ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර පසළොස්වක පෝ දා 2026 සැප්තැම්බර් 26 සෙනසුරාදා
නිවස බෞද්ධ දර්ශනයචිත්තවේග පාලනයට බුදු දහමේ මඟ පෙන්වීම

චිත්තවේග පාලනයට බුදු දහමේ මඟ පෙන්වීම

by Thanushika
October 3, 2026 12:30 am 0 comment

මනස පිළිබඳ ගැඹුරින් පර්යේෂණ කරන විෂයය ක්ෂේත්‍රය මනෝ විද්‍යාවයි. මෙම විෂයය ධාරාව තුළ සාකච්ඡාවට ලක්වන ප්‍රධාන සංකල්පයක් බටහිර මනෝ විද්‍යාවේ දී “හැඟීම්” යන නාමයෙන් හඳුන්වනු ලබයි.

ඒ අනුව හැඟීම් යන්නට චිත්තවේග, උද්වේගය, භාවය යන අර්ථ ලබා දී තිබේ. බුදු දහම තුළ ආසාව, අනසය, කිලේස, නීවරණ ආදී මානසික ධර්මවලින් අරුත් ගන්වා තිබේ. කුසල මානසික යහපත් හැඟීම් නම් කරුණාව, මෛත්‍රිය, දයාව වැනි හැඟීම් ය. අයහපත් හැඟීම් ලෙස ආසාව, ද්වේෂය, ක්‍රෝධය, වෛරය, මානය, ඊර්ෂ්‍යාව, මසුරුකම ආදී අකුසල හැඟීම් ය. මේ නයින් ගත් කළ බටහිර මනෝ විද්‍යාවේ හැඟීම් යන පදය බුදු දහමේ හොඳ – නරක, යහපත – අයහපත, කුසල – අකුසල, පින – පව ලෙස වර්ගීකරණය වීම දැකිය හැකි ය.

ජී. බී. වොට්සන් කෝපය, භීතිය, ආදරය යනුවෙන් හැඟීම් තුනක් හඳුන්වා ඇත. බෙල්නෙට් වෘන්ඩ් ප්‍රකාශ කරනුයේ තරහව, බලවත් කාම ආසාව, ඊර්ෂ්‍යාව, කුතුහලය, අධික ප්‍රීතිය, කාන්සාව හැඟීම් නම් වන බවයි. මහාචාර්ය පී. ඩී. ප්‍රේමසිරි මනෝභාව යනු “චිත්තාභ්‍යන්තරයේ ඇති වන යම් මානසික චලනයක් බව පවසයි.” ගිල්බට් රසල්ගේ නිර්වචනය යන්න කැමැත්ත හෙවත් අභිප්‍රේරණය, ගතිය, මනෝභාවය, කලබලය, වේදනා ආදී විවිධ මානසික ක්‍රියාකාරකම් හැඳීන්වීම සඳහා යෙදී තිබේ.

මනසෙහි ජනිත වන මානසික ස්වභාවය අනුව ධනාත්මක හෝ ඍණාත්මක හෝ වශයෙන් හැඟීම් වර්ග කළ හැකි ය. ලෝභය හා ද්වේෂය පදනම් කර ගත් ගැඹුරු මානසික ස්වභාවයක් හඳුනාගැනීම කෙරෙහි බුදුසමය සුවිශේෂිත්වයක් දක්වා තිබේ. එසේම පුද්ගලයා තුළ දුක ජනිත කෙරෙන අකුසල සහගත හැඟීම් ඉතා සියුම් ලෙස විග්‍රහ කර තිබේ.

හැඟීම් පිළිබඳ බෞද්ධ විග්‍රහයෙහි දක්නට ලැබෙන සුවිශේෂත්වය වන්නේ ඒවා ප්‍රායෝගික හා සදාචාරාත්මක පදනමකින් විග්‍රහ කර තිබීම නිසයි.

බෞද්ධ විග්‍රහයට අනුව ඇතැම් හැඟීම් පුද්ගලයා තුළ තෘෂ්ණාව වර්ධනය කිරීමටත්, එසේම තෘෂ්ණාව නිසා නොයෙක් උපද්‍රවවලට පත්වීමට සිදු වන බවත් පැහැදිලි වේ.

ධම්ම පදය යමක වග්ගය 13 ගාථාවට අනුව මනාව සෙවිලි නො කළ ගෙය වැසි ධාරාවන්ගෙන් තෙමී යන්නේ ද, එලෙසින් නො වැඩූ සිත රාගාදී ක්ලේශ ධර්මයන්ගේ වසඟයට පත් වේ. එනම් අභාවිත සිත ඇත්තා නිතර ම කෙලෙස් වසඟයට පත්ව දුකට හා පසු තැවීමට පත් වේ. “එවං සුභාවිතං චිත්තං”

ඉන්ද්‍රීය ධර්ම සංවර කළ තැන මනා සෙවිලි කළ ගෙයක් වැසි දහරින් විනිවිද නොයේ ද, තමාටත් සෙස්සන්ටත් එය පිහිට, පිළිසරණව පවතී. එදිනෙදා ජීවිතාභ්‍යන්තරයට පැමිණෙන හැඟීම් තදගංග වශයෙන් හා සහමුලින්ම උපුටා දැමීමට හා ප්‍රහාණය කිරීමට අවැසි මඟ හා වැඩපිළිවෙළ දේශනාව තුළ පැහැදිලි කරයි.

අද සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙක් හැඟීම් තේරුම් නොගැනීම පදනම් කරගෙන එය මරණයෙන් කෙළවර වන අවස්ථා නිතර දකින්නට හා කතා කරන්නට පුළුවන් අවකාශයක් විවර වී ඇත. මක් නිසාද යත් සෑම සිදුවීමක් සමඟ ම හැඟීම් අනුබද්ධ ව පැවතීමයි. එනම් තීරණ ගැනීමේ දී, දෛනික කටයුත්තක නිරත වීමේ දී මෙන්ම අපගේ ශරීර සංජානනමය හැසිරීම් යනාදී සියල්ලම හැඟීම් මත ම රඳා පවතී. මේ තුළම සත්ත්වයා පඹගාලක පැටලී එයම පිහිට කොට ජීවත් වෙති. එයින් මිදීමට මඟ පෙන්වන බුදු දහම වඩාත් අගයන්නේ “සතිය- සිහිය” පදනම් කොටගත් හැඟීම් විශ්වය තුළට මුදාහැරිම තුළ විවිධ ගැටුම්කාරි හා විෂමචාරි පරිසරයක් නිර්මාණය නො වෙන වගයි.

එයට සදූපදේශ සපයන “චුල්ලපන්ථක තෙරුන්ගේ” කතාව දැක්විය හැකි ය. බුදුන් වහන්සේ ළඟ මහණ වූ මහාපන්ථක, චුල්ලපන්ථක යනුවෙන් භික්ෂූන් දෙනමක් සිටියහ. ඉන් චුල්ලපන්ථක හිමියන්ට පෙර කළ කර්ම විපාකයකින් එක් ගාථාවක් සාර මසක් වාචෝද්්ග්‍රහණය කළත් එය මතකයේ තබා ගැනීමට නො හැකි විය. ගාථාවේ මුල් පදය පාඩම් කොට දෙවැනි පදය පාඩම් කිරීමට ගිය කල මුල් පදය අමතක වෙයි. දෙවැනි පදය පාඩම් කොට තුන් වන පදයට ගිය කල දෙවැනි පදය අමතක වෙයි. හතරවැනි පදයට ගිය කල තුන් වැනි පදය අමතක වෙයි. මේ ගැන කලකිරුණු වැඩිමහල් සොහොයුරු මහාපන්ථක තෙරණුවෝ “එක් ගාථාව සාර මසකින් උගත නො හෙන ඔබ ලක්ෂ ගණන් පමණ ව තෙවළා බුදු වදන් කොතෙක් කලිනුත් උගත හෙව් ද? එබැවින් සිවුරු හැර යව”යි කී හ. එහි දී දැක්වෙන කතා ප්‍රවෘත්තියේ දී මෙසේ දැක්වේ.

භගවා තත්ථ ආගඤ්ජි – සීසං මය්හං පරාමසී

බාහාය මං ගහෙත්වාන – සංඝාරාමං පවෙසයී

“භගවත් තෙමෙ එහි පැමිණියේ ය. මගේ හිස අත ගෑවේය. මගේ අතින් අල්ලා සංඝාරාමයට එක් කරගෙන ගියේ ය.” මේ ගාථාව චුල්ලපන්ථක තෙරුන්ගේ ප්‍රකාශයකි. මෙම කතා ප්‍රවෘත්තිය වත්මන් සමාජයට වඩාත් උචිත බව හැඟවෙයි. මක් නිසාද යත් සමූහයක් වශයෙන් ජීවත් වන අප යම් තරමකින් හො අන්‍යයන්ගේ හැඟීම් තේරුම් ගැනීමට උත්සාහවත් කරවන සාර්ථක අවස්ථාවකි.

බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක තෙරුන්ට දැක්වූ කරුණාවේ මහිමය හා චුල්ලපන්ථක තෙරුන්ට ලබා දුන් ක්‍රියාකාරකමෙහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේ රහත් බවට පත් වූහ. ඒ අනුව පුද්ගල චර්යාවල ක්‍රියාකාරීත්වයේ ස්වභාවය අනුව අනෙකාගේ මානසික පීඩනය හෝ සුවතාව ඇති කිරීමට හෝ හැකියාව ලැබේ.

තව ද බුදුන් වහන්සේ දීඝ නිකායේ උදුම්බරික සූත්‍රයේ දී පුද්ගල චිත්තාභ්‍යන්තරයේ ඇති වන හැඟීම් ක්‍රියාත්මක කිරීමේ දී කරුණු හයක් නිසා මානසික ගැටුම්වලට මුහුණපාන බව සඳහන් වේ.

ක්‍රෝධ කරන සුළු බව (කෝධනෝ හෝති උපනාහී), ගුණමකුකම (මක්ඛී හෝති පළාසි), උතුමන් තමන් හා සමාන කොට සිතීම (උස්සුකී හෝති මච්ඡරී), සඟවන මායා ඇති බව (පාපිච්ඡෝ හෝති මිච්ඡාදිට්ඨී), බැහැර කරවිය නො හැකි දෘෂ්ටිගත බව (සන්දිට්ඨි පරාමාසී හෝති ආධානග්ගාහී දුප්පටිනිස්සග්ගී)

මෙම සුත්‍රාගත කරුණු මඟින් පෙන්නුම් කරන්නේ හැඟීම්වල විවිධ ස්වරූපයන් ය. ක්‍රෝධය, ගුණමකුකම, තමන්ට වඩා උසස් පිරිස් තමා හා සමාන කොට සැලකීම, තමා තුළ සඟවාගත් මායාදී ලක්ෂණ තිබීම හා දැඩි දෘෂ්ටි ග්‍රහණය වැනි කරුණු පුද්ගලයෙක් සතුව ඇති ඍණාත්මක සිතිවිලි වන අතර, එම සිතිවිලි හරහා පුද්ගලයාට හා ඔහු සමඟ ගැටෙන පිරිස් දුෂ්කරතාවට පත් වේ. ඒ හරහා නොයෙක් සමාජ ගැටලු ද ඇති වේ. වැරැදි සහගත හැඟීම් තවත් වැරැදි සහගත චිත්තාවේග රාශියක් නිර්මාණය වීම සිදු වේ.

ඒ හේතුවෙන් බෞද්ධ මූලාශ්‍රගත චිත්තාවේගීය ස්වරූපයන් නිවැරැදිව හඳුනාගෙන ඒ හරහා චිත්තාවේග කළමනාකරණය නිවැරැදිව සිදුකර ගත හැකි ය. උදුම්බරික සූත්‍රයෙහි දක්වා ඇති මෙම කරුණු කිහිපය ඒ සඳහා කදිම නිදසුන් වශයෙන් පෙන්වා දිය හැකි ය.

තව ද සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටිය දී ලකුණ්ඨක භද්දිය තෙරුන් නිමිති කර ගත් දේශනාව මෙයට වඩාත් යෝග්‍ය වෙයි. දිනක් බොහෝ ආගන්තුක භික්ෂුහු බුදුරදුන් දිවා කල සිටින තැනට එළැඹ වැඳ එකත් පසෙක සිටියාහු ය. මේ අවස්ථාවේ දී ලකුණ්ඨක භද්දිය තෙරහු බුදුරදුන් නොදුරෙන් වැඩම කළහ. ධර්මසභා මණ්ඩපයේ වැඩසිටි භික්ෂූන් උසුළු විසුළු කරමින් ක්‍රියා කළහ. බුදුහු එම භික්ෂූන් වහන්සේගේ සිත්තුළ ඇති වු අදහස් දැනගෙන බලන්න මහණෙනි, මේ භික්ෂුව මවුපියන් මරා යන්නේ යැයි පැවසීය.

එම භික්ෂූන් විසින් බුදුරජාණන් වහන්සේ කුමක් කියන්නේ දැයි එකිනෙකාගේ මුහුණ බලා සැක සහිත ව මේ කුමක් කියන්නේ දැයි විමසූ විට ඔවුන්ට ධර්මය දේශනා කරමින් වදාළහ. තණ්හාව මව මෙනි, මම ය මගේ හැඟුම පිතුමෙනි, මිසදිටු රජුන් වැනි නැසුම වේවා යනුවෙන් භික්ෂූන්ට උන්වහන්සේ සව්කෙලෙසුන් නැසූ මහ රහත් වහන්සේ නමක් බව ආදර්ශයෙන් ම පෙන් වූ සේක.

උන්වහන්සේ විහාරයේ වැඩ සිටියදී අනෙක් භික්ෂූන් වහන්සේ, උන්වහන්සේ ගොඩක් මිටි (කුරු) නිසා ටොකු ඇනීම්, කනෙන් ඇදීම්, නහය මිරිකීම්, විහිලු කිරීම් ආදී වූ තාඩන පීඩන හමුවේ කිසිදා සිතට තරහා නො ගෙන පුහුදුන් පෘථග්ජන පුද්ගලයන්ගේ හැඟීම් තේරුම් ගෙන කම්පා නොවී දිවිය ගෙවු අවස්ථා අපට මුණ ගැසේ.

හැඟීම් පාලනය කළ හැකි ය. එයට සාර්ථකව මුහුණ දීමට කායික මානසික සමබරතාව ඉතා වැදගත් වෙයි. ඒ සඳහා වැදගත් වන ක්‍රමෝපායයන් දැන ගැනීම වැදගත් වේ. සුව නින්ද, සමබර ආහාර රටාවක්, විවේකය, සෞඛ්‍ය, විනෝදාංශ හා යහපත් පුද්ගල සබඳතා එයින් කිහිපයකි. මීට අමතරව සමාව දීම, විවේචනයකින් තොරව ඇගයීම, පරාර්ථකාමීත්වය හා කෘතඥතාව වැනි යහපත් ගුණාංග හැඟීම් කළමනාකරණය සඳහා ඉවහල් වේ. ගෘහස්ථ දිවියේ ප්‍රචණ්ඩත්වය සඳහා මඟ පාදන්නේ අන්‍ය මත නො ඉවසීම හා වචන භාවිතය. දැඩි සේ අනෙකා පෙළීම තුළ ගැටුම්කාරී පරිසරයක් නිර්මාණය වෙයි. අප මුවින් පිටකරන වචනයක් ඇතුන් සියයක බලයෙන්වත් නැවත මුවට දැමිය නොහැකි ය. එතරම් ම වචනය ප්‍රබල බව නිතර සිහිගැන්විය යුතු ය. දිය සෙවෙල්වලින් (ගල්සවලින්) ග්‍රහණයට නතු වූ විලෙක සූර්යයා උදා වූ කල පිපීමට වෙර දරන නෙළුමක් මෙන් අප ද බොහෝ කාලයක් සසර සැරිසරන්නේ ලාමක ධර්මයන්ගෙන් එතී, බැඳී පවතින නිසාවෙනි. මෙය නුවණින් වටහාගත් පුද්ගලයා මෙලොව, පරලොව ද්වංශය ම සුබවාදී කර ගනියි.

හැඟීම් තේරුම් ගැනීම තුළ පුද්ගලයා අත්විඳීන ප්‍රතිඵල ගැටලු සහ තර්ක අඩුවීම, ගෞරව කිරීම, ඇගයීම්ශීලි බව විවේචනයෙන් තොර බව, හොඳ සම්බන්ධතා ඇතිවීම, සමාජ කුසලතා වර්ධනය, මානසික සැනසීම, නායකත්ව ගුණාංග වර්ධනය, ආත්ම පරිශීලනය වැඩිවීම, කණ්ඩායම් එකමුතුව වැඩිවීම, තීරණ ගැනීමේ ගුණාත්මක භාවය ඇතිවේ.

“සෑම සත්ත්වයෙක් ම හැඟීම් මත පදනම් ව ජීවිතය අත්විඳීති. අවබෝධ කර ගත යුත්තේ හැඟීම්වලට තමන් පාලනය කිරීමට ඉඩ නො තබන්නටයි. අධිපති වියයුත්තේ තමන්මයි. හැඟීම්වලට අරුතක් මෙන් ම වටිනාකමක් එක්වන්නේ එවිට යි.”

“තමන්ට වෙනවාට අකැමති කිසිම දෙයක් අනුන්ට කරන්න එපා. පිරිසිදුව මුදාහරින හැඟීම්වල වටිනාකම උපදින්නේ එතැනයි. එය අව්‍යාජ මනුස්සයකුගේ උපතයි.”

You may also like

Leave a Comment