ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් අමාවක පෝ දා 2026 නොවැම්බර් 08 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් අමාවක පෝ දා 2026 නොවැම්බර් 08 ඉරිදා
නිවස බෞද්ධ දර්ශනයවිමානවත්ථු පාරිච්ඡත්තක වග්ගය

විමානවත්ථු පාරිච්ඡත්තක වග්ගය

by Thanushika
November 8, 2026 12:30 am 0 comment

ඛුද්දක නිකාය – ග්‍රන්ථ පසළොසකින් යුක්ත ය. ඛුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්ත නිපාත, විමාන වත්ථු, පේතවත්ථු, ථෙර ගාථා, ථෙරී ගාථා, ජාතක, නිද්දෙස, පටිසම්භිදාමග්ග, අපදාන, ඛුද්ධ වංස හා චරියා පිටක වශයෙනි.

මේ සියල්ල ප්‍රථම ධර්ම සංගීතියෙන් පසුව සංග්‍රහ කරන ලද පොත් වශයෙන් සැලකිය හැකි ය. මේ පිළිබඳ විවිධ මත පළ වී ඇතත් මෙහි දී සාකච්ඡාවට භාජන වන්නේ ඛුද්දක නිකාය පරියාපන්න ග්‍රන්ථයක් වන විමාන වත්ථුව ගැන ය.

විමාන වත්ථුවෙහි ඒ ඒ කුසල කර්මයන් කොට දෙව්ලොව උපන් දෙවිවරුන්ගේ නා නා ප්‍රකාර විමානයන් ගැනත්, ඔවුන් මිනිස් ලොව දී කළ දේ ගැනත් කියැවේ. මෙහි වර්ග හතකි. කතා වස්තු 85කි. මුළු පොත ම ගාථාවලින් යුක්ත ය.

මේ වස්තුවලින් බොහොමයක් මුගලන් මහ තෙරුන් දෙව් ලොවට ගොස්, ඒ ඒ දෙවිවරුන්ගෙන් අසා දැනගත් ප්‍රවෘත්ති සේ දක්වා තිබේ. ජාතක ගාථාවල අර්ථය ජාතක කතාව නැති ව පැහැදිලි නොවන්නා සේ විමාන වත්ථු, පේතවත්ථු දෙකේ ගාථාවල අර්ථය පැහැදිලි වන්නේ අටුවාවල තිබෙන, විස්තර කතා එක්වීමෙනි. ‘අසවල් තැනැත්තිය, අසවල් නුවර, අසවල් නමින් ඉපිද සිට මෙවැනි පිනක් කළා ය’ යනාදී ප්‍රවෘත්ති දැක්වෙන්නේ අටුවා ලියන කාලය වන තෙක් ඒ කතා පරම්පරාවෙන් ගෙනෙන ලද ඒවා නිසා ය.

විමාන වත්ථු පාරිච්ඡත්තක වග්ගයේ කතා දහයකි. උළාර, උච්ඡුදායිකා පල්ලංක, ලතා, ගුත්තිල, දද්දල්ල, සේසවතී, මල්ලිකා, විසාලක්ඛී, පාරිච්ඡත්තක යනු ඒ කතා දහය යි. දුක පහදා දී, සැප පිළිබඳ විදාරණය කරමින් මිනිසා විවිධ පින්කම්වල යොදමින් යහමඟට යොමු කරවීම සඳහා විමාන වත්ථු පොත රචනා වී ඇති බව පෙනේ. වෙසෙසින් දන් දීමට හා පන්සිල් රැකීමට පුරුදු පුහුණු කිරීම විමාන වත්ථුවේ පරමාර්ථය යි. විමාන වත්ථුවේ කතා අසූ පහේ ම දැක්වෙන්නේ තුන් සිත පහදවා ඉතා සුළු දෙයක් හෝ සුදුසු ආහුණෙය්‍ය පාහුණෙය්‍ය ආදී ගුණයෙන් යුත් ප්‍රතිග්‍රාහකයකුට පිරිනැමීමෙන් අනේක විධ සම්පත් විඳින දිව්‍ය ආත්මභාව ලබා ගත හැකි බවයි.

මේ උදාහරණයකි.

විමාන වත්ථු පාරිච්ඡත්තක වග්ගය ආරම්භ වන්නේ උළාර විමාන වත්ථුවෙනි. මුගලන් මහ රහතන් වහන්සේගේ උපස්ථායක පවුලක දන්දීමට කැමැති දැරියක් වූවා ය. ඇය තමන්ට ලැබෙන කෑම බීමවලින් කොටසක් දන් දෙන්නී ය. ඇයගේ මව ද මේ පිළිබඳ ව පැහැදී කොටස් දෙකක් ඇයට දෙන්නී ය. සුදුසු කල් පැමිණි කල මවුපියන් විසින් ඇය එම නගරයේ කුල පුත්‍රයකුට විවාහ කර දෙනු ලැබුවා ය. එම නිවෙසේ ජීවත් වූවෝ ශ්‍රද්ධාව නැති මිථ්‍යා දෘෂ්ටිකයෝ ය. දිනක් නැන්දණිය තැබූ කැවුමක් පසුව අනුමෝදන් කරවීමේ අදහසින් පිඬු සිඟා වැඩි මුගලන් මහ රහතන් වහන්සේට පූජා කරන ලදී. මෙම සිද්ධිය පසුව නැන්දණියට පැවසූයෙන් එයට කිපුණා වූ ඇය ලේලියගේ උරහිසට මෝල් ගසකින් ගැසුවා ය.

මෙසේ පහර කෑ ඇය ටික දිනකින් ම මියගොස් තව්තිසා දෙව්ලොව උපන්නා ය. මුගලන් මහ තෙරුන් දෙව්ලොව චාරිකා කරන සේක් අප්සරාවන් දහසක් පිරිවරාගත් මහත් වූ දේව ලීලාවෙන් බබළන ඇය දැක, ඇය වෙතට ගොස් ඇය විසින් කරන ලද සුචරිත කර්ම විමසමින් මේ ගාථාව වදාළහ.

“උළාරො තේ යසො වණ්ණො –

සබ්බා ඕහාසතේ දිසා

නාරියෝ නච්චන්ති ගායන්ති –

දෙව පුත්තා අලංකතා”

‘මහත් වූ ආනුභාව ඇති දේවතාවියනි, ඔබේ වර්ණය සියලු දිසාවන් බබුළුවයි. මෙවැනි දීප්තිමත් ආනුභාවයක් කුමක් නිසා ලැබුණේ ද? මිනිස් ලොව දී කිනම් පිනක් කළා ද? අසන්නෙමි.

එයට පිළිතුරු දෙන දේවතාවිය තමන් පෙර කළ කුසල කර්මයේ ආනිශංස වශයෙන් මෙම සම්පත් ලද බව පැවසුවා ය.

දෙවන උච්ඡුදායිකා විමාන වත්ථුවෙන් කියැවෙන්නේ, උක් ගසක් පූජා කිරීමේ පිනෙන් තව්තිසා දෙව්ලොව උපන් බව යි. ගුත්තිල විමාන වත්ථුවේ දෙවඟනන් විශාල පිරිසකගේ තොරතුරු සඳහන් වෙයි. මේ හැම දෙවඟනෝ ම තව්තිසා දෙව්ලොව ඉපිද දිව්‍ය විමාන ලබා, දිව්‍ය සැප විඳින්නාහු වෙති. මේ අය කළ පින්කම් විමසීමේ දී කාශ්‍යප බුදුන් සමයේ දී සුවඳ දුම් පූජාවක් කිරීමෙන් දිව සැප ලබා ඇත. තව කෙනකු කාශ්‍යප බුදුන් සමයේ වැල, වරකා, කෙසෙල්, අඹ ආදී පලතුරු දන් දීමෙන් දිව සැපත් ලබා ඇත. තවත් දෙවඟනන් දිව්‍ය සැප ලබා ඇත්තේ ගිතෙල්, හකුරු, මී පැණි ආදී චතුමධුර පූජා කිරීමෙනි. එක් අයකු එක් පොහොය දිනක් උපෝසථ ශීලය සමාදන් වීමෙන් දිව සැපත් ලබා ඇත. තවත් දෙවඟනක් භික්ෂුවකට උදෑසන දානය සඳහා කිරිබතක් පූජා කිරීමෙන් දෙව් සුව ලැබීය. මේ අන්දමට සුදුසු ප්‍රතිග්‍රාහක සම්පත්තියක් ලබා පිරිසිදු සිතින් ඉතා සුළු දෙයක් පිදීමෙන් දිව්‍ය සම්පත් ලබා ඇති බව පෙනේ.

විමාන වත්ථුවේ ලතා විමාන වත්ථුවට අනුව පතිව්‍රතා ධර්මය රැකීමත් දිව්‍ය සම්පත් ලැබීමට හේතුවන බව දැක්වෙයි.

ලතා විමාන වත්ථුවෙහි සඳහන් දෙවඟන මිනිස් ලොව දී ස්වාමියාට නිසි ලෙස සැලකුවා ය. නැන්දණිය හා මාමණ්ඩිය ක්‍රෝධ කරද්දීත්, වෛර කරද්දීත් ඒ අයට වෛර නො කොට, මෛත්‍රී සිතින් ඇප උපකාර කළා ය. ඇය මිය ගොස්, ඒ පිනෙන් හා පතිව්‍රතා ධර්මය රැකීමෙන් දෙව්ලොව උපන්නා ය. මෙයින් පැහැදිලි වන්නේ ගිහි ගෙවල්වල තිබෙන සදාතනික පැවැත්මකට එරෙහි ව බුදු දහම අනුව හික්මුණු ලතා ඒ පින්කමිවලින් දෙව්ලොව උපන් බව යි. මේ අනුව පතිව්‍රතාව නම් උසස් ගුණ ධර්මය රැකීමෙන් දෙව්ලොව සැප විඳිය හැකි බව උගන්වයි. නැදිමයිලන්ට, මව්පියන්ට, වැඩිහිටියන්ට සැලකීම දිව්‍ය සම්පත් ලැබීමට හේතු වේ.

මේ අනුව දන් දීම, සිල් රැකීම, පතිව්‍රතා ධර්මය රැකීම, මව්පියන්ට සැලකීම, ක්‍රෝධ නොකිරීම, වෛර නොකිරීම, මෛත්‍රී කිරීම ආදී යහපත් ගුණ ධර්මවල යෙදීම නිසා ඒවායේ විපාක වශයෙන් දිව්‍ය ලෝකවල ඉපිද දිව්‍ය සම්පත් ලබන බව විමාන වත්ථුව මඟින් පැහැදිලි කරයි.

නූතන කෙටිකතා සංග්‍රහයක් කියවන්නාක් මෙන් සොම්නසින් යුතු ව මේ කතා සියල්ල කියවිය හැකි ය. එසේ කියවීමෙන් සසරේ ස්වරූපය අවබෝධ කර ගත හැකි ය. පේතවත්ථු කතාත්, විමාන වත්ථු කතාත් සමබර ව කියවීමෙන් තම තමන්ගේ මෙලොව පරලොව ජීවිත ද, තමන් ජීවත්වන සමාජය ද යහපත් කළ හැකි ය. උපන් මිනිසකුගේ කර්තව්‍ය විය යුත්තේ ද එයයි.

පරියත්ති විමාන වත්ථු ග්‍රන්ථයෙනි

 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) ශාස්ත්‍රපති දීවෙල මහින්ද අනුනාහිමි

You may also like

Leave a Comment