තෘප්තිමත් මනසකින් බවයි. එබැවින් අත්හැරීම යනු සමාජයෙන් ඉවත්වීම නොව, අනවශ්‍ය මානසික බරවලින් නිදහස් වීමයි.

අවසානයේ “තේරුම් ගැනීම සහ අතහැරීම” යන්න මනුෂ්‍ය ජීවිතයේ ගැඹුරු ම සත්‍යයක් පෙන්වා දෙයි. ජීවිතය අනිත්‍ය බව තේරුම් ගැනීම, ඇලීම් දුකට හේතුව බව අවබෝධ කර ගැනීම සහ ඒවා අත්හැරීමට ඉගෙන ගැනීම මනුෂ්‍යයාගේ අභ්‍යන්තර විමුක්තියට මඟ පාදයි. බුදු දහම හා මනෝ විද්‍යාව දෙකම අවසානයේ පෙන්වා දෙන්නේ සතුට යනු බාහිර ලෝකය ජය ගැනීමෙන් නොව, තමන්ගේ ම මනස තේරුම්ගෙන නිදහස් වීමෙන් ලැබෙන බවයි. නිවන යනු ලෝකයෙන් පලායාමක් නොව, ලෝකය නිවැරැදිව දැකීමෙන් උපදින සන්සුන්භාවය යි.

 

සදනාදපුර සුමන හිමි

You may also like

Leave a Comment